Print this Article


මිසදිටු අඳුර

මිසදිටු අඳුර

තුම්හෙහි කිච්චං ආතප්පං
අක්‍ඛාතාරො තථාගතා’

තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් වන අතර, උන්වහන්සේ පෙන්වන මඟ ගොස් තම තමන් විසින්ම තම විමුක්තිය සලසාගත යුතු වේ. ඒ හෙයින් බුදුදහම ස්වයං ක්‍රියාකාරීත්වය හෙවත් ස්වඡන්දතාව හෙවත් පුද්ගල හැකියාව දියුණු කර ගැනීම තුළින් උතුම් නිවන දක්වා තමාව පෝෂණය කරගැනීමට උගන්වන, ධර්මයකි

න නග්ගචරියා න ජටා න පඞ්කා
නානාසකා ථණඩිලසායිකා වා
රාජො ච ජලලං උක්කුටිකණප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං”

ධර්ම ශ්‍රවණය බොහෝ වැදගත් කාරණාවක් බැව් අපි නිතර කතා කරමු. එහි උසස් බව මෙසේ රසවාහිනී දහම් සොඬ කතාවෙහි දැක්වෙයි. ධර්මයම ඇසිය යුතුය. ධර්මයට සිත ඇලෙයි. සසරින් එතෙරවීම පිණිස ධර්මය හැර වෙනත් පිහිටක් නොමැත.

ධම්මමූලං තිසමපදං”

සියලු සැපතට මූලික වන්නේ ධර්මයයි. දහම්සොඬ රජු සිය රාජ්‍යය අතහැර ධර්මය සොයා ගිය අයුරු ඔබට මතක ඇත.

මාතෘකා කළ ගාථාව ධම්මපදයේ ඇතුළත් ගාථාවක් වන අතර එදා භාරතීය සමාජයේ පැවැති සහ එම නාමයන්ගෙන් නොවුණත් අදත් පවතින විවිධ මිථ්‍යාදෘෂ්ටීන් පිළිබඳව කතාකෙරෙන ගාථාවකි.

ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි”

බුදුදහම ආගමක් නොව දර්ශනයකැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. බුදුදහමට ආගම යන වදන පාවිච්චි කළ නොහැකි බව අප නිතර නිතර අවධාරණය කර ඇත. ආගම යන වදන තුළ අන්තර්ගත ලක්‍ෂණ දෙස බලන කල්හි බුදුදහම තුළ ආගමකට වඩා ඇත්තේ දර්ශනයක ලක්‍ෂණයක් බව පැහැදිලිව දැකිය හැකි ය. මේ කාරණය පිළිබඳව අතිපූජ්‍ය වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. සුවඳ දෙන රෝසමලට කඩදාසි මල කීව ද එහි සුවඳ රෝසමල් සුවඳමය. එමෙන් බුදුදහමට බුද්ධාගම යනුවෙන් භාවිත කළ ද, එයින් ලැබෙනුයේ දර්ශනය තුළ ඇතුළත් හරයම බැව් පැහැදිලි කාරණාවකි. දර්ශනයක් ලෙස හැඳින්විය හැකි බුදුදහම ‘එහිපස්සිකො’ හෙවත් ඇවිත් බැලිය යුතු දේශනාවක් වන අතර, නුවණැත්තන් විසින් සිය පෞද්ගලික අවබෝධය මත ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති’ යනුවෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් තේරුම් ගත යුත්තකි.

තුමෙහහි කිච්චං ආතප්පං අක්‍ඛාතාරො තථාගතා’

තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් වන අතර, උන්වහන්සේ පෙන්වන මඟ ගොස් තම තමන් විසින්ම තම විමුක්තිය සලසාගත යුතු වේ. ඒ හෙයින් බුදුදහම ස්වයං ක්‍රියාකාරීත්වය හෙවත් ස්වඡන්දතාව හෙවත් පුද්ගල හැකියාව දියුණු කර ගැනීම තුළින් උතුම් නිවන දක්වා තමාව පෝෂණය කරගැනීමට උගන්වන, ධර්මයකි.

