Print this Article


ආශාව වැඩිනම් දුකත් වැඩියි

ආශාව වැඩිනම් දුකත් වැඩියි

තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලයේ ගිහි පැවිදි බොහෝ දෙනා යම් ආකාරයක මගඵල ලබා ගත්තා. නමුත් අනුපිළිවෙලින් ඒවා ටිකෙන් එක දුර්වල වුණා. එයට හේතුව ක්ලේෂ මාරයා බලවත් වීමයි. ක්ලේෂ මාරයා හැම තිස්සේම බලන්නේ අප සසරට බැඳ තබන්නයි. සසරට බැඳල තැබීම සඳහා ක්ලේශ මාරයා අපට අල්ලගන්න දාල තිබෙනවා උගුල් පහක්. ඒ උගුල් පහට පංචකාම සම්පත්තිය කියන්නේ

අද සමාජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් බොහෝ සේ තථාගත ධර්මය විකාශනය වෙනවා. ඒ දැනුවත් වීම තුළින් ධර්මය අසන ධර්මකාමි පිරිස වැඩි වී තිබෙනවා. ඒ වගේම කාමභෝගී පිරිසත් වැඩිවෙලා තිබෙනවා. එයට හේතුව කාමය පිළිබඳව දැනුවත්වීමත් වැඩි වී තිබෙන නිසයි.

කවදත් ලෝකයේ හොඳ හා නරක කියා දෙපිරිසක් සිටියා. බණ අසන, සිල් සමාදන්වන, භාවනා කරන පිරිසේ අවශ්‍යතාවලට මාධ්‍ය භාවිතා කරනවා වගේම අනෙකුත් කාමුක ක්‍රියාවන්ට නැඹුරුවෙලා සිටින කාමුකත්වයට ගිජුව කටයුතු කරන අයට ඒ අයගේ ඕනෑ එපාකම් අවශ්‍යතාවන් ඉෂ්ඨ කර ගන්නටත් අවස්ථාව ලැබී තිබෙනවා. අප ධර්ම දේශනාවක් අසන විට ‘මම බණ අහන්නේ මා තුළ තිබෙන අඩුපාඩු හදාගන්න’ කියා අප එය කිරීම වැදගත්. අප බොහෝ දෙනා බණ අහන්නේ චාරිත්‍රයක් ලෙස. හත් දවසේ, තුන්මාසේ, අවුරුද්දේ බණ කියන විට බණ අසනවා. පන්සලක කුමක් හෝ වැඩසටහකදී ධර්ම දේශනාවක් පැවැත්වුවොත් අහනවා. එහෙම නැතුව තමාගේ දුර්වලකම් හදාගන්න, වරදින් මිදීමට ධර්මය ශ්‍රවනය කරනවා අඩුයි.

ඔබ යම් අසනීපයකදී එය සුවකර ගැනීමට වෛද්‍යරයකු වෙත යනවා. එවිට ඔබ දැනගත යුතු කරුණු දෙකක් තිබෙනවා. ඒ තමයි ඔබට ලෙඩක් තිබෙනව බව හා අදාල වෛද්‍යරවයා වෙත මම යන්නේ රෝගයට ප්‍රතිකාර ගෙන සුවකර ගැනීම සඳහා කියා දැනුවත් වීමක්. එහෙම දැනුවත් වෙලා අසන බණ තුළින් තමාගේ අඩුපාඩු හදාගන්න පුළුවන්.

