Print this Article


සැබෑ සැනසුම

සැබෑ සැනසුම

තෘෂ්ණාව ප්‍රහීන කිරීමේ ඵලය අර්හත් ඵල ප්‍රාප්තියයි. එහි දී තෘෂ්ණා මුල් සිඳ දැමීම අදහස් වේ. දුක්ඛයාගේ සමුදය වූ තෘෂ්ණාවගේ ආදීනව දැන දැක එය ප්‍රහීන කොට උපාදාන රහිත වූ කල්හි හෙතෙම සංසාර ප්‍රවෘත්තීන්ගෙන් ඉවත් වේ. තණ්හාක්ෂය කිරීමත් සමඟ සංසාර ප්‍රවෘත්තිය අවසන් වන්නේ උපාදාන රහිත බැවිනි. එය රහත්භාවය ලැබීමයි.

මේ ලිපියෙහි මුල් කොටස ‘නිසැකව නිවුණා නම් වේ” මැයෙන් පසුගිය 09 වනදා පත්‍රයේ පළවිය.

ශ්‍රේෂ්ඨ භාවයට පත්වීම අර්හත් උතුමන්ගේ ස්වභාවයි. ඒ අර්ථයෙන් උන්වහන්සේ සඳහා බ්‍රහ්මභූ®ත යන පදය ව්‍යවහාර වේ. දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය යන සියලු දෙනා අතර අග්‍ර වූ, උත්තම වූ, ශ්‍රේෂ්ඨ වූ යන අර්ථයෙන් බ්‍රහ්මභූත වන බව අට්ඨකථාචාරීන් වහන්සේගේ විවරණය වේ. අර්හත් පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වඩාත් සුවිශේෂ බව දැක්වීම සඳහා විශේෂිත වචනයක් ලෙස ‘අනුප්පත්තසත්ථ’ යන පදය වැදගත් වේ.

රහත් භික්‍ෂුව ස්වාර්ථයට පැමිණි පුද්ගලයකු ලෙස පිළිගැනේ. හෙතෙම පිළිවෙළින් නො එසේ නම් අනුක්‍රමයෙන් පරම උත්තම යහපත හෙවත් නිර්වාණය සාක්‍ෂාත් කර ගනී. (අනුප්පත්තසදත්ථො භික්‍ඛූ අරහංහෝති) සකලවිධ විෂයන් කෙරෙහි ඇලීම්,බැඳීම ආදියෙන් විනිර්මුක්ත, අනුක්‍රමයෙන් අමෘත වූ නිර්වාණාධිගමය කළ පුද්ගලයා ‘බ්‍රාහ්මණ’ යන නාමයෙන් ව්‍යවහාර කළ හැකිවේ. මෙමගින් භාරතීය සමාජයේ ‘බ්‍රාහ්මණ’ යන පදයට නව අර්ථකථනයක් බුදුසමයෙන් ඉදිරිපත් කළ අතර සකලවිධ ක්ලේශ ධර්ම ක්ෂය කළා වූ පාප සිතුවිලි මෙන්ම ක්‍රියාවන්ගෙන් ද මුළුමනින්ම බැහැර වූ පුද්ගලයා බ්‍රාහ්මණ නාමයට සුදුසු බව බුදුසමයේ අර්ථකථනය වේ.(බාහිත පාපෝති බ්‍රාහ්මණෝ)

රහත්ඵල ලාභියාගේ සිත සන්සුන් සිතක් වේ. ‘අනෙජන්තෙ තෙ අනුප්පත්තා චිත්තං තෙසං අනාවිලං’ විශේෂයෙන් කැළැඹීම් නොමැති සිත වනාහි අර්හත් සිතකි. ඉන් ගම්‍ය වන්නේ අෂ්ටලෝක ධර්මය විෂයයෙහි කම්පානොවී සිටීමට හැකි උත්තුංග ගුණයයි. සන්සුන් සිත පවිත්‍රය. මල රහිතය. සූර්යයා මෙන් දීප්තිමත් වේ. බ්‍රාහ්මණයාගේ සිත ද එබඳු බව වාසෙට්ඨ සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි විශේෂයෙන් මතු කොට දක්වන අදහසක් නම්, අර්හත් පුද්ගලයාගේ සිත පහන් වූ එමෙන්ම නොකැලැති වන්නා සේම ත්‍රිභවයෙහි ක්‍ෂය වූ නන්දි සංඛ්‍යාත තෘෂ්ණාවෙන් ද සමන්විත සිතක් බවයි.

