Print this Article


අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබා උපහාර ලද පල්ලත්තර සුමනජෝති නා හිමි

අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබා උපහාර ලද පල්ලත්තර සුමනජෝති නා හිමි


මියන්මාර් රජයෙන් පිරිනමන ලද අග්ග මහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නා හිමියන්ට උපහාර පිදීමේ උත්සවයක් ජනවාරි 30 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාහිමියන් වෙත තිළිණ පිළිගැන්වූ අවස්ථාව. එම අවස්ථාවට ශ්‍රී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක, දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි ,මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමි, අලුත්ගම ධම්මානන්ද නාහිමි, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ඇතුළු මහා සඟරුවන සහ අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම, රමේෂ් පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. - ඡායාරූපය: චන්දන පෙරේරා

අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර පිදීමේ හා ආශිර්වාද කිරීමේ පුණ්‍යෝත්සවයක් ජනවාරි 30 වනදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි


මල්වතු මහා විහාරයේ උපසම්පදා විනය කර්මයේදී උපාධ්‍යාය ආසනයේ...

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත ග්‍රන්ථ විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංස, සාහිත්‍ය ශිරෝමණී, සද්ධර්මවාගීශ්වර උපාධ්‍යාය පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මියන්මාර් රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූහ.

බෙලිඅත්තේ පල්ලත්තර විසූ දිසානායක ගුරුගමගේ සාදිරිස්හාමි සහ වන්නිආරච්චි කංකානම්ගේ ගිමාරාහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1924 දී උපන් පින්වත් කුමරුවා ‘සිරිදාස’ නම් විය. කුඩා කළ හැදී වැඩෙත්ම පල්ලත්තර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අහංගම ධර්මාරාම විදුහලෙන්ද අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1937 දී මුල්කිරිගල රජ මහා විහාර පරිවේණාධිපතිව වැඩ විසූ කොටවිල සිරිසුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් විය.

සිය ගුරුදේවයන් වෙතින් මූලික අධ්‍යාපනයත් මුල්කිරිගල පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනයත් ලබා මල්වතු මහා විහාරයේදී අධිසිල් ලැබූහ.

1944 දී පමණ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රාචීණ පණ්ඩිත විභාගයෙන් සමත් වූහ.

අනතුරුව හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවයට එක් වූ උන්වහන්සේ පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූහ.

1963 දී විද්‍යාලංකාර සරසවියට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ උන්වහන්සේ ගාල්ලේ මීපාවල මහා විද්‍යාලයේ සේවයට එක් වූහ. අනතුරුව ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙසද සේවය කළ උන්වහන්සේ 1982 ඉසුඹු ලැබූහ. ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාමාධිපති ධුරයට 1972 දී පත්වූහ.
 


අග්ගමහා පණ්ඩිත උපාධිය මියන්මාර් රජයෙන් ලද අවස්ථාව.

කුඹල්වැල්ලේ රේවත පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙසද වසර කීපයක් සේවය කළ උන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වූහ. පල්ලත්තර සුමනජෝති හාමුදුරුවෝ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්‍ෂිණ ලංකාව් උපප්‍රධාන සංඝනායක ධුරයෙන් 1983 දී සහ 1997 දී උපාධ්‍යාය පදවියෙන් ද 2007 දී දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ.

1950 දශකයේ සිට ගුවන්විදුලි ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ ත්‍රිපිටක පෙළ අටුවා පාඨයන් ඉදිරිපත් කරමින් ගැඹුරු කටහඬින් තැන්පත් වියත් ධර්මදේශනා විලාශයෙන් දහම් දෙසුමෙහි සමත් වූහ.


පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් ලියූ ග්‍රන්ථවලින්

භාෂා සාහිත්‍යයේ මෙන්ම ධර්ම සාහිත්‍යයේත් වර්ධනය සඳහා සිංහල හා පාලිභාෂා දෙකෙන් පොත්පත් රැසක් ලියා ඇති උන්වහන්සේ ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක්ද වේ.

ඉන්දියාව, රුසියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව, බෙල්ජියම, ජර්මනිය, ජපානය, කොරියාව, තායිවානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ආදී බොහෝ රටවලට වැඩම කර ඇති පල්ලත්තර සුමනජෝති නායක හාමුදුරුවෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.


දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු මහා විහාරයේ දී 2007 මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වෙතින් ලද අවස්ථාව.

රාජකීය පණ්ඩිත උපාධිය මෙන්ම ග්‍රන්ථ විශාරද උපාධියද ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලබමින් ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයෙහි යෙදෙමින් ඉමහත් ධර්ම ශාස්ත්‍රීය මෙහෙයක් සිදු කරමින් පිරිවෙන් මෙන්ම පාසල් අධ්‍යාපනයෙහිද ආචාර්යවරයෙකු ලෙස කරන ලද සුවිශාල මෙහෙයත්, සම්බුදු සසුන වෙනුවෙන් කරන ලද උදාර මෙහෙයත් අගය කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කරලීමත්, බුරුම රජයෙන් ප්‍රදානය කරන ලද අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලැබූ පල්ලත්තර සුමනජෝති නායක හාමුදුරුවෝ මහා සඟරුවනේත් මහ ජනතාවගේත් මහත් ගෞරවයට පාත්‍රව වැඩ වෙසෙති.

 

 

 


රුහුණ සරසවියේ දී කුලපතීන් වහන්සේ ලෙස උප කුලපතිතුමා විසින් පිළිගත් අවස්ථාව