Print this Article


අවබෝධයෙන් ජීවිතය ගත කරමු

අවබෝධයෙන් ජීවිතය ගත කරමු

තමන් තෝරා ගනු ලබන්නා වූ යම් දෙයක් දැනුවත්ව තෝරා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව, තමාට අවබෝධයක් තිබිය යුතුය. අපේ ජීවිතවලට තෝරාගෙන තිබෙන සමහර දේවල් නිසා ලොකු ලොකු පව් කරන්න සිදුවෙලා තියෙනවා. සමහර තෝරා ගැනීම් නිසා කරපු පව්වලින් අපට ඉවත් වෙන්න නොහැකි වෙලා තියෙනවා. තෝරා ගැනීමකට පසුව නොකරපු අකුසල් කරන්න වීමත්, කරපු අකුසල් දිගටම කරගෙන යායුතු වීමත්, යන කරුණු දෙකම තෝරා ගැනීමට පසුව අත්වන තත්වයන් දෙකකි. තෝරාගත්ත දේවල් සමග ජීවත්වෙන්න නම් හා එය තමා ළඟ තබා ගැනීමට එසේ කිරීමට සිදුවෙයි. නූපන් අකුසල් ඉපදවීමත්, උපන් අකුසල් බලවත් කරමින් දිගින් දිගටම වර්ධනය කිරීමත් තෝරා ගැනීම් නිසා අත්විඳීය යුතු වෙයි.

සමහර තෝරා ගැනීම් නිසා නොකරපු කුසල් කරගැනීමට අවස්ථාවන් ලැබිලත් ඇති. ඔබගේ ජීවිතයේ කිසිම දිනක නොකරපු කුසල් සමහර අය ළං කර ගැනීම නිසා දැන් කරනවා වෙන්නත් පුළුවන්. සිදු කරගෙන ආපු කුසල් සිදු කරගෙන ආපු පින්කම් දිගටම කරගෙන යාමටත්, තෝර ගැනීම් හේතු සාධකයක් වෙනවා.ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් කරපු සම්මා වායාමයට හෙවත් නිවැරැදි වෑයමට නියැලෙන්නට යද්දි නිවන් අවබෝධ කර ගැනීම සඳහා,අප විසින් අපේ ජීවිතවලට තෝරා ගනු ලබන දේවල් ප්‍රධාන සාධකයක් ලෙස බලපානු ලැබේ.අපට සතර සම්‍යයක් ප්‍රධන් වඩන්න පුළුවන්ද? බැරිද? යන්න එවිට තීරණය කරගත හැකිය. සතර සම්ම්‍යක් ප්‍රධන් තුළ අප වීර්ය කරන්නේ නූපන් අකුසල් උපදින එක වැළැක්වීමත්, උපන් අකුසල් කෙසේ හෝ බැහැර කිරීමත් නූපන් කුසල් උපදවාගන්නත්, උපන් කුසල් බලවත් කරන්නත් මෙම සම්මා වායාම වඩන්න අප තෝරාගත්ත දේ උපකාරයක් වෙන්නත්, විශාල බාධකයක් වෙන්නත් හැකියාව තිබේ. එනිසා තෝරා ගැනීම් පිළිබඳව තේරුම් ගැනීම ඉතාම වැදගත්. තෝරා ගැනීමකට පෙර අප ඉතාම ගැඹුරින් තේරුම් ගත යුතුයි. අප තෝරා ගනු ලබන දෙය සමග අපට තිබෙන කාර්යය භාරය කුමක්ද? යන්න තෝරා ගනු ලබන දෙයින් කෙරෙන්නේ මොකක්ද? එහි ගුණාර්ථය මොකක්ද යන්න තේරුම් ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ අපේ සංසාරික ගමන කෙටිකරගන්න අප වෙත යෝජනා කළේම තමන් තෝරාගනු ලබන දෙය තුළ තිබෙන කාර්ය භාරය කුමක්ද? යන්න නුවණින් මෙනෙහි කළ යුතු බවයි. ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් තෝරා ගැනීමේදි සිවුරෙන් කෙරෙන කාර්යය භාරය හා ගුණාර්ථය කුමක්ද? යන්න තේරුම් ගත යුතුයි. සිවුරු පොරවන වාරයක් පාසා අඩුම වශයෙන් දවසකට එක වතාවක් වත් සිවුර පොරවන්නේ ඇයිද? යන්න ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. සීතලෙන්, උණුසුමෙන්, මැසි මදුරුවන්ගෙන්, උණුසුම් සුළගෙන් තාපයෙන්, විෂකුරු සර්පයන්ගෙන්, ශරීරය ආරක්‍ෂා කර ගැනීම හා විළි වසා ගැනීම සඳහායි. මෙම අරමුණු සපුරා ගැනීම සඳහා සිවුරු කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? යන්න තීරණය කර ගැනීමට එහි කාර්ය භාරය දැනගැනීම වැදගත්. ගිහියන් ඇඳුම් තොරා ගත යුත්තේ යථෝක්ත කාරණා ඉටුකර ගැනීම සඳහායි. නමුත් අප ඇඳුම් තෝරා ගැනීමේදී අවශ්‍ය ප්‍රමාණය දන්නෙත් නැහැ. ඒ සඳහා වැය වන මුදල දන්නේත් නැහැ.ඇඳුම් ප්‍රමාණයේ ඇතිවීමක් දකින්නේත් නැහැ. තමන් තොරාගන්න දේ තේරුම දන්නෙත් නැහැ. ජීවත්වීම අපහසු නැහැ. නමුත් අප තේරාගනු ලබන භාණ්ඩවල ඇති අභ්‍යන්තර තේරුම අප දන්නේ නැති කමයි ගැටලුව . ආශාවන් වලට මුසපත් වෙලා පෙනෙන්න තිබෙන සියලුම දේවල් ලබාගැනීමට උත්සාහ කරනවා මිසක්, එහි ගුණාර්ථය හා කාර්යභාරය පිළිබඳ ද නිවැරැදි වැටහීමක් නැහැ. ගොඩක් ගෙවල් ඇහිරිලා තිබෙන්නේ වැඩක් කරන්න නැති භාණ්ඩ වලින් බව අමතක කරන්න එපා. බොහෝ නිවෙස්වල යථාර්ථය එයයි. අපේ වත් පොහොසත්කම් ලොකුකම් බඩුමුට්ටිවලින් පෙන්වන්න උත්සාහ කරනවා නම්,