විශේෂයෙන් ‘බ්‍රාහ්මණ’ ශබ්දයට පෙළ දහමෙහි මෙන් ම අටුවාවන්හි දී ඇති අර්ථ විවරණයට අනුව, ඉන් විෂද කොට දක්වන්නේ අර්හත් පුද්ගලයාගේ ගති චෛතසික ස්වභාවයයි. බ්‍රාහ්මණ ධම්ම සූත්‍රයට අනුව, යමකුට “බ්‍රාහ්මණ” යන ව්‍යහාරය අභිධානය කිරීමට නම් ඔහු කාරණා හතකින් පරිපූර්ණ විය යුතුයි. හෙතෙම සක්කායදිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස,රාගය,දේවේශය,මෝහය සහ මානය යන ක්ලේෂ ධර්මයන්ගෙන් විනිර්මුක්ත නම් ‘බ්‍රාහ්මණ’ යන පදය භාවිත කිරීමට සුදුස්සකු වේ.

අස්මිමාන සමුච්ඡින්න භාවය අර්හත්ඵල ලාභියා තුළ පවත්නා ලක්‍ෂණයකි. ඔහු තුළින් නවවිධ වූ අස්මිමානය ස්වකීය අර්හත් ඥානයෙන් ම සිඳලීම සිදුවේ. ඒ සඳහා අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු වේ.අර්හත්ඵලලාභී පුද්ගලයා අස්මිමානය මුලිනුපුටා දැමූවකු හෙයින් උත්පත්ති වශයෙන් භවරාග ද නොමැත. හෙතෙම සියලු භවයන් ඉක්මවා සිටී. ‘උපච්චගා සබ්බ භවා’ මේ හේතුවෙන් නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ කර ගැනීමේ හා එහි සුවය අත්දැකීමේ ශක්‍යතාව උපදවා ගනී. අනාශ්‍රව භාවයට පත් වන හෙයින් යළි ත්‍රිභවයට නොපැමිණෙන බැවින් ද ආර්ය නාමයෙන් වෙසෙසා හැඳින්විය හැකිය. ඛිණාශ්‍රව උතුමන්ගේ ඉන්ද්‍රිය සංවර භාවය විග්‍රහ කිරීම සඳහා පෙළෙහි ‘ගුත්තද්වාරො’ යන පදය භාවිත වේ. සියලු ඉන්ද්‍රිය දොරටු වසා දමන ලද හෙවත් මනා ඉන්ද්‍රිය සංවරයක් ප්‍රකට වන බව එම පදයෙන් අදහස් වේ. මෙය බුදුසමයේ ඉගැන්වෙන ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයයි.නොකිලිටි සන්තානය තුළ අධිචිත්ත සුඛය වින්දනය කළ හැක්කේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරය ඇත්තාට පමණි. ඔහු විසින් ඉන්ද්‍රියයන්හි දොරටු වසන ලද්දේ වේ. බුදුරදුන්ගේ ඖරස පුත්‍රයන් වන්නේ මෙබඳු රහත් උතුමන් ය. ‘පුත්තා බුද්ධස්ස ඔරසා’ සිව්වනක් පිරිසකගෙන් සමන්විත වූ බෞද්ධ සමාජ සංස්ථාව තුළ මාර්ගඵල සාක්‍ෂාත් කළා වූ ද, අර්හත් ඵලයට පැමිණියා වූ පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයෝ වෙති. මුන්වහන්සේට ද බුද්ධ යන පදය ව්‍යවහාර වේ. ‘බුද්ධාලොකෙ අනුත්තරා’ විශේෂයෙන් චතුරාර්ය සත්‍යාවබෝධය හේතුවෙන් සියලු රහත්හු ද බුද්ධ යන නාම ව්‍යවහාරයට සුදුස්සෝ වෙති.

ත්‍රිවිධ අකුසල මූලයන් ප්‍රහීන කිරීමත් සමඟ පුද්ගලයකු අර්හත් තත්ත්වයට පත් වේ. රාගය මුළුමනින් ම නසා විරාගී තත්ත්වයට පත් වීම, දෝසය නසා මෛත්‍රි කරුණා චිත්තය දියුණු කිරීම,මෝහය දුරු කොට ප්‍රඥාවබෝධය ලැබීම යනු අර්හත්වයයි. රාග ගිනි,දෝස ගිනි,මෝහ ගිනි නසා අවිද්‍යාව සහමුලින්ම නැසූ පුද්ගලයා ‘විජිතසංගාව’ වේ. ක්ලේෂ ධර්මයන් සමඟ සටන් කොට එයින් ජය ලැබූ පුද්ගලයා හැඳින්වීම සඳහා ‘විජිතසංගාව’ යන වචනය භාවිත කරයි. ක්ලේෂ ධර්ම සංග්‍රාමයෙන් ජය ලැබූ ශීලාදී ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පහ වූ බිය ඇති බුද්ධශ්‍රාවකයන් දකින දිව්‍ය බ්‍රහ්මයෝ පවා නමස්කාර කරන්නාහ.

