Print this Article


ලොව පළමුවන බෞද්ධ සංරක්‍ෂණ කොමිසම් සභාව

ලොව පළමුවන බෞද්ධ සංරක්‍ෂණ කොමිසම් සභාව

තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ශාසනය මුහුණ දුන් දැවැන්තම අර්බුදය වන්නේ ශුද්ධ වූ බුද්ධ දේශනාව කුමක්දැයි පවත්වාගෙන යාම පිළිබඳවයි. බුද්ධ දේශනාව හැබෑවටම කුමක් ද? යන ප්‍රශ්නය පැන නැඟුණේ විවිධ අය, විවිධ ආකාරයෙන් තථාගතයන් වහන්සේ හමුවට පැමිණ අර්ථ නිර්වචනය කර ගැනීමට උත්සාහ දරපු අවස්ථාවල කියවුනු කරුණු තම තමන්ට දැනෙන හා තේරෙන ආකාරයට කීමට උත්සාහ කිරීම නිසයි. අප අහල තිබෙන “සුභද්‍ර ගේ අභද්‍ර” වචනය කියන ප්‍රකාශය අපට ඉතිහාසයෙන් දැනෙන්නෙ, කියවෙන ආකාරයෙන්ය. එවැනි වචන බුදුහාමුදුරුවන්ගේ නමින් හැම තැනකම කියවුණා. ඒක එදා පමණක් නොවෙයි අද පවා තථාගතයන් වහන්සේගේ දේශනා ගැන විවිධ අය විවිධ ආකාරයේ නිර්වචන අර්ථ දැක්වීම් කරන බව අප දකිනවා.

මැක්ස්වෙබ, රීස් ඩේවිඩ් වගේ අය බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ආත්මවාදයක් ගැබ්වෙලා තියෙනවාය කියලා කියපු අවස්ථා තියෙනවා. ඒ වගේ බටහිර සමහර සමාජ විද්‍යාඥයින් සහ බටහිර සමහර උගතුන් සමහර වේලාවට බුදුහාමුදුරුවන්ගේ දේශනාව ව්‍යාකූල දේශනාවක්ය, නිරවද්‍ය හා නිරවුල් දේශනාවක් නොවේය කියලා කියා තිබෙනවා. ඒ වගේ අද වන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දහස් ගණනක් ගතවූ තැනදි බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරන්න හා උන්වහන්සේ විවේචනය කරන්න දරන වෑයම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සමයෙහිම ඇතිවුණ අවස්ථා කෙතරම් තිබෙන්නට ඇතිද ? යන්න අපට සිතාගත හැකියි. ඒ අවස්ථාවේදී ශාසන භාරදාරියෙක් බුදුරජාණන් වහන්සේ විසින් පත්කර ලැබ තිබුණේ නැත.

උප බුදු කෙනෙක් හෝ වැඩ බලන බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වී සහ පත්කර නොතිබුණු අවධියක බුදුහාමුදුරුවෝ ඉතාමත්ම වැදගත් ආකාරයට ලේඛනය ප්‍රධාන ස්ථානයක තියන්න යෝජනා කළා. එම යෝජනාව හරි වැදගත්. ශ්‍රී ලංකාවේ ඇතිවුණ යම් යම් අර්බුදවලදී ලේඛනය ප්‍රධාන වුණා.