එහි සැබෑ යථාර්ථය නිවැරදිව ග්‍රහණය කර නොගන්නේ නම්, අපේ ගම්වැසියන් තව තවත් දිළිදුකමේ පතුළටම යන එක වළක්වන්න බැහැ. තමන්ගේ ආසාවන් හා අවශ්‍යතාවයන් හඳුනා නොගැනීම ඊට හේතුවයි.අවශ්‍යතාවයට මුල් තැන දීමෙන් ණය නොවී ජීවත් විය හැකියි.ආශාවන්ගෙන් මුසපත් වුවහොත් සදාකල් අසහනයෙන් පීඩනයෙන් ජීවත් විය හැකියි.

මේ ගසේ බොහෝ – පැණි දොඩම් තිබේ.
පැහිල ඉදිල බිමට නැවිල බරවෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි එහෙම නොවෙයි අපි

පුංචිම අවධියේ ඉගෙන ගන්නා මෙම කවියේ ගැඹුරු අර්ථයක් ගැබ්වෙලා තියෙනවා. පැණි දොඩම් කොතරම් පෙනෙන්න තිබුණත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කඩා ගත යුතුයි. තෝරා ගැනීමකදී මූලිකවම අපි අවධානය යොමු කළ යුත්තේ තෝරාගන්නා දේ තෝරාගන්නෙ කුමන තේරුමක් ඇතිවද? දිගටම දකින වෙළෙඳ දැන්වීම් නිසා අවශ්‍යතාවය යටපත් වෙලා ආසාවන් ඉස්මතු වෙනවා.තෝරා ගැනීමේදී මිනිසුන් අන්ත අසරණ වෙලා තියෙන්නේ අවබෝධයක් නැතිකමින්.

