Print this Article


සරු කෙත හා නිසරු කෙත

සරු කෙත හා නිසරු කෙත

අප මොනවා හරි දෙයක් පිළියෙල කරලා දානයක් ලෙස තව කෙනෙකු අතට පත් කළ පමණින් දානයට ලැබෙන මහානිශංසය ලබන්නට බැහැ. ගොවියෙක් ගොවිතැන කරන්නේ ඇයි? සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. සරු අස්වැන්න බලාරොත්තු වන ගොවියා කොතැනක හෝ වපුරල හරි යන්නේ නැහැ. නිසරු බිමක වපුරා සරු අස්වැන්නක් ලබන්නට බැහැ. ගොවියා දක්ෂ වෙන්නඕන සරු කෙත හඳුනාගන්න

තථාගතයන් වහන්සේ ලොව පහළවන කල්හි කල්‍යාණ මිත්‍රත්වයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන් නිවනට මඟ පාදාගන්න සුදුසුකම් නිර්මාණය කිරීමයි අවසාන ඉලක්කය. ඒ ඉලක්කය උන්වහන්සේගෙන් ඉෂ්ඨ සිද්ධවෙන්න නම් අප මහානිශංස ක්‍රියා පිළිබදව ගැඹුරින් විමසා බලන්න ඕන. අප කරන පින්කම් කොහොම කළත් ප්‍රතිවිපාක ලැබෙන නමුත් එහි අඩු වැඩිකම් තිබෙනවා.

දානය කියන දේ මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද කියා අප විමසා බැලුවොත් අප ඒ තුළ තිබෙන ගැඹුර නො දන්නේ නම් කුසල් සිතක් පින් සිතක් පහළ නො වුණානම් ඒක ඤාණ විප්‍රයුක්තයි. නුවණින් තොරයි. ඒ නුවණ යෙදුන පින කුසලය හරියට උපමාවකින් පැවසුවොත් නැවත ප්‍රතිවගාව සඳහා බීජ තෝරනවා වගේ. බීජ හැම එකක්ම පැළ සඳහා සුදුසු නැහැ. බීජ ගනයට අප තෝරන්නේ එහි උපරිම සුදුසුකම් සොයා බලමින්. බීජය තුළ යම් ශක්තියක් මෙන්ම යම් බීජමය හැකියාවකුත් අවශ්‍යයි. බීජමය හැකියාව නැති බීජත් තිබෙනවා. අප වී ගත්තොත් බීජ වශයෙන් ගන්න සුදුසු බීජ තිබෙනවා. බීජ වශයෙන් ගන්න බැරි වී තිබෙනවා. බීජ වශයෙන් ගන්න පුළුවන් දෙයින් කාර්යයන් දෙකක් කරන්න පුළුවන්. එකක් එදිනෙදා කෑමට ගන්න පුළුවන්. අවශ්‍ය නම් නැවත වගාවට යොදවන්නත් පුළුවන්. අප දාන, ශීල භාවනා වශයෙන් කරගන්නා කුසලය, පින මේ හැකියාවන් දෙකම සම්පූර්ණ වෙන්න ඕන. බීජමය හැකියාව කියන්නේ ඒ හා යෙදෙන නුවණ. බුදුරජාණන් වහන්සේ මේ අගයන්නේ ප්‍රශංසා කරන්නේ් මේ නුවණ හා යෙදුන ක්‍රියාවටයි. උතුම් පවිත්‍ර මනස හා යෙදුන ක්‍රියාවයි අගයන්නේ.