පුද්ගලයන් මත නොවෙයි පුද්ගලයන්, පුද්ගලයන් අතර පරිපාලනමය, අර්බුද ඇතිවුණ වෙලාවලදී අවසාන වතාවට ලේඛනය බලධාරියා වුණා. මීට වර්ෂ දෙදහස් හයසියයකට පෙර බුදුහාමුදුරුවෝ සංකල්පීය වශයෙන් දුන් අදහසත්, වර්තමානයේ දෙන අදහසත් අතර ලේඛනය ප්‍රධාන වෙනවා. පුද්ගල ප්‍රධාන පුද්ගල ප්‍රධාන භාවය සහ අදහස් ප්‍රධාන භාවය කියන එක අතර සංකල්පයක් හැටියට ලෝකයේ ප්‍රධානත්වය ලැබුණේ බුදුහාමුදුරුවන්ගේ කාලය තුළයි. සොක්‍රටීස් යුගයේදීත් පුද්ගලයා මරා දැමීමෙන් අදහස මරා දැමීමට උත්සාහ කළා. ඒ වගේ කාලවකවානුවකදී බුදුහාමුදුරුවන් මීට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර මතක් කළේ පුද්ගලයන් ප්‍රධාන නොවන බවයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පරම්පරාවෙන් පරම්පරාවට වැදගත් වන එකක් නොවෙයි. ඒ නිසාම දේශනය ප්‍රධානයි. එනිසා බෞද්ධයෙක් වෙන්න ජාතියක් නැහැ. වාසනාවට සිංහලයන් වන අප බහුතරයකට බෞද්ධයන් වීමේ වාසනාව ලැබී තිබෙන බව ඇත්ත. පුද්ගලයෙක් වීම ආගමිකයෙක් වීම හෝ ආගමක් පුද්ගලයන් සතුවීම හෝ සිද්ධ වන්නේ නෑ. එය බුද්ධාගමේ ස්වභාවය නොවෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට විවිධ අය නිර්වචනය කරද්දී ඇතමෙක් ප්‍රකාශ කළා බුද්ධ දේශනාවේ පුද්ගල වාදයක් ඇති බවට. තව කෙනෙක් ආත්ම වාදයක් ඇති බවට ප්‍රකාශ කළා. මේ ආකාරයට එක එක්කෙනා අර්ථ නිර්වචන ගන්වන්න උත්සාහ කරද්දී වාද ඇතිවුණා. නියෝජ්‍ය නායකයෙක් පත් කර නොතිබූ කාල වකවානුවක වුණත්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වැඩිහිටි හාමුදුරුවන් හැටියට ආයතනික හා සංස්ථාපිත වගකීමක් තිබුණා. එම ආයතනික හා සංස්ථාපිත වගකීමෙන් බැහැර වෙන්න බැරිව ගියා, කවර ආකාරයකට ද ? මෙය සංරක්‍ෂණ කළයුත්තේ යන අදහස. ඒ වෙලාවෙදි බොහොම ලොකු වැරදි අවබෝධයක් හෝ අනවබෝධයක් මේ සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙනවා. එහිදී මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන භාරකාරී කණ්ඩායමක් ගොස් රජතුමා හමුවුණා. බුදුහාමුදුරුවන්ගේ දේශනා විපරිත වෙමින් තියෙනවා. එය එසේ නොවී සදාකාලිකව පැවැත්විය යුතුයි. දීර්ඝ කාලයක් ලෝකයේ පවතින්න අවශ්‍ය දහමක්. ඒ නිසා සංරක්‍ෂණ වැඩසටහනක් පැවැත්විය යුතු බව. රජතුමාට ඒ පිළිබඳව නොතේරෙන බවත් ඒ සඳහා වැඩසටහනක් නිර්මාණය කරන ලෙසත් එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදිය හැකි බව ප්‍රකාශ කරනු ලැබුවා.

ශ්‍රී මුඛ දේශනා සංරක්‍ෂණ ව්‍යාපෘතිය කරන්න ආයතනික ව්‍යුහයක් තිබිය යුතුයි. කාල් මාක්ස් කියා තිබෙන විදිහට කිසියම් අදහසක් දුන්නම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි. ශ්‍රී මුඛ දේශනා සංරක්‍ෂණ කොමිසම් සභාවක් ලෝක ඉතිහාසයේ පළමුවන වතාවට පත් කළා. එම කොමිසමේ සභාපතිත්වය තිබුණේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට. මේ කොමිසම් සභාව සඳහා ඉතාමත් වියත්, ඉතාමත් දැණුම තියෙන, ඉතාමත් දක්‍ෂ මහරහතන් වහන්සේලා කිහිප නමක් සමග කොමසම් සභාව රැස්වන එම ව්‍යාපෘති යෝජනාවට රජතුමා අනුමැතිය ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ඇසින් දැක්කාවූද, බුදුරජාණන් වහන්සේගේ දේශනා කනින් ඇසුවාවූද, දැනට ජීවතුන් අතර ඉන්නා වූ සෘජු සම්බන්ධකයින් පමණක් සාක්‍ෂියට කැඳවීමට කොමිසම් සභාව තීරණය කළා. සෘජුවම බුදුරජාණන් වහන්සේගේ දේශනා අහපු අය පමණක් සාක්‍ෂි සඳහා කැඳවුවද කී දෙනෙක් සිටිනවාද ? යන ප්‍රායෝගික ගැටලුවක් පැන නැගුණා. රාත්‍රි නවාතැන් පහසුකම්, ආහාර පාන, ආලෝකය, රාත්‍රි ආරක්‍ෂාව හා සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීම සඳහා රජතුමාගෙන් මුල්‍ය හා අනුග්‍රාහක ප්‍රතිපාදන ලබා ගැනීමෙන් අනතුරුව විශේෂ ස්ථානයක් සූදානම් කරගත්තට පසුව සාක්‍ෂි සඳහා පන්සියයක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වෙලාවෙදි කොමිසම් සභාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තීන්දුවකට පැමිණියා.

