Print this Article


එදිනෙදා කටයුතු කරමින් දහම් මඟට පිවිසෙමු

එදිනෙදා කටයුතු කරමින් දහම් මඟට පිවිසෙමු

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සසර දුකෙන් නිදහස්වීම පිණිස, මහා කරුණාවෙන් අප උදෙසා දේශනා කොට වදාළ ධර්මය ඒ වදාළ ආකාරයටම අප අපේ ජීවිතවලට එකතු කර ගැනීමට දක්ෂ වුවොත් ඔබ සැබෑම වාසනාවන්තයි.

ස්වාමින්වහන්ස, ගිහි ජීවිතය ගත කරන අපට එදිනෙදා කටයුතු බහුලයි. ගෙදර දොර කටයුතු කරමින් අප ධර්මය පුරුදු කරන්නේ කොහොමද?

බොහෝ දෙනාට ගෙදර දොර කටයුතු කරමින් මේ ධර්මය පුරුදු කරගන්න තේරෙන්නේ නැහැ. ‘අපට ධර්මය පුරුදු කරන්න බැරිවෙයි ද?’ කියන බය සමහර අයට තිබෙනවා. ඒ වගේම ‘අපට කාලයක් නැහැනේ. අප ප්‍රමාදයි’ ද කියාත් හිතනවා. එහෙත් අපට ධර්මය මුණ ගැසුන වෙලාවේ දී අප කල්පනා කළ යුත්තේ මේ ධර්මයේ තිබෙන ආකාරයට පුරුදු කරන්ටයි. ඒ විදිහට ධර්මය පුරුදු කළොත් ඒකාන්තයෙන්ම ධර්ම මාර්ගයට එන්න පුළුවන්.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී වුවත් ශ්‍රාවක පිරිසෙන් පිරිසක් විදිහට උපාසක උපාසිකා පිරිස තමයි විශාල වුණේ. කෝටි ගණන් පිරිසක් උපාසක උපාසිකාවන් විදිහට ධර්මය අවබෝධ කළා. ඒ අයට පරිපූර්ණ වශයෙන් අවබෝධය ඇති කරගන්නට ගතවන කාලය වැඩි වෙන්න පුළුවන්. අප කාමභෝගි ජීවිතයක් කර කරමින් සිටියත් ඒ ජීවිතය අතහැරල භික්ෂු භික්ෂුණී විදිහට පත් වූ පසු වේගයෙන් නිවන අවබෝධ කිරීමට පහසුයි තමයි. නමුත් කාමභෝගි ජීවිතය ගත කරමින් දරුමල්ලන්ගේ් සම්බාධක මැද වාසය කළ උපාසක උපාසිකාවන් මේ ධර්මය අවබෝධ කළා.

ඒ නිසා අපට කටයුතු බහුලයි, වගකීම් බහුලයි, කාලවේලාව නැහැ කියලා කල්පනා කළොත් නිවන් මඟට පැමිණෙන්ට තිබෙන ඉඩකඩ හිතාමතා ම අහුර ගන්නවා. ඒනිසා අප තුළ වීර්යය ඇතිකර ගෙන එදිනෙදා ජීවිතය ගත කරද්දීම ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕන.

අප ධර්මය ඉගෙන ගැනීම වේවා, ධර්මය පුරුදුකිරීම වේවා මූලික අරමුණ විය යුත්තේ නිවන් මඟ සාක්ෂාත් කිරීම නේද?

අප මේ ධර්මය පුරුදු කිරීමේ දී කුමක් පිණිස ද ඒ ධර්මය පුරුදු කරන්නේ් කියන කාරණය දැනගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ කියාදෙන ආකාරයට නිවන සාක්ෂාත් කිරීමටයි අප මේ ධර්මය ඉගෙන ගන්නේ. ඒ වගේම මේ ධර්මය පුරුදු පුහුණු කරන්නටත් ඕන. එහෙම නැතිවුණොත් අපට මේ දුර්ලභ අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා නිවන සාක්ෂාත් කිරීමේ අදහසින්ම ධර්මයේ හැසිරෙන්න.

නිවන කියා අදහස් කරන්නේ කුමක්ද?

දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නට එක්තරා පුද්ගලයෙක් ඇවිත් අසා සිටියා ‘සාරිපුත්තයන් වහන්ස, මේ නිවන නිවන කියලා කියනවා. මොකක්ද මේ නිවන කියන්නේ’. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ‘රාගය ක්ෂයවීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂයවීමක් ඇද්ද ඒකට නිවන කියන්නේ’ කියලා. එහෙනම් යම් තැනක රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් ක්ෂය වෙලා යනවා නම් නැවත හට ගැනීමක් නැත්නම් එතැන නිවන යි.

එතකොට නිවන අවබෝධ කරන්න අප මොනවද කළයුත්තේ?