අප දන්නවා අද සමාජය එන්න එන්නම කෙළෙස් සහිත සමාජයක්. කෙළෙස් රහිත සමාජයක් නොවේ. තථාගතයන් වහන්සේ වැඩ සිටි කාළේ ගිහි පැවිදි බොහෝ දෙනා යම් ආකාරයක මගඵල ලබා ගත්තා. නමුත් අනුපිළිවෙලින් ඒවා ටිකෙන් එක දුර්වල වුණා. එයට හේතුව ක්ලේෂ මාරයා බලවත් වීමයි. ක්ලේෂ මාරයා හැම තිස්සේම බලන්නේ අප සසරට බැඳ තබන්නයි. සසරට බැඳල තැබීම සඳහා ක්ලේශ මාරයා අපට අල්ලගන්න දාල තිබෙනවා උගුල් පහක්. ඒ උගුල් පහට පංචකාම සම්පත්තිය කියන්නේ. ඇසට පෙනෙන රූප, කණට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවද, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ෂය යි. මේ පංචකාම සම්පත්තිවල තිබෙනවා ලක්ෂණ හයක්, ඒ ඉට්ඨා, කන්ථා, මනාපා, පි‍්‍රයරූපා, කාමුපසංහිතා, රජනීයා. මේ වචන පහටම එක වචනයක් තමා ‘ආසාව ඇතිවන සුළු’ කියලා. ආශාව ඇතිකරන රූප තිබෙනවා. ශබ්ද ගඳ සුවද, රස, ස්පර්ෂ තිබෙනවා. ආශාව ඇති කරනවා කියූ ගමන් සාමාන්‍යයෙන් අපට සිහිවන්නේ රූපයක් නම් ලස්සනයි. ශබ්දයක්නම් මිහිරියි කියලා. නමුත් එහෙම නොවේ. ආශාව, කැමැත්ත ඇතිවන්නේ හොඳ දේවල් වලට පමණක් නොවේ. නරක දේවල් වලටත් නොවේ. අප බහුතරයක් හොඳයි කියන දේවලට කැමැත්ත ඇතිවෙනවා. ඒ වාගේ නරකයි කියන දේටත් කැමැත්ත ඇතිවෙනවා. ඒ ඒ පුද්ගලයා අරමුණු ග්‍රහණය කරගන්නා ආකාරය අනුවයි එය තීරණය වන්නේ. හැමෝටම හැම රූපයක්ම ලස්සන නැහැ. ලස්සන – කැත, හොඳ – නරක කියන දේට කැමැත්ත ඇතිවෙනවා. එහෙම කැමැත්ත ඇතිවුණාම ඒ ඇති වූ කැමැත්ත නිසා මිනිස්සු කරන වැඩ තුනක් තිබෙන බව තථාගතයන් වහන්සේ වදාළා. අභිනන්දති,- අරමුණක් තුළ සතුටු වෙනවා. සතුටු වුණාම අප ඒක යළි යළිත් ප්‍රාර්ථනා කරනවා. උදා- රූපයක් අපි දැක්කොත් ඒ රූපයේ සතුටු වෙනවා. සතුටු වුණොත් නැවත ඒ රූපය දෙස බලන්න හිතෙනවා. අපි පාරේ යනකොට ඕනතරම් රූප දකිනවා. හැබැයි හැම රූපයකින්ම සතුටු වන්නේ නැහැ. හැම රූපයක් දෙසම ආපසු හැරී බලන්නේ නැහැ. හැරී බලන්නේ කැමැත්ත නිසා. සතුටු වෙන නිසා. අනික් කරුණ අභිවදති- සතුටු වූ කැමැති වූ රූපයේ නැවත නැවත එහි තිබෙන වටිනාකම් කියනවා. රූපයක්නම් දුටුවොත් එය තමන් දන්නා අයත් එක්ක වර්ණනා කරනවා. තුන්වැන්න අච්ජෝසායති- ඒ රූපයේ කිදා බසිනවා. ඒ රූපය ගැනම හිත හිත ඉන්නවා. එවිට ඇස්දෙක අරගත්තත් ඇස්දෙක වසා ගත්තත් ඒ රූපයමයි දකින්නේ. ඒ රූපයේ යම්කිසි සුවඳක් තිබුණානම් ඒකමයි දැනෙන්නේ. එහෙම වෙන්න වෙන්න සිදු වන්නේ ඒ රූපයට තදබල කැමැත්තක් ඇතිවීමයි. එවිට ඒ රූපය සොයගෙන යන්න පෙළඹෙනවා. කැමැත්ත වැඩි තරමට ඒ රූපය ගන්න බැරි වුණොත් ඒ මනුස්සයා කිඳා බැසපු රූපය ලබා ගැනීම පිණිස සිතින් කයින් වචනයෙන් දුරාචාරයට පෙළෙඹෙනවා. එවිටයි කාම අපරාධ ලෝකයේ සිදුවන්නේ. එහෙම වුණේ තමන්ට තමාව පාලනය කර ගන්නට නොහැකි වූ නිසයි.

අප තුළ ඇති රාග, ද්වේෂ, මෝහ ක්ලේශ ධර්ම ඇවිස්සෙන ආකාරයට අප පරිහරණය කරනවා නම් අප ක්ලේශ මාරයාට