සාක්‍ෂි දෙන විට, තමන් බුදුරජාණන් වහන්සේ දුටු බවත්, තමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම යම් යම් දේ අසා තිබෙන බවත්, උන්වහන්සේ දේශනා කළ ස්ථානය, දේශනා කළේ කාටද ? යන බව තමා දැන සිටි බව ප්‍රකාශ කළාට පසුවයි මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියා සාක්‍ෂි වශයෙන් දේශනා, ප්‍රකාශ කළ යුතු වන්නේ, එම ප්‍රකාශය කියා අවසන් වුනාට පසුවයි. ඒ කාලය තුළ මෙම කොමිසම් සභා ක්‍රමය කෙතරම් දියුණු මට්ටමක පවතින්න ඇත්ද ? යන වග ඒ තුළින්ම පැහැදිලි වේ. වර්තමානයේදීත් කොමිසම් සභාවල දෙන ලද සාක්‍ෂි විද්‍යුත් මාධ්‍ය තුළින් පටිගත කරනවා හෝ ලඝුලේඛන ගත කිරීම් මගින් ලියා ගනු ලබනවා. ඒ කාලය තුළ මේතරම් දියුණුවක් නොතිබුණ නිසා එම සාක්‍ෂි මතක තබා ගැනීම සඳහා වෙනම පිරිසක් තෝරාගනු ලැබුවා. කොමිසම් සභාව රැස්වුණා. එක්කෙනා බැගින් සාක්‍ෂි විභාග කරනු ලැබුවා. රජතුමා කෑම බීම, ඉඳුම් හිටුම්, ආහාරපාන,, බෙහෙත් හේත්, රාත්‍රි ආලෝකය ආරක්‍ෂාව සියල්ලම පන්සියය දෙනාටම මාස තුනක්ම සපයනු ලැබුවා. තුන් මාසයක් එක දිගටම පන්සිය දෙනාම රැස්වුණා. එකම ස්ථානයක රැස් වෙලා ප්‍රසිද්ධියේ සාක්‍ෂි විභාගය කළා. එක්කෙනෙක් කරන ප්‍රකාශයට තව කෙනෙක් විරුද්ධ වුණා. එහෙම විරුද්ධ වීමේ අයිතිය තිබුණා. ඒනිසාම එය නිවැරදි වුණා. එහෙම සාක්‍ෂි විභාගයකදී කරන ලද ප්‍රකාශනයන් තමයි ත්‍රිපිටකය හැටියට මතක තබාගත්තේ. ඒ සාක්‍ෂි දෙන අවස්ථාවේ දෙන ලද ප්‍රකාශ තමයි “ මා විසින් මෙසේ අසන ලදී. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි මෙහෙම සිදුවුණා යන ප්‍රකාශය. (ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ) මංගල සූත්‍රය වශයෙන් ගත් විට “ බ්‍රෑහි මංගල මුත්තමං” යන කියන තැන දක්වා සාක්‍ෂි දුන් අයගේ ප්‍රකාශය අඩංගු වේ. