Print this Article


පොත් පුවත්

පොත් පුවත්

මෙවන් සතුටක් වෙන කොයින් ද?

පරිවර්තනය: සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
ප්‍රකාශනය : සමුද්‍ර වෙත්තසිංහ
385/2, කෝට්ටේ පාර, පිටකෝට්ටේ
මිල : රු. 350/-

ලෝක ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඊඩඥ ඒපබ ධට ච්ඪඵචනනඥචපඪදඨ නම් නවතම කෘතියෙහි සිංහල පරිවර්තනය ‘මෙවන් සතුටක් වෙන කොයින්ද?’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන් මේ කෘතියේදී අවධානය යොමු කරනුයේ භාවනාව පිළිබඳවය. බුද්ධ ධර්මය අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව පහදා දෙන උන්වහන්සේ සියල්ල අත්හැරීමෙන් සතුට ලබන ආකාරය මෙමඟින් පෙන්වා දෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුය.

බුදුදහම මනසට ඖෂධයක් වන ආකාරයද ප්‍රඥා බලය වඩා ගත හැකි ආකාරයද කාම ආශා විනිවිද දකින ආකාරය ද මේ පොතෙන් පැහැදිලි කර දෙන්නේ සිත දියුණු කළ යෝගී උතුමෙකු පරිද්දෙනි.

 


පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නා හිමි ධර්ම දේශනා

සම්පාදනය: පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි
ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි හා සමාගම,
101 සහ 102 එස් මහින්ද හිමි මාවත,
කොළඹ - 10
මිල : රුපියල් 380/-

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නා හිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ඇසුරු කොට බොරැල්ලේ කෝවිද හිමියන් සම්පාදනය කළ මෙම ග්‍රන්ථයේ ධර්ම දේශනා 27 ක් ඇතුළත්ව තිබේ. පොතට හැඳීන්වීමක් සපයන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් පවසන්නේ දහස් ගණන් ධර්ම දේශනා පවත්වා ඇති උන්වහන්සේ වරින්වර විද්‍යූත් මාධ්‍ය මඟින් පවත්වන ලද දේශනා ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීම කාලෝචිත බවය. දීර්ඝ කාලයක් ඉගැන්වීමෙන් ලද ප්‍රවීණත්වය අනුව ශිෂ්‍යයන්ට කා වදින සේ උගන්වන්නාක් මෙන් කරුණු පැහැදිලි කිරීම ශ්‍රාවක සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වන බවයි.

 


මග හොඳට තිබේ නම්

කර්තෘ : මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ප්‍රකාශනය : ජීවිතයට දහම් පාසල
මිල : රුපියල් 250/-

සංස්කෘත ශ්ලෝකයන්ගෙන් කියැවෙන උපදේශයන්ට අනුගතවෙමින්,ජීවිතයේ නොයෙක් පැතිකඩයන් දෙස විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් බැලීමට ගත් උත්සාහයකි. පොත පිළිබඳව පසුවදනක් සපයන මහාචාර්ය ඩබ්.එස්.කරුණාතිලක මහතා කියා සිටින්නේ සංස්කෘත භාෂාව හා තදාශි‍්‍රත ඉන්දුවේදීය විෂය ක්‍ෂේත්‍රයෙන් පිළිබඳ ශාස්ත්‍රදානය කරන පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ එකී විෂය පරාසයට බැහැර වූ ජාතික හා ආගමික විෂයයෙහි සංවේදී තරුණ යතිවරයාණන් කෙනෙකු බවයි. ශාස්ත්‍රවේදි විශේෂ ශාස්ත්‍රපති යන උපාධීන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලද උන්වහන්සේ ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයේදී ‘ශ්‍රී ලංකාවේ සංස්කෘත මාධ්‍ය අභිලේඛන’ පිළිබඳව පර්යේෂණ කරමින් ආචාර්ය උපාධිය ලදහ. රාජකීය පණ්ඩිත උපාධිය ඉතා අඩු වයසේදීම සමත්ව ඇති උන්වහන්සේ ප්‍රාචීන භාෂා අධ්‍යයනයෙහි ලා දහර කාලයේදී ලද පරිචය මේ වන විට මනා ඵලදායී අයෝජනයක්ව ඇති බව පෙනේ. වියත් ධර්ම දේශකයාණන් කෙනෙකු වන උන්වහන්සේගේ ශාස්ත්‍රීය ව්‍යායාමය සඵල වේවායි පතමි යනුවෙන්ය.


බෞද්ධ විවාහය

කර්තෘ : ආචාර්ය එම්. ධනවර්ධන ගුරුගේ
කර්තෘ ප්‍රකාශනයකි
මිල : රුපියල් 975 /-

ග්‍රන්ථයට ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමිපාණන් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් අගමැති දි.මු. ජයරත්න මැතිදුන් ඇතුළු ගිහිපැවිදි වියත් පඬිවරුන්ගේ ශුභාශිංසන ඇතුළත්ව තිබෙයි.

ශුභාශිංසනයක් එකතු කරමින් නාපාන පේමසිරි මා හිමියන් පවසන්නේ අද සිංහල බෞද්ධයන්ගේ විවාහ මංගලෝත්සව බොහොමයකම සිංහලකම බෞද්ධකම ගිලිහී ඇති බවයි. මෙම ඛේදනීය තත්වයෙන් අපගේ සිංහල බෞද්ධ ජනතාව මුදවාගෙන පැරැණි විවාහ චාරිත්‍රයන්හි හරය පසක් කර දීමට මෙන්ම අපේ යැයි කිව හැකි සරණ මංගල්‍ය පිළිවෙතක් ඉදිරිපත් කර එය ස්ථාපනය කිරීමට ආචාර්ය එම්.ධනවර්ධන ගුරුගේ මහතාගේ බෞද්ධ විවාහය කෘතිය තුළින් ගත් උත්සාහය ප්‍රශංසනීය බවයි.

බෞද්ධ විවාහය කෘතිය තුළින් ආචාර්ය එම්. ධර්මවර්ධන ගුරුගේ මැතිඳුන් ඉදිරිපත් කරන පිළිවෙත අනුගමනය කරන මෙන් දෑ හිතකාමී දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පවසති.