Print this Article


දහම් කැකුඵ

දහම් කැකුඵ

විසි වසරක් සපිරෙන කපුගම අරියාරාම සිරි අනඳ දහම් පාසල

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දීප්තිමත් ම හා සුවිශේෂි දහම් පාසලක් ලෙස සෑම දෙනාගේ් නොමද ගෞරවයට පාත්‍ර වූවකි. කපුගම අරියාරාම සිරි අනඳ දහම් පාසල කපුගම සුන්දර ගම් පියසෙහි නෙත් සිත් පහදන පින් බිමක පිහිටා ඇත. සිරි අරියාරාම විහාරස්ථානයේ පිහිටි සිරි අනඳ දහම් පාසල සුවහසක් ගම් වැසි බොදු දරුවන්ගේ දහම් තෝතැන්නයි.

ප්‍රධානාචාර්ය
කඹුරුගමුවේ අස්සජි හිමි

සමස්ත ලංකා ගද්‍ය රචනා තරගයෙන් ජය ලැබූ එම්.ජී. සාරා සකුණි සිසුවිය

අග්ගමහා පණ්ඩිත තුඩාවේ සිරි අරියවංස නා හිමිපාණෝ මෙම විහාරස්ථානයේ සහ සිරි අනඳ දහම් පාසලේ නිර්මාතෘවරයාණෝ වෙති. සිරි අනඳ දහම් පාසල උන්වහන්සේගේ උතුම් අදහසක් අනුව 1950 පෙබරවාරි මස 26 දින ආරම්භ කර ඇත. කාලාන්තරයක් තිස්සේ ඉතා මැනවින් පවත්වා ගෙන පැමිණි මෙම දහම පාසල අසූව දශකයේදි අඩාල විය. අඩාල වූ මෙම සිරි අනඳ දහම් පාසල නැවත 1993 පෙබරවාරි 21 දින දැය හිතකාමී සැදැහැවත් බොදු තරුණ පිරිසකගේ පරිශ්‍රමයෙන් ආරම්භ කිරීම මහත් භාග්‍යක් විය. එහිදී කපුගම උතුර ශක්ති යෞවන සමාජය දැක් වූ දායකත්වය ඉතා අමිලය. එදා පටන් අද දක්වා දශක දෙකක කාලයක් (විසි වසරක්) සිරි අනඳය පැමිණ මග ස්ථාවරවත් සුබ මං ලකුණු සටන් කර තිබීම සතුටට හේතුවකි.

“යහපත් දරුවෙක් යුක්තිගරුක රට වැසියෙක් සහජීවන සමාජයක් අපේ පැතුමයි” ඒ සිරි අනඳ දහම් පාසලේ ආදර්ශ පාඨයයි. එදා මෙදාතුර සිරිලක පුරාවට විසිරී පවත්නා සිරි අනඳයෙහි සුජාත දූ පුතුන් දෙස බලන කල ඒ පරම පැතුම ඉටුව ඇති අයුරු පසක් වේ.

වර්තමානයේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව හාරසියක් (400) පමණ වෙති. සිරි අනඳය සැමදා නිසි මඟ නිසිතැන තෝරා ගත් දහම් පාසලක් ලෙස දෙමාපියන්ගේ ගෞරවයට ලක්ව තිබේ. දශකයක පමණ කාලයක් අඛණ්ඩව සිරි අනඳ දහම් පාසල දෙවිනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සිසු නිපුණතා තරඟාවලියේ පළමු, දෙවන,තෙවන ස්ථාන හිමිකර ගනිමින් ජයග්‍රහණය සුරක්ෂිත කරගත් අතර 2012 වර්ෂයේ ශූරතාව හිමිකර ගනිමින් විජයග්‍රහණයේ කිරීටයෙන් සිරි අනඳ මවට උපහාර දක්වන ලදී. එපමණක් නොව සමස්ත ලංකා ගද්‍ය රචනා තරගයෙන් 08 ශ්‍රේණියේ එම්.ජී. සාරා සකුණි හිමසලා දියණිය 06 වන ස්ථානය දිනා ගන්නා ලදී.මේ දක්වා දිස්ත්‍රික් තරගවලදී ශෂිනි උදයංගනී, පියුමි බුද්ධිකා, ඉෂාරා වීරත්න, ඉෂාධි මනෝද්‍යා, ඉෂාරා උමයංගි, සඳුනි තාරකා, මධුෂි අබේසිංහ, අසන්දි නිකේතනා ශිෂ්‍යාවන් සුවිශේෂී ජයග්‍රහණ ලබා ගනිමින් සිරි අනඳ දහම් පාසල් මවගේ කිතුගොස පතුරා තිබේ.

