Print this Article


භික්ඛු සංඝස්ස - කොටස 02 සංජීවනී හඬා වැටෙමින් කී කතාව

භික්ඛු සංඝස්ස - කොටස 02

සංජීවනී හඬා වැටෙමින් කී කතාව

“භික්ඛු සංඝස්ස” – භික්ෂු සංඝයා අපේ මහඟු සම්පතක් ! මේ ලෝකයේ කෙසේ වෙතත්, අපේ මේ ලංකාද්වීපයේ, ආත්මය භික්ෂු සංඝයා ! අව්ව, වැස්ස, පින්න, ගින්න, සීතල, විදුලිය කෙටීම පමණක් නොවෙයි, අපේ රටේ ආලය ආදරය, ප්‍රේමය පවා රඳා පවත්නේ භික්ෂු සංඝයා ගේ ආශිර්වාදය පිට ! එහෙව් සංඝ ශාසනයට කෙනෙක් ඇතුළත් කරවාගත යුතු වන්නේ එකී තැනැත්තාගේ ජීවිතය පිළිබඳ පර්යේෂණ රාශියක් පවත්වලා.”

එම ගුවන් විදුලි වැඩසටහන අවසන් වූයේ, එම වැඩසටහන මෙහෙයවූ පූජ්‍ය පල්ලේබැද්දේ සෝම හිමිගේ එකී ප්‍රකාශයෙනි.

“ඈ හාමිනේ ? අපි සුගත් මහණ කරන කොට නම් පර්යේෂණ කළේ නෑ. ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීම පිට පල්ලෙබැද්දෙ සෝම යන නමින් මහණ කෙරෙව්වා මිස ? “

“ඔව් අපි හරිහැටි හඳහනවත් බැලෙව්වායැ ? නැහැ නොවැ ?” “හැබැයි සෝම තෙරුන් මෙතැන ඇවිත් “ සම්මත මහණ වෙමුදැයි “අහන්නේ සම්මත පුතා ගැන පර්යේෂණයක් කරන අදහසින් ද දන්නේ නෑ !”

“අනේ මම දන් නෑ අප්පුහාමි! මට බෑ මොනම දෙයක් වත් හිතා ගන්න”

“හිතා ගන්න බැරි වුනාට හාමිනේ නොවැ දන්න දහිරිය දැම්මේ සුගත් මලයා මහණ කරවන්න කියලා ?”

“ඇයි ඉතින් ලොකු හාමුදුරුවෝ බල කළානේ මලයා මහණ කරවන්න කියලා !”

“අපේ හාමුදුරුවෝ දැන් ලොකු හාමුදුරුවෝ කියන දෙයක් අහන්නෙත් නෑ! අක්කන්ඩි කියන දෙයක් අහන්නෙත් නෑ ! “

“ඒක තමයි අප්පුහාමි මට තියෙන හිතේ අමාරුව.”

දෙමාපියන්ගේ කතාබහට සාවධානව සවන් දී ගෙන සිටි සම්මත, සෝම හාමුදුරුවන් විසින් ලලිතාගේ පවුලේ අය සමඟ කියන ලදැයි සැළවූ කතාව පිළිබඳව මව්පියන් සමඟ කියන්නට ඇත්නම් හොඳ යැයි සිතුවේය. නමුත් එවැන්නක් එක්වරම කීමට තරම් ශක්තියක් ඔහුට නොතිබිණ. සමහරවිට එම කතාව අසන අප්පච්චි, කෝපයට පත්වී සෝම හාමුදුරුවන්ට ගෙදර පැමිණීම තහනම් කරන්නට ද ඉඩ තිබේ !

“ හැබැයි අප්පුහාමි අපේ සෝම හාමුදුරුවන්ට තැනක් තියෙනවා. දැන් සංඝ සමාජයේ ! ඔය වගේ ගුවන් විදුලි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ලොකු ජයග්‍රහණයක් ! අපි ආඩම්බර වෙන්න ඕනෑ ඒ ගැන!”

“ඔහේ ආඩම්බර වුනාට මම ආඩම්බර වෙන්නේ නෑ හාමිනේ !”

“ ඇයි ?”

“සම්මත පුතේ යනවද යන්න මෙතැනින් වැඩිහිටියන් කතා කරන තැන කටවල් දිහා බලාගෙන ඉන්නේ නැතුව ? ”

අප්පච්චිගෙ තරම දන්නා සම්මත, හිටි තැනින් නැගිට සිය කාමරයට ගියේය. ඇඳේ වැතිරී ගත් සම්මත, මාමා හාමුදුරුවන් තමා මහණ කරවන කතාව ගැන සිතන්නට විය. ඒ අතර මාමා හාමුදුරුවන්ගේ භික්ඛු සංඝස්ස වැඩසටහන ගැනද සිහියට නැඟිණ.

“අපේ සෝම හාමුදුරුවන් දැන් හොඳ වුනාට හාමිනේ මම එයාගෙ චරිතය ගැන නොදන්නවයැ ?”

“ඇයි මොකද්ද වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවන්ගෙ චරිතයට ?”