ඒ සඳහා අප රාග, ද්වේෂ, මෝහ ක්ෂය වෙන වැඩපිළිවෙල අනුගමනය කරන්නට ඕනෑ. රාග, ද්වේෂ, මෝහ ක්ෂය වෙන වැඩපිළිවෙලක් අනුගමනය කළොත් යම් කලක දී රාග, ද්වේෂ, මෝහ ක්ෂයවෙලා ඒ උතුම් නිවන අවබෝධ කරන්නට අපට පුළුවන්. නමුත් අප රාග, ද්වේෂ, මෝහ වැඩෙන හටගන්න වැඩපිළිවෙලක් අනුගමනය කළොත් නිවන් මඟ පෑදෙන්නේ නැහැ. නිවනට පැමිණෙන්නටත් බැහැ.

ඒ වගේම ඒ වැඩපිළිවෙල අනුගමනය කළ යුත්තේ එදිනෙදා කටයුතු කරමින් ම යි. එහෙම කළ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලේ කෝටි ගණන් උපාසක උපාසිකාවන්, මේ ධර්මය අවබෝධ කළේ. නිවන් මඟට පැමිනුණේ. ඒ අයත් දරුමල්ලන්ගේ සම්බාධක මැදයි හිටියේ. ඒ අයත් රැකී රක්ෂා ආදී දේවල් කළා. නමුත් ඒ අය ඒ කටයුතු කරමින්ම ධර්ම මාර්ගයට පැමිනුණා. අද කාලයේ වාසය කරන ඔබ වැනි අයටත් එහෙම පුළුවන්. එනිසා අප ධර්මය පුරුදුකරන විදිහ තේරුම් අරගෙන ඒ විදිහට පුදුරු කරන්න පටන් ගත්විට අපට ධර්ම මාර්ගයට එන්න පුළුවන්. නිවන අබබෝධ කර ගන්නට පුළුවන්.

ස්වාමින් වහන්ස, නිවන් මඟ ප්‍රමාද වීමට හේතු මොනවාද?

සංයුක්ත නිකාය හතර කියන පොත් වහන්සේගේ තිබෙනවා ‘පමාද විහාරි සූත්‍රය’ කියා දේශනාවක්. ඒ දේශනාවේ දී භාග්‍යවතුන්වහන්සේ අපට කියා දෙනවා ‘පින්වන් මහණෙනි, යම් කෙනෙක් ඉන්නවා ඇස කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන. එතකොට එයාගේ ඇහැට පේන පි‍්‍රය මනාප රූපවලින් සිත කෙලෙසෙනවා. හිත කෙලෙස් වලින් තෙත්වුණාම ඔහුට ප්‍රමුදිත බව ඇතිවන්නේ නැහැ. ප්‍රමුදිත බව නැත්තම් එයාට පී‍්‍රතිය උපදින්නේ නැහැ. ඔහුට පී‍්‍රතිය නැත්නම් කය සැහැල්ලු වන්නේ නැහැ. ඒ වගේම පස්සද්ධිය ඇතිවන්නේ නැහැ. ඔහුට සැහැල්ලු කයකින් වාසය කරන්නට බැරිනම් සිතට සැපය ඇතිවන්නේ නැහැ. ඒ විදිහට සැප සේ වාසය කරන්නට බැරි නිසා ඔහුට වාසය කරන්නට වෙන්නේ දුක සේ. ඒ විදිහට දුක සේ වාසය කරනවිට සමාධිමත් සිතක් ඇතිවන්නේ නැහැ. සමාධිය උපදින්නේ නැත්නම් සමථ විදර්ශනා ධර්මයන්ගේ පහළවීමක් වන්නේ නැහැ. ඒ ආකාරයට වාසය කිරීමට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා ප්‍රමාදීව වාසය කිරීම කියලා. එහෙම වෙන්නේ ඇස අසංවර ව වාසය කිරීමන්. ඒ වගේම කණ, නාසය, දිව, ශරීරය හා සිත කියන ඉන්ද්‍රියන් අසංවර ව වාසය කිරීම තුළිනුත් සිදුවෙනවා.

එසේ අසංවරය සිටිද්දී සිත කෙලෙස් වලින් තෙත්වෙනවා. පි‍්‍රය මනාපව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ දේවල් බලා ඒවාගේ නිමිති හිතේ තිබා ගන්නවා. පි‍්‍රය මනාප රූප නැත්තම් අපි‍්‍රය අමනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මුණ ගැහෙද්දී අමනාපය අකැමැත්ත උපදවා ගන්නව. එක පැත්තකින් කැමැත්ත ඇතිකරගෙන ඉන්කොට රාගය ආසාව කැමැත්ත උපදිනවා. අනෙක් පැත්තෙන් අකැමැති රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු මුණ ගැහෙනකොට අකැමැත්ත අමනාපය ඇතිවෙනවා.

නමුත් යම් කෙනෙක් මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කළොත් ඔහුගේ හිත කෙලෙස් වලින් තෙත්වන්නේ නැහැ. එනිසාම ඔහු අප්‍රමාදි කෙනෙක් නිසා ධර්මය අවබෝධ කිරීමේ භාග්‍ය උදාවෙනවා.

සටහන: නයනා නිල්මිණි