සිංහල ගැමියාට අමතක වෙලා තියෙනවා. තමන් මේ යන්නේ කොයිබටද? කියන කාරණය තමන්ගේ නිවෙස් අනවශ්‍ය දේවලින් පුරවා නොගත යුතුයි. දීර්ඝ කාලීනව ණය වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගැනීම පවා අසීරු වෙනවා. එතැන් පටන් තමන්ට අයිති නැති අනුන්ගේ දේවල් සොර සිතින් ගැනීමට (අදින්නාදානා) සිදුවෙනවා. ණය ගෙවා ගැනීමට බැරි වෙන කොට බොරු කීමට පටන් ගන්නවා. (මුසාවාදා) සමහරු තමන් තෝරාගත්ත ජීවිත නඩත්තු කරගත නොහැකිව විවිධ පහත් වෘත්තීන්වල පවා යෙදෙනවා. ඒ අය ගොඩ නඟාගත්ත ජීවිත ධර්මානුකූ®ලව නඩත්තු කළ නොහැකියි. සමහරු ණය බරින් මිැරිකිලා. මානසික අසහනය පීඩනය වැඩිවන විට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. තමන්ගෙ ප්‍රශ්න අමතක කර මානසික සහනය ලබාගන්න. මෙය විශාල ඛේදවාචකයක්. තමන් තේරාගනු ලබන දේ කුමක් වුවත් තමන්ට නඩත්තු කළ හැකි දේ පමණක් තෝරාගන්න. බොරුකියන්නේ නැතිව, කාම මිථ්‍යාචාරයට නොගොස්, තව කෙනෙක් මරන්නේ නැතිව, සොරකම් නොකර, මත්පැන් පානයෙන් තොරව තමන්ට නඩත්තු කළ හැකි දේ පමණක් තෝරාගන්න. මත්පැන් පානයෙන් තොරව සිහියෙන් යුතුව අලාභයක් වුවත් දරාගත හැකි දේ පමණක් තෝරා ගන්න. එසේ තෝරාගත හොත් සිල්වත්බවත් රැකගෙනම ණය බරින් නිදහස්ව ජීවත් විය හැකිය. තෝරගැනීම් වලදී ආසාවට මුසපත් වුවහොත් තොරාගන්න දේ තුළ තිබෙන භයානකකම වැටහෙන එකක් නැහැ.තෝරගන්න දේට පසුව ගතකරන්න වෙන දුක්ඛිත ජීවිතය පිළිබඳව වැටහෙන එකක් නැහැ. ආසාවට මුසපත් වුවහොත්, පණ නැති දේවල් ආසාවට තෝරාගත්තත්, ආසාව ඉවත් වූ විට එය විකුණා දැමිය හැකියි. නැතහොත් ඉවතට දැමිය හැකිය. අප අසාව මුල්කරගෙනම තෝරා ගනු ලබනවා. මැරෙන තුරා එකට ජීවත්වීමට තෝරාගැනීමේදී බිරිඳක් හෝ සැමියෙක් ආසාවට මුසපත්වෙලා තෝරා ගන්න එපා. මෙයා මට ඉතාම ගැලපෙන බවට තීරණය ගැනීමට සාධකය වන්නේ ඇතැම්විට ආසාව පමණයි. හඬට මුසපත් වුනොත් පෙනුමට මුසපත් වුනොත් සල්ලිවලට මුසපත් වුනොත් පාවිච්චි කරන වාහනයට මුසපත් වුනොත් එය වටේ කැරකෙන ප්‍රසිද්ධියට මුසපත් වුනොත් එම පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන් දිව යන අනෙක් දේ පෙනෙන්නේ නැතිව යනවා. ඕනෑම කෙනෙක් තෝරාගැනීමේදී මනුෂ්‍යයෝ නම්, හොඳ සහ නරක දෙකේ මිශ්‍රනයක් මිසක හොඳම මනුෂ්‍යයෝද නැත. නරකම මනුෂ්‍යයෝද නැත යන්න සිහියට ගත යුතුය. ආසාවට පමණක් මුසපත් වෙලා අනෙක් පැත්ත පිළිබඳව බලන්නේ නැතිව තෝරාගත්තොත් ආසාව ඉවර වෙන කොටම අභ්‍යන්තරය තිබෙන දුර්වලතා ඉතාම හොඳට දකින්න පටන් ගන්නවා.ආසාවට තේරුවට ආසාව ඉවර වෙනකොට බොහෝ දෙනාගේ තත්වය ඒකයි.අවසානයේ කිසිම සතුටක් නැතිව ජීවත් වෙනවා. දෙමාපියන් දරුවන්ට, සහකාරියක් සහකරුවෙක් තෝරාදීමේදී විශාල වගකීමෙන් සිහිබුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. වාහන කෑලිවලට යකඩ ගොඩවල්වල ට දරුවන්ගේ ජීවිතය ගැටගහන්න එපා. ඒවාට තිබෙන බැඳීම ආසාව ඉවර වුනාට පසුව ජීවත්වන්න වෙන්නෙ කිසිම බැඳීමක් නැති මනුෂ්‍යයෙක් එක්ක. ඒ නිසයි මේ පවුල් සංස්ථාව කඩාගෙන වැටෙන්නෙ ආසාවට තෝරා ගත්ත යමක් අවසානයේ ඉතිරි වන්නේ ප්‍රශ්න හා ගැටලු පමණයි.අපේ දරුවන්ගේ මුළු අනාගතයටම තෝරාගන්න දෙයක් හෝ කෙනෙක් ඉන්නවා නම් අඩුම වශයෙන් අවුරුදු 25 ක්, 26ක් වත් විවෘත මනසකින් සිටිය යුතුයි. අධ්‍යාපනය ලබන කාලය තුළ අනවශ්‍ය දේ ඔලුවලට දාගන්න එපා. කාම ආශාව, ඔලුවට ආවොත් අධ්‍යාපනය අවුල් සහගත වෙනවා. ළමයාට කළ යුතු දේ නොකළ යුතු දේ කියාදෙමින් ආදර්ශ දෙන්න.