ප්‍රධානාචාර්ය හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

ප්‍රධානාචාර්ය හිමි සමඟ ශිෂ්‍ය නායක නායිකාවෝ

සිරි අනඳය දහම් අධ්‍යාපනය ලබා දීම පමණක් සිය වගකීම ලෙස නොසලකයි. විනය , හැදියාව, අපේකම, සාමුහිකත්වය ගොඩ නැගීමට දරුවන්ට ඇවැසි සදූප දේශකත්වය සැපයීමද ප්‍රායෝගිකව එහි යෙදීමද මෙහි සුවිශේෂිතාවයයි. ප්‍රදේශය පුරා මෙම දහම් පාසල ජනපි‍්‍රයව හා ප්‍රසිද්ධව ඇත්තේ සෞන්දර්යේ සොඳුරු නවාතැන ලෙසයි. එයට හේතුව කලාවත් සමඟ ඇති සබැඳියාවයි.

සෑම වසරකම පවත්වන සිරි අනඳ දම්සර උදාන ත්‍යාග ප්‍රදානෝත්සවයන්ට සහභාගි වූ ආරාධිත කලාකරුවන්ගෙන් ම ඒ බව පැහැදිලි වේ. විශාරද වික්ටර් රත්නායක, විශාරද සුනිල් එදිරිසිංහ, සංගීතවේදී මිත්‍ර කපුගේ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම්, ප්‍රවීණ ගීත රචක අයිරාංගනී මද්දුම බණ්ඩාර යන කලාකරුවෝ මේ පින්බිමට සපැමිණි ආරාධිතයෝ වූහ.මෙම කටයුතු වලදී සංගීත අංශයෙන් සාරංග අභයගුණවර්ධන මහතාත්, නර්තන අංශයෙන් වින්ද්‍යා හර්ෂණී මෙනවියත් ඉටු කරන කාර්යභාරය සහ කැපවීම ඉතා විශිෂ්ටය. අමිලය.

වත්මන් ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කඹුරුගමුවේ අස්සජි හිමි, උප ප්‍රධානාචාර්ය කේ.පී. කීර්ති කුමාර, ටී.පී.ධනංජය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් අත්‍යුදාරවුත් අමිලවූත් සේවයක් ඉටු කරති. එදා මෙදා තුර සිරි අනඳයට සිය දැනුමෙන්, කැපවීමෙන් උදාර සේවාවක් සිදු කළ සියලුම ගුරු භවතුන් ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

සිසුන්ගේ ලේඛන චිත්‍ර කුසලතා ඔප් නංවා නිර්මාණශීලිත්වය ගොඩ නැගීමට කැටපත් පවුර බිත්ති පුවත්පත මෙන්ම වාර්ෂික සිරි අනඳ සඟරාවද මහත් පිටිවහලකි. ජුනි මාසයේ පවත්වන පොසොන් සංස්කෘතික සැදෑව සෞන්දර්යය ගම්මානයට කැඳවන සොඳුරු නිමේෂයකි. දහම් පාසල නැවත ආරම්භ වී එනම් පුනර්ජීවයට විසි වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිරි අනඳ අබිමන් (සිරි අනඳ විසි වසක උදානය) සහ පින්කම් මාලාව උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ.