“ඇයි මතක නැද්ද අර සංජීවනී දැරිවි අඬාගෙන ඇවිත් අප සමඟ කී කතාව”

“අප්පුහාමි තරුණයො තරුණියන්ට විවිධ පොරොන්දු දෙනවා! පසුව ඒවා කඩනවා! ඕවා ජීවිතේ සාමාන්‍ය දේවල් ! සිදුහත් කුමාරයා යසෝදරා දේවි දාලා ගියේ දරුවෙකුත් සමඟ!”

“ඒ වුනාට මට නම් තාමත් පව් කියලා හිතෙනවා සංජීවනීට !

කලක් ගිහි ජීවිතේ සුගත් ටියුෂන් පංති ගුරුවරයකු ලෙස පල්ලේබැද්ද සහ අවට ගම් කීපයක සේවය කළේය. ඒ කාලයේ ඔහු සංජීවනී නමැති ටියුෂන් පංති සිසුවියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටි බව ප්‍රකට විය. සුගත් මහණ කරවන පිංකමේ ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පවතිද්දී, සංජීවනී සිය මව්පිය දෙදෙනා සමඟ වහ වහා පැමිණ අප්පුහාමි සහ හාමිනේ හමුවී තම දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළාය.

“අපට සමාවෙන්න අපි ආවෙ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න. මගේ දුක් ගැනවිල්ල ඔය මහණ වෙන්න යන සුගත් පිළිබඳව! “සංජීවනී කඳුළෙන්ම හඬ අවදි කළාය.

“ඔය දුක් ගැනවිල්ල ගැන අප සමඟ කිව්වා පල්ලේ බැද්දේ පන්සලේ ලොකු හාමුදුරුවෝ”

“ඔව් හාමිනේ, අපි පැමිණිලි කළා ලොකු හාමුදුරුවන්ටත්”

“ඔහෙලා අද අපිට පැමිණිලි කළා “

“ඔව් අප්පුහාමි සාධාරණයක් ඉටු කර ගන්න අපට ඕනෑ !”

“මොකද්ද සාධාරණය? ඔහෙලා කියන්නේ සුගත්ට මහණ නොවී මේ දැරිවි විවාහ කර ගන්න කියලද ?”

“අපේ කෙල්ලට සිද්ධ වෙළා තියෙන්නේ මහා ලැජ්ජාවක් නේ.”

“ඔහොම ලැජ්ජා කාටද සිදුවෙලා නැත්තේ ? ආනන්ද හාමුදුරුවන්ටත් අර ප්‍රාකෘති කියලා සැඩොල් තරුණියක් එක්ක ප්‍රශ්ණයක් ඇති වුණේ”

සංජීවනීගෙ ප්‍රශ්නය එතැනින්ම අවසන් විය. භික්ඛු සංඝස්සට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම අපහසු බව එම සිද්ධියෙන් වටහා ගත හැකිය. මඟුලටත් භික්ඛු සංඝස්ස! මරණයට ද භික්ඛු සංඝස්සය! බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන පිහිටුවන ලද මේ තරම් ප්‍රබල සංස්ථාවක් ලොව තවත් ඇද්දැයි අපට නම් සිතා ගැන්මට පවා අපහසුය.

මේ රටේ හොඳම ධර්ම පුස්තක ලියා ඇත්තේ භික්ඛු සංඝස්සය. හොඳම වෙද පොත් ටික ලියා ඇත්තේ භික්ඛු සංඝස්සය. හොඳම සාහිත්‍ය පොත් ටික ලියා ඇත්තේ භික්ඛු සංඝස්සය. හැම වැදගත් කරුණකදීම පෙරමුණ ගෙන ඇත්තේ භික්ඛු සංඝස්සය. මහ රහතුන් ලෙස අහසින් ගමන්ගත් ගිහියන් ගැන කියැවෙන්නේම නැත. නමුත් අහසින් ගමන්ගත් රහතුන් වහන්සේලා එමටය. තිස්සමහාරාමය, සිතුල්පව්ව සහ ඇතුගල්පුර රහතන් වහන්සේලා සිටි බව ග්‍රන්ථාරූඩය. ඒ රහතුන් භික්ඛු සංඝස්සය.

පල්ලේබැද්දේ අප්පුහාමිට සහ හාමිනේට කලට වේලාවට දරු පල නොලැබුණු හේතුවෙන් දරුකමට හදා වඩා ගත්තේ සුගත්ය. ඔහු හාමිනේගේ එක කුස උපන් සහෝදරයෙකි. සහෝදරකමත් දරුකමත් එතැන තිබිණ. නමුත් ඒ ගැන වැඩි තැකීමක් තිබුණ බවක් පෙනෙන්නට නැත. කෙසේ වෙතත් පල්ලේබැද්දේ මායාදුන්නාරාම විහාරාධිපති පල්ලෙබැද්දේ සුමනවංශ ලොකු හාමුදුරුවෝ පන්සලේ දේපොළ රැක ගන්නට කෙනෙක් අවශ්‍ය බව කියා ගෝල තනතුරේ තබා පල්ලේබැද්දේ සෝම හිමි නමින් මහණ කරවා ගත්තේ මේ සුගත්ය. ඒ වනවිට අප්පුහාමි යුවළට තමන්ගේම දරුවෙකු වශයෙන් සම්මත ඉපැදී සිටි නිසා සුගත්ගේ මහණකමට බාධාවක් ඇති නොවිණ.


භික්ඛු සංඝස්ස - කොටස 01 සම්මත පුතාටත් මහණ වීමට යෝජනාවක්?