තථාගතයන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කියන්න දෙවි ලොවට වැඩම කළ දවසේ මුලින් ම ඇවිදින් බුදුරජාණන් වහන්සේ අසළ වාඩිවුණේ “අංකුර” හා “ඉන්දික” කියන දිව්‍ය පුත්‍රයන්. ටික වෙලාවකදී බුදුරජාණන් වහන්සේ සුදම් සභාවට වැඩම කළා කියලා දැනගත් සදෙව් ලෝකවාසී මහ දෙව්වරු උන්වහන්සේට වන්දනා කරන්න දකින්නට, බණ අහන්න එන්න පටන් ගත්තා. එවෙලෙහි මේ අංකුර දිව්‍ය පුත්‍රයා එන එන මහේශාක්‍යය දෙවිවරුන්ට ඉඩ දෙමින් පස්සෙන් පස්සට යන්න වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මුලින් ඉදිරියේ සිටි කෙනෙක් පිරිස කෙළවරටම ගිහිල්ලා. මෙහි රහස තථාගතයන් වහන්සේ දැන සිටියත් ඔහුගෙන් ම මේ ප්‍රකාශනය කරවා ගතයුතු බැවින් පළමුකොට උන්වහන්සේ විමසුවා අංකුරය, ඔබ සියල්ලටම පෙර මා සමීපයේමයි හිටියේ. එන එන දෙවිවරුන්ට ඉඩ දී ඔබ දැන් ඉන්නේ පිටු පස්සේයි. ඉන්දික තමා සිටි ඉරියවුවේ ම ඉන්නවා. ඇයි එහෙම වුණේ? ඉන්දික මේ වෙලාවේ අංකුර දිව්‍ය පුත්‍රයා සරු කෙත නිසරු කෙත පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. ස්වාමිනි, ඔබ අසල ඉන්න ඉන්දික දිව්‍ය පුත්‍රයා වෙන කිසිවෙක් නොව එදා සැවැත්නුවර සිටිය ඉන්දික දුගියා යි. ඉන්දික දුගියාට දන් දීමට තමා ළඟ කිසිවක් තිබුණේ නැහැ. ඔහු අනුන්ගෙන් යමක් ඉල්ලලායි ජීවත් වුණේ. එදත් පුරුදු විදිහට සිඟමනේ ගියා. එවෙලෙහි ඔහුට යම් කෙනෙක් කෑමට දෙයක් දීමට සූදානම් වුණා. තමාගේ් පතට යමක් බෙදන්න හදනවාත් සමඟ ඒ ළඟ ළඟ ම වඩින අනුරුද්ධ මහරහතන් වහන්සේ දුටුවා. ඉන්දික දුගියා කල්පනා කළා මේ දේ මගේ නො වුවත් මට බෙදන්න ගිය දේ හෝ අනුරුද්ධ මහ රහතන් වහන්සේට පූජා කරන්න ඕන. පෙරත් දන් දෙන්න බැරි වූ නිසා අද දුප්පත් වෙලා. මෙබඳු දුකකට නො වැටෙන්න නම් මෙබඳු පිනක් හෝ කරගන්න ඕනෑයැයි සිතා ගෞරවණීය සිතක් උපදවා ගෙන තමාගේ් නො වුණත් තමාට ලැබෙන්න ගිය දේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට පූජා කළා. ස්වාමිනි ඉන්දික දුගියා කළේ මේ පින විතරයි. එය තමයි මේ සියලු දෙවියන් අතර ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ආධිපත්‍යභාවයට පත්වෙලා ඉන්නේ. එහෙත් ස්වාමිනි, මම එක් දානයක් නොවේ. අවුරුදු විසි දහසක් දවසට ලක්ෂ ගණන් වැය කරමින් මහ දන්සල් පැවැත්වූවා. නමුත් මගේ දානයට එබඳු ආනිශංසියක් ලැබුණේ නැහැ. මට කවදාවත්ම දිට්ඨිසම්පන්න කෙනෙකුට අඩුතරමින් කර්මඵල දන්න නුවණ තිබෙන කෙනෙක් එහෙම නැත්නම් සෝතාපන්න මාර්ගයට හෝ පැමිණි කෙනෙක් මගේ දානයට කවදාවත් ම ලැබුණේ නැහැ. නිසරු කෙතක බොහෝ වපුරපු මට ලැබුණේ අල්ප වූ අස්වැන්නක්ම යි.සරු කෙතේ ටිකක් වපුරපු ඉන්දික දුගියාට මහ අස්වැන්නක් ලබන්න පුළුවන්කම ලැබුණා. මේ සිදුවීම තුළ අප කෙත ගැන කෙසේ සැළකිලිමත් විය යුතු ද? කියා අපට කියා දෙනවා.