මේ මස 24 වන ඉරු දින සවස 2.30 ට විශාරද ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහතා ගේ සහ විශාරද ප්‍රවීණ ගායික චරිතා පි‍්‍රයදර්ශනි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය ප්‍රභාස්වර වේ. විහාරාධිපති ගොඩඋඩ අරියධම්ම නා හිමිපාණන් වහන්සේ සහ කපුගම සුධර්මාරාමාධිපති කපුගම සුගතසාර ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගේ මඟ පෙන්වීමත් ගම් වැසි මව්පිය සැමදෙනාගේ නොමද පරිත්‍යාගශීලි උපකාරයත් කෘතවේදීව පින් දීමෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

විසිවසක් සපුරන සිරි අනඳ දහම් පාසල ගම් වැසි බොදු දරුවන්ගේ ගුණ නැණ වඩවමින් චිරාත් කාලයක් යෙහෙන් ජය දද නංජවමින් වැජඹේවා යන්න සැමගේ ඒකායන පැතුමයි.

 

 

 

 


බුලත්කොහුපිටිය සීලානන්ද විදුහලේ දී පැවැති දීප ව්‍යාප්ත දහම් පාසල් ගුරු කුසලතා සංවර්ධන වැඩමුළුව


සභාපති සුරේන් අභයගුණසේකර මහතා පොල්තෙල් පහන දල්වන අයුරු

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් දහම් පාසල් අධ්‍යාපනය නංවාලීම උදෙසා ආරම්භ කළ දීපව්‍යාප්ත දහම් පාසල් ගුරු කුසලතා සංවර්ධන වැඩමුළුවේ තවත් ව්‍යාපෘතියක් බුලත්කොහුපිටියේ සීලානන්ද විදුහලේ දී ජනවාරි මස 27 වන දින බුලත්කොහුපිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මාතලේ රතනසිරි ස්වාමීන් වහන්සේ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් පැවැත්විණ.


සහභාගී වූ ගුරුභවතුන්ගෙන් කොටසක්

එදින ගුරු පුහුණුවක්, දෙමව්පිය දැනුවත් කිරීම, තරුණ නායකත්ව පුහුණු වැඩසටහන් සමගාමීව පැවැත්වුණ අතර, බුලත්කොහුපිටිය තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම ද සිදුවිය.

ඉතාමත් සාර්ථකව පැවැත්වුණු මෙම උත්සවය අමතා මාමනියාවේ සීලරතන ස්වාමීන් වහන්සේ, නීලම්මහර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ, පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උප පීඨාධිපති සමන් පද්මකුමාර, රියෙන්සි ටී. විජේතිලක හිටපු සභාපති හැටන් නැෂනල් බැංකුව, ලසිත් නලන්ත රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පාඨමාලා සම්බන්ධිකාරක, සම්පත් දේශප්‍රිය මහතා භෞතික චිකිත්සක කරවනැල්ල රෝහල ගරුතර ස්වාමීන් වහන්සේලා සහ මහත්වරු විසින් විශේෂ දේශන පවත්වන ලදහ. මීළඟ වැඩසටහන් මේ මස 17 වන දින ඇහැලියගොඩ දී පැවැත්වේ.


 

 

 



බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ ශ්‍රී ධම්මාවාස දහම් පාසලේ පසුගියදා පැවැත් වූ 26 වන සංවත්සර ත්‍යාග ප්‍රදානෝත්සවය හා කලා උළෙලේදී, දහම් පාසලේ විනීතම ශිෂ්‍යයාට හිමි සම්මානය බී.ඒ.ශකුන ජනිත කුමාර ශිෂ්‍යයාට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සංගීත) විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් අදාළ ත්‍යාගය හා සහතික පත්‍රය පිරිනමන ලද අවස්ථාව. විහාරාධිකාරි මධුපොත සරණතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් හා තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමාධිපති රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.