‘න නග්ගචරියා’ ආදී වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ ඇඳුම් රහිතව ජීවත්වීම මිථ්‍යා දෘෂ්ටිය ලෙසිනි. අචේලක යන්නෙහි සිංහල තේරුම සේල නොමැති යන්නයි. සේල - සෙල්ලු - හෙලු යන්නෙන් ද අර්ථ ගන්වන්නේ ඇඳුම් රහිත බවය. සේලයන් අත්හැරිය හෙයින් අචේලක වේ. ඒ අනුව නග්ගචරියා යනු නග්න චරියාවයි. නග්න චරියාවෙන් යුතුවන්නේ නිගණඨයන්ය. නොහොත් මිථ්‍යාදෘෂ්ටික වෘතදාරීහු ය.

කල විසූ බොහෝ දෙනා ජටා පැළඳූහ. ‘ජටා අස්ස අත්ථිති හි ජටිලො’ ජටා පැළඳි හෙයින් ජටිල නම් වූහ. ජටාධර තවුසො ජටිල නමින් හැඳින්වූහ. මොවුහු මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. ‘පඞ්කා’ නම් මඩයි. ඇඟේ මඩ තවරාගෙන සිටියවුන් ද මිත්‍යාදෘෂ්ටිකයෝ වූහ.

‘නානාසකා ථණ්ඩිලසායිකා වා’

අසූචි භක්‍ඛකා යනු අශූචි වැනි දෑ අනුභව කරන පුද්ගලයෝය. ‘ථණ්ඩිල සායිකාවා’ යනු දඬු මෙන් කෙලින් නිදන්නෝද වූහ. ‘රාජො ච’ දූවිලි ශරීරයේ තවරාගත්තවුන් ද ‘උක්කුටික’ ඇණ තියා ඉඳගත්තවුන් ද විය.

ඉහත කී සෑම පුද්ගලයෙක්ම විවිධ වෘත හරහා ශාරීරික පීඩා විඳිමින් වැරැදි ලෙස කෙලෙස් නැතිකිරීමට උත්සාහ කරන හෙයින් ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වමු. අද සමාජයේ ද මේ තත්ත්වය දිස්වෙන අවස්ථා වේ. සමහරු ආධ්‍යාත්මික දියුණුව ශාරීරික ක්‍රියාකාරකම් තුළින් ලබා ගැනීමට හැකිවේයැයි කල්පනා කරමින් විවිධ වෘතයන්හි යෙදෙති. සිල්රැකීම, භාවනා කිරීම ආදිය වෘත ලෙස ගන්නාමුත්, එම වෘත ශරීරයට වදදීමක් ලෙස නොව, ආධ්‍යාත්මය පෝෂණය කිරීමේ උපකාරක අවස්ථා ලෙස සලකා ක්‍රියාකළ යුතු වේ.

න සීලබ්බතමත්තේ
බහුසච්චේන වා පුන
අථ වා සමාධිලාභෙන
විවිච්ච සයනෙන වා”
භික්‍ඛු විස්සාස මාපාදි
අප්පන්තොවා ආසවක්‍ඛයං”

මෙම කාරණාව අප බොහෝ තන්හි සාකච්ඡා කර ඇත. තමන් ළඟ සීලයක් ඇතැයි ද තමන් බඹසරව හැසිරෙන්නේ යයි ද තමන් ළඟ සමාධියක් ඇතැයි ද, තමන් වෙන් වූ සයනයක නිදන්නේ යයි ද කෙලෙස් නැතිකරන තෙක් තමන් පිළිබඳව විශ්වාසයක් ගොඩනඟා නොගන්න යයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. පෘතග්ජනයන් ඇසුරු නොකරන නෛෂ්ක්‍රම්‍යය සුවය මම විඳින්නේ යයි කී පමණින් කෙලෙස් නැතිකරන තෙක් කිසිවෙකුට වටිනාකමක් දිය නොහැකිය. කෙලෙස් නැතිකරන තුරු ඇති කරගන්නා සියලු තත්ත්වයන් උසස් ලෙස නොසැලකිය යුතු ය.

බොහෝ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කරන්නන් සිල්වතුන්ය. ගුණවතුන් යැයි විශ්වාස කරන පිරිස් අදත් සිටිති. එදත් සිටියහ.

