Print this Article


පිලවල ගල්ඒදණ්ඩ පුරාණ විහාරස්ථානය

පිලවල ගල්ඒදණ්ඩ පුරාණ විහාරස්ථානය

කන්ද උඩරට රජ පැමිණි ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ මල් උයනට පිවිසෙන මාවත පිලවල ගම හරහා වැටී තිබූ බවට ජනප්‍රවාද පවතී. ඒ යුගයේ නන් අයුරින් රාජානුග්‍රහය මේ ගම්මානයට ලැබී ඇති බවටද සාධක හමුවේ.

පිලවල ගල්ඒදණ්ඩ පුරාණ විහාරස්ථානය මේ ගම්මානයට ගෙන එන්නේ මහත් අලෝකයකි. ගම්වැසියන්ගේ ජීවිත එදා සිට අද දක්වා දහමෙන් සුපෝෂිත කරන්නට මේ විහාරය මහත් දායකත්වයක් දක්වා ඇත.

විහාරස්ථානය ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මැද පන්සලේ සඟ පරපුරට අයත් වේ. එහි සඟ පරපුරේ ඉතිහාසය බොහෝ ඈත යුගයක් කරා දිව යයි. අපවත්වී වදාළ පාතහේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක ඇතුල්ගම ශ්‍රී ධම්මරතන නාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අතුරෙන් මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙල්තොට ධම්මජෝති හිමියෝ වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරති. උන්වහන්සේ සිදුකරන ජාතික, ආගමික හා සමාජීය මෙහෙවරට අත්වැල සපයමින් වත්මන් විහාරාධිකාරි ලෙස කටයුතු කරන්නේ ශාස්ත්‍රවේදී නැහිනිවෙල නාරද හිමිපාණන්ය.

පෞරාණික ලක්‍ෂණ සුරක්ෂිත වන අයුරින් ඉදිකළ විහාර මන්දිරය කාලයාගේ ඇවෑමෙන් වරින්වර සොර සතුරු ආක්‍රමණයන්ට ගොදුරු වී ඇත. එහි තැන්පත් කර තිබූ කිරිගරුඬ බුද්ධප්‍රතිමා කිහිපයක්ම එම යුගයන්හි අතුරුදන් විය.

වත්මන් විහාර මන්දිරයේ මහනුවර යුගයේ අවසාන භාගයට අයත් බිතු සිතුවම් දැකගත හැකිය. එහි වරින්වර සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී නොයෙක් වෙනස්කම්ද සිදුකර ඇත.


විහාර මන්දිරයේ පැරැණි දොරටුව

විශේෂයෙන් විහාරස්ථානයේ පැරැණි සංඝාරාමය ආධාරක කැටයම් කණු සහිතවත් මැද මිදුලක් ඇතිවත් නිර්මාණය කර තිබුණි. එදා ඒ තිබූ ලක්‍ෂණ අද දක්නට නොලැබේ.

කාලයාගේ ඇවෑමෙන් විවිධ වෙනස්කම්වලට භාජනය වූ පිලවල ගල්ඒදණ්ඩ පුරාණ විහාරස්ථානය පුරාවිද්‍යා නිලධාරින්ගේ අවධානයට යොමුවී තිබීම සතුටට කරුණකි.