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් නොවෙයි. එය සාක්‍ෂි දුන් අයගේ ප්‍රකාශනයන් වේ. මෙලෙස එක එක්කෙනා එක් එක් වෙලාවට දුන් සාක්‍ෂි වර්ගිකරණය කරනු ලැබුවා. බුදුහාමුදුරුවොත් දේශනා කරනු ලැබුයේ එක එක්කෙනාට එක් එක් ස්ථානවලදී විවිධ ආකාරයටයි. මෙම සාක්‍ෂි අතර සමහර ඒවා දීර්ඝ සාක්‍ෂි වුණා. සමහර ඒවා මධ්‍යම ප්‍රමාණයේ සාක්‍ෂි, සහ කුඩා ප්‍රමාණයේ සාක්‍ෂි වුණා. දීර්ඝ සාක්‍ෂි දීඝ නිකායේත්, මධ්‍යම ප්‍රමාණයේ සාක්‍ෂි මජ්ඣිම නිකායේත්, කුඩා සාක්‍ෂි ඛුද්දක නිකායේත්, තවත් කුඩාම සාක්‍ෂි විශේෂයක් සංයුක්ත නිකායේත්, සංඛ්‍යාත්මක කියූ සාක්‍ෂි අංගුත්තර නිකායේත්, නීතිරීති, රෙගුලාසි, ව්‍යවස්ථා සියල්ලම විනය යනුවෙන් වෙනම වර්‍ග කරනු ලැබුවා. සිත පිළිබඳව වූ ගාම්භීර දේශනා අභිධර්මය යනුවෙන් වර්‍ග කළා. මෙසේ වර්ගිකරණය කළාට පසුව මෙම වර්ගි¡කරණය මතක තියා ගැනීමට සිටින පිරිසට එම සියල්ලම මතක තබා ගැනීම ප්‍රශ්නයක් වුණා. දීර්ඝ සාක්‍ෂි මතක තබා ගැනීමට පත් කළ පිරිස දීඝ භාණක ලෙසද, මධ්‍යම ප්‍රමාණයේ සාක්‍ෂි මතක තබාගත් පිරිස මධ්‍යම භාණක ලෙස පිරිසක් ද පත් කරනු ලැබුවා. මේ ආකාරයට තුන් මාසයක් පුරාවට කොමිසන් සභාව රැස්වුණා. රාජ්‍ය ආනුග්‍රහයෙන් පවත්වපු ලෝක ඉතිහාසයේ පළමුවන මහා සංඝ සම්මේලනයි ඒ. මහා සංඝ සම්මේලනය සාක්‍ෂි විභාග කළ තර්ක විතර්ක කළ කොමිසම් සභාවක්. පළමුවන ධර්ම සංඝායනාව නමින් එය අප හඳුන්වනු ලැබුවා. පළමු ධර්ම සංගායනාව පවත්වපු ස්ථානය, රාජ්‍ය අනුග්‍රහය සහභාගිවූ පිරිස පිළිබඳව අප ද දැනගෙන සිටියත්, එහි ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳ එතරම් පැහැදිලි අවබෝධයක් අප සතුව නැහැ. ඉතිහාසයේ කිසියම් ආකාරයක දේශනාවක සංරක්‍ෂණයක් සිද්ධ වුණු දියුණුම සිද්ධාන්තය දැනටත් වඩා පැහැදිලි බවක් දක්නට ලැබෙනවා.