තෘෂ්ණාව ප්‍රහීන කිරීමේ ඵලය අර්හත් ඵල ප්‍රාප්තියයි. එහි දී තෘෂ්ණා මුල් සිඳ දැමීම අදහස් වේ. ‘වීත්තණ්හො අනාදානො ‘ දුක්ඛයාගේ සමුදය වූ තෘෂ්ණාවගේ ආදීනව දැන දැක එය ප්‍රහීන කොට උපාදාන රහිත වූ කල්හි හෙතෙම සංසාර ප්‍රවෘත්තීන්ගෙන් ඉවත් වේ. තණ්හාක්ෂය කිරීමත් සමඟ සංසාර ප්‍රවෘත්තිය අවසන් වන්නේ උපාදාන රහිත බැවිනි. ඉන් මිදීම රහත්භාවය ලැබීමකි. අතීත,අනාගත, වර්තමාන ස්කන්ධ ධර්ම පිළිබඳ වූ පළිබෝධයක් නැද්ද, රාගාදී කෙලෙස් රහිත වූ, තෘෂ්ණා දෘෂ්ටි මාන ආදියත් නැති ඒ වීතරාගි පුද්ගලයා බ්‍රාහ්මණ යයි ප්‍රකාශ කරන බව ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ දැක්වේ.

රහත්ඵලලාභී උතුමන්ගේ උදාන වාක්‍යය වන්නේ තමා පූනර්භවයෙන් මිදුනේය’යන්නයි. විශේෂයෙන් පඤ්ච උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කළා වූ, සියලු භාවයන් විෂයයෙහි පවත්නා තෘෂ්ණාවෙන් විනිර්මුක්ත වූ භික්‍ෂුව ජාති දුකට නොපැමිණේ. මින් මතුවට භවයක් නොමැත. එහෙයින් අර්හත්ඵලලාභී උතුමන් වහන්සේ පරිසමාප්ත වු බ්‍රහ්මචරියාව ඇත්තෝ රහත් වූවෝ (වූසිතො) වෙති. එබඳු උතුමන්ගේ් චරිතස්වභාව ශාන්තය. ධර්මාවබෝධයෙහි පාරප්‍රාප්ත වූයේ බ්‍රහ්මචර්යානුගත ධර්මන්‍යායම දේශනා කරන්නාහ.

‘සම්මදඤ්ඤා විමුත්තො’ යන පද විග්‍රහයට අනුව මනා ලෙස දැන, දැක අවබෝධ කොට සාංසාරික දුක්ඛයෙන් විනිර්මුක්ත වූ භික්‍ෂුව රහත්ඵලය අවබෝධ කළේ වෙයි.උන්වහන්සේගේ එම විමුක්ති ප්‍රාප්තිය ඥානය පදනම් කොට සිදු වූවක් වේ. එබඳු උතුමා ආශ්‍රවයන් දුරුකළ, සියලු කාර්යයන් නිම කළ සාංසාරික බන්ධනයට හේතු ප්‍රත්‍ය වූ ක්ලේශ බර පසෙක තැබූ, පිළිවෙළින් පැමිණි රහත්ඵල සහිත, මනා ලෙස ස්වකීය ඥානයෙන්ම දැන දැක ක්ලේශයන්ගෙන් මිදුණු කෙනෙකි. එබඳු උතුමන් වහන්සේ රහත් වූයේ සැප ඇත්තේ වේ. එය මාර්ගඵලාධිගමයෙන් සාක්ෂාත් කරන්නා වූ ද, තෘෂ්ණාවෙන් විනිර්මුක්ත වූ ද ඥානයකි. ඒ සමඟ ම පංචේන්ද්‍රියයන්ගේම සංවරය ඇතිවේ. (සුසංවුතො) මාරයාගේ බන්ධනයට හසු නොවන අයකු වේ. සමස්ත ජීවලෝකයෙහි සත්ව ප්‍රජාව අතර අග්‍රස්ථානයට පැමිණේ. එබැවින් සත්ව ලෝකයෙහි අර්හත්ඵල පුද්ගලයාම ශ්‍රේෂ්ඨතම , උත්තම වේ.