දරුවන්ගේ පෞරුෂත්වය විනාශ කරන්න එපා. ගැහැනු දරුවා ගැහැනු දරුවෙක් හැටියටත් පිරිමි දරුවා පිරිමි දරුවෙක් හැටියටත් පෞරුෂත්ව දෙකකින් ගොඩනගන්න. නැත්නම් ඒ දරුවන්ට අනාගතයෙ ගැටලුවලට මුහුණ දිය නොහැකියි. පිරිමි ළමයි ගැහැනු ළමයින් වගේ ගොඩනගන්න එපා.

ආත්තම්මල, සීයලා දරුවන්ගේ දරුවො බලා දෙන්නෙත් රජකාරියක් හැටියටයි. එහෙම කරන්න එපා. එහෙම කරල මෛත්‍රීභාවනාව කළාට වැඩක් නැහැ. තමන්ගේ මුණුපුරාගේ මිණිපිරියගේ සුවය වෙනුවෙන් වැඩ කරන්නේ නැති ආත්තම්මා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියලා වැඩක් නැහැ. කරුණාව දැක්විය යුතතේ වචන වලින් නොව ක්‍රියාකාරකම් තුළින් බව තේරුම් ගන්න. කරුණාව සිතිවිල්ලක් පමණක් නොවෙයි. එය ක්‍රියාකාරකමක්. ආත්තම්මල සීයලා උදව් නොකරන්නේ නම් දරුවන්ගේ ජීවිත ඉතාම දුෂ්කර වෙනවා. පන්සල් ගිහින් වඳීන වෙලාවට වඳීන්න. පින් දහම් කරගන්න තමන්ගේ දරුමුණුපුරන්ගේ සුවය වෙනුවෙන් උපකාර කරන්න. පැය 24 පුරාම බණ ඇහුවත් ඇතැම් අයකුගේ කුහකකම , කයිරාටිකම බිඳක් අඩුවෙලා නැහැ. එනිසා තමන් කරන වැඩ නිවැරැදිව තේරුම් අරගෙන කරන්න.