මතක තබා ගැනීමේ අපහසුව නිසා එක්කෙනෙකුට එක කොටසක් කට පාඩමින් මතක තබා ගැනීමට පැවරුණා. ඒ එක්කෙනා කට පාඩමින් එක කොටස බැගින් මතක තබා ගැනීම සඳහා තව අනුගාමිකයන් කිහිප දෙනෙක් පැවිදි කරගනු ලැබුවා. සින් සතා ( ඇක්ටේරියා ) සූත්‍රයේදී බුදුහාමුදුරුවන් අතට කොළ ටිකක් අරගෙන දේශනා කරනවා මේ ඇක්ටේරියා වනයේ කොළ තිබෙන ප්‍රමාණය කොච්චරද ? එම ප්‍රමාණය මම දන්නා දේ නම් අතේ තිබෙන කොළ ප්‍රමාණය මම ඔබට දේශනා කරපු දෙයයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ වලින් අප ළඟ තියෙන්නෙ ඇත්තටම අහපු අයගේ අතරේ සාක්‍ෂි ලබාදුන්න ඒවා. ඒවා තියෙනවා පොත් වශයෙන්ම පනස් හතක ( 57 ) ප්‍රමාණයක්. එච්චර දේශනා ප්‍රමාණයක් ඉතිරි වුණා. ශාස්තෘවරයෙක් ලෝකයේ මතක තබාගන්න පත් කළ පිරිස අතරින් කී දෙනෙක් මැරුණද දන්නේ නෑ. කී දෙනෙකුට අමතක වුණාද දන්නේ නෑ. කී දෙනෙක් කොහේ කොහේ ගියාද දන්නේ නෑ. කී දෙනෙක් මෙම වෑයම අතෑරිය ද දන්නේ නෑ. කී දෙනෙක් ඒක මතක තියෙද්දී තව එක්කෙනෙකුට මතකය නොදී මැරුණද දන්නේ නෑ. එතරම් ප්‍රමාණයක් අපට අහිමිවෙලා තියෙනවා. ඉන්දියාවේ වික්‍රමශීලා, ජගත්දලා, නාලන්දා, ඕදන්තපුරි වගේ විශ්වවිද්‍යාලවල මේවා අධ්‍යයනය කරමින් පාඨමාලා පවත්වාගෙන යමින් පවත්වාගෙන ආවා. ඇලෙක්සැන්ඩ්‍රියානු ආක්‍රමණිකයො ඇවිත් දානය වළඳමින් සිටි හාමුදුරුවරු දහස් ගණනක් කපල කොටල මරල සතියක් පුස්කොළ පොත් ගිනි තිබ්බා. කීයක් පිච්චිලා යන්න ඇද්ද ? මේ සියල්ල සිදුවුනේ ඉන්දියාව තුළයි. එයිනුත් කී දෙනෙක් ලංකාවට පැමිණියාද දන්නේ නෑ. ලංකාවට ඇවිදිනුත් ලංකාව තුළ මෙය පවත්වාගෙන ආවේ කට පාඩමින්. වළගම්බා රජතුමාගේ කාලයේදී වැලිිගොඩවල් ගහගෙන වැලිගොඩේ ඔලුව තියාගෙන පිරමීඩාකාරයට ඉඳගෙන මේ දේවල් මතක තබා ගැනීම සඳහා කටපාඩමින් කියෙව්වාය කියල කියනවා. ඔලු ටික එකට ළං කරගෙන පිරමීඩාකාර ආකෘතියට ඇලවෙන්නේ මම කියන දෙය තව එක්කෙනෙකුට ලඟින්ම ඇසෙන නිසයි. ශබ්ද නඟා කියා ගත්තත්, වැඩි වේලාවක් තියා ගත්තත් අපහසුයි. දුර්භික්‍ෂය නිසා ආහාර නැතිකමින් නොකා නොබී කණ්ඩායම් වශයෙන් කටපාඩම් කළේ මේ දේවල් අමතක වන නිසයි. ඔය අතරින් කී දෙනෙක් දුර්භික්‍ෂ නිසා නැතිවුණාද ? ගස්වල පොතු ගෙනත් කෑලි වශයෙන් කුඩු කරල ඒවායින් පල්ප් එකක් හදාගෙන කාලා තමයි යැපුනේ. එතරම් වීර්යයක් ගත්තේ මේ දේවල් කටපාඩමින් තබා ගැනීම අවශ්‍ය නිසයි. ඒ කාලය තුළ ජීවිත ආරක්‍ෂා සඳහා එයින් කොටසක් ඉන්දියාවට පලා ගියා. සමහරු මැරුණා. එහෙමත් වෙලා කී දෙනෙක් ඉතිරි වුණාද දන්නේ නෑ. මාතලේ අලුවිහාරයේදී මේ දේවල් ලිවීම සඳහා කී දෙනෙක් සහයෝගය දුන්නද දන්නේ නෑ. දන්න හැම දෙයක්ම ලියුවද දන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මෙහෙම වෙනකොට අද මේ ඉතිරිවෙලා තිබෙන ප්‍රමාණයත්, අර ඇක්ටේරියා වනයේදී බුදුහාමුදුරුවන්ගේ අතට දුන්න කොළවලින් හුළඟෙත් ගිහිල්ල දිරා ගිහිල්ල ඉතිරිවුණ කොටසත් වගේ කොටසක්. එසේ වුවත් අපට පොත් 57 ක් තියෙනවා. අසූහාර දහසක් ධර්මස්කන්ධය තාමත් අපට තියෙනවා එහෙමත් වෙලා, ලෝකයේ පළමුවන බෞද්ධ සංරක්‍ෂණ කොමිසම් සභාව පිළිබඳ පුවත අදට එය වැදගත් වෙන්නේ කරනවා නම් අද කළයුත්තේ කුමක් ද? කළ හැක්කේ කෙසේද ? යන පාඩම මහා කාශ්‍යප හාමුදුරුවො අපට කියලා දීලා තියෙනවා.

හේමමාලා රන්දුනු