දීඝ නිකායේ පාඨික වග්ගයේ දැක්වෙන පාඨික සූත්‍රයේ ඉදිරිපත් කරුණු මෙසේ මුලාවී කටයුතු කරන බෞද්ධයාට බොහෝ වැදගත් වේ.

මල්ලරට අනුපිය නගරයේ වැඩ විසූ සමයේ එක් දිනක් බුදුන් වහන්සේ පිඬුසිඟා වැඩියහ.

අතිප්පගොඛො තාව අනුපියායං පිණ්ඩාය චාරිතුං”

පිණ්ඩපාතයේ යාමට තවත් වෙලාව ඇති හෙයින් උන්වහන්සේ එම ප්‍රදේශයේ වාසය කළ ‘භග්ගවගොත්ත’ තාපසයන් හමුවීමට ඔහුගේ ආරාමයට යා යුතු යයි අදහස් කළ සේක. මෙවන් අවස්ථා අපට ද උදාවේ. බුදුරජාණන් වහන්සේ මානුෂීය ලෙස ක්‍රියාකළ උතුම් මනුෂ්‍යයෙකි. බුදුන්වහන්සේ දැකීමෙන් සන්තුෂ්ටියට පත් වූ භග්ගවගොත්ත තාපසතෙම, ‘සවාගතං භන්තේ’ - ස්වාමීනි, ඔබ පිළිගනිමි යයි පවසමින් බුදුන්ට උස් අසුන් පනවා තමා ද මිටි අසුනක හිඳ ගත්තේ ය. ‘චිරස්සං ඛො භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය’ යනුවෙන් ඔබ වහන්සේ බොහෝ කලකින් වැඩියේයයි පවසා තාපසතෙම ආගිය තොරතුරු විමසුවේ ය.

එහිදී ‘ස්වාමීනි ඔබ වහන්සේගේ ශිෂ්‍ය සුනක්ඛත්ත ඔබවහන්සේව අතහැර ගියා යයි’ ආරංචි වූ බව තාපසයා කීවේ ය. බුද්ධත්වයෙන් වසර 20කට පසු බුදුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ලෙස අනඳ හිමි පත්වූ බව අපි දනිමු. ඊට පෙර කිහිප දෙනෙක්ම බුදුන් වහන්සේට උපස්ථාන කළ අතර, සුනක්ඛත්ත හිමි ඉන් එක් අයෙකි. සුනක්ඛත්ත හිමි ලිච්ඡවි සූත්‍රයේ මේ අවස්ථාවේ බුදුන් වහන්සේ හා සුනක්ඛත්ත හිමි අතර දෙබසක් ඇති වූ බව සටහන්ව ඇත.

සුනක්ඛත්ත හිමි – මම සිවුරු හැර ඔබ වහන්සේ අතහැර යමි.

බුදුන් වහන්සේ - ‘ඔබ ඇයි සිවුරු හරින්නේ.’

සුනක්ඛත්ත හිමි – ඔබ වහන්සේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම හෙවත් මිනිසුන්ට කළ නොහැකි දේ පිළිබඳ ප්‍රාතිහාර්යය පාන්නේ නැත. එසේම ‘අග්ගඤ්ඤය’ හෙවත් ලෝකෝත්පත්තිය පිළිබඳව මට විස්තර කර දෙන්නේ නැත. ඒ හෙයින් මම ඔබ හැර යමි. (බුදුන් වහන්සේගේ විජ්ජා බැලීමට මහණ වූ සුනක්ඛත්ත වැනි පුද්ගලයන් අදත් වෙසෙති.)

බුදුන් වහන්සේ - සුනක්ඛත්ත මම ඔබ මා වෙත පැවිදි වෙන්න යයි කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,

බුදුන් වහන්සේ - මා වෙත වසන්නැ’යි මම ඔබට කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමීනි.

බුදුන්වහන්සේ - ඔබ තමන්ම ඇවිත් තමන්ම යන දක්නට ඇත.

ලංකාවේ සම සීත දේශගුණයක් ඇති අනුරාධපුර, සිතුල්පව්ව වැනි ප්‍රදේශවල රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩ සිටි බැව් අපි දනිමු.

ඉතිරි කොටස පෙබරවාරි 3වනදා පත්‍රයේ පළවේ