අප වෑයමක් කරලා ලෞකික විපාකයක් ලෙස වුවත්, අංකුර වගේ පස්සෙන් පස්සට යන අල්ප විපාක බලාපොරොත්තු නොවිය යුතුයි. ඉන්දික වගේ ඉදිරියෙන් ඉන්න, හිටි තැන ම ඉන්න දිව්‍යමය වූ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිභාවයෙන් බැබළෙන පින්කම් කළ යුතුයි. මනුෂ්‍යයන් අතරට ආවත් සිව්පස ලබන උත්කෘෂ්ඨ මහ විපාකයන් ලැබෙන ලෙස අප සරු කෙත වපුරා තිබෙන්න ඕන. ඒ නිසා දානමය පින කරනකොට කෙත ගැන සිතන්න විමසන්න. ඒ ටික දැනගත්තේ හඳුනා ගත්තේ් නැතිව ඒ ශාසනය තුළ මහානිශංසදායි මහ පින්කම් කරන්න බැහැ.

අප මොනවා හරි දෙයක් පිළියෙල කරලා දානයක් ලෙස තව කෙනෙකු අතට පත් කළ පමණින් දානයට ලැබෙන මහානිශංසය ලබන්නට බැහැ. ගොවියෙක් ගොවිතැන කරන්නේ ඇයි? සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. සරු අස්වැන්න බලාරොත්තු වන ගොවියා කොතැනක හෝ වපුරල හරි යන්නේ නැහැ. නිසරු බිමක වපුරා සරු අස්වැන්නක් ලබන්නට බැහැ. ගොවියා දක්ෂ වෙන්නඕන සරු කෙත හඳුනාගන්න. සරු කෙත වගේම නිසරු කෙත තිබෙනවා. නිසරු කෙතක වපුරලා සරු අස්්වැන්නක් බලාපෙරොත්තු වුණාට එය සිදුවන්නේ නැහැ. සරු කෙතෙක වැපුරුවොත්නම් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්කම තිබෙනවා. ගොවියා සරු නිසරු කෙත දන්නේ නැත්නම් කොහොමද සරු අස්වැන්නක් ලබන්නේ. වැලි පොළොවේ වැපුරුවාට සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ගල් බොරලු සහිත බිමක වැපුරුවාට, කිරිමැටි පොලවක වැපුරුවාට, ඉක්මණින් දිය සිඳෙන කුඹුරක වැපුරුවාට සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ගොවියාට මේ තැන්වල වපුරන්න පුළුවන්. නමුත් සරු අස්වැන්නක් ලැබෙන්නේ කුඹුර මඩ සහිතනම්, ඇතුළට වතුර ගෙන එන්න පුළුවන් වගේම කැමැතිවිටක වතුර පිට කරන්නත් පුළුවන්නම් එබඳු කෙතක වැපුරුවොත් සරු අස්වැන්නක් ලැබෙනවා.

දැන් ගොවියා දක්ෂවෙන්න ඕන වපුරන්න සුදුසු කෙත හොයාගන්න. සුදුසු කෙත සොයා නොගත්තත් සරු අස්වැන්න ලැබෙනවා කියන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. බීජ නිසරුනම් සරු අස්වැන්නක් ලැබෙනවා කියන දේ සිදු නොවෙන දෙයක්. දිලීර බැක්ටීරියාවලට ගොදුරුවීමත් සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳ බීජ, හොඳ කෙතක වැපුරුවොත් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්. කෙත හොඳ වුවත් බීජ හොඳ වුවත්, ගොවියා අදක්ෂ වුණොත් අනුවණ වුණොත්, නිසි කලට, නිසි කටයුතු කරන්න අසමත් වුණොත් ඒ අනුවණ ක්‍රියාවෙන් ගොවියාගේ් ගොවිතැන සරුවෙන්නේ නැහැ. සරු අස්වැන්න සඳහා ගොවියා නුවණැති වෙන්න ඕන. අනලස් වෙන්න ඕන. නිසිකලට කටයුතු කිරීමට දක්ෂ වෙන්න ඕන. මේ කරුණු තුන එකතු නො වුණොත්, ස්වභාවික විපත් සිදු නොවුණොත් ගොවිතැන සාර්ථක වෙන්න පුළුවනි. දානය ගැනත් බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූයේ මේ ආකාරයට යි. එතැනත් තිබෙනවා කෙතක්. බීජත් තිබෙනවා. එතැනත් ඉන්නවා ගොවියා.

මේ සාධක තුන ඒ ආකාරයෙන්ම තියෙනවා. මේ සාධක තුන හඳුනාගෙන යම් කෙනෙක් කටයුතු කරනවානම් එතැන සම්මාදිට්ඨිය පෙරටුකරගත් ගමන්මඟ ක්‍රියාත්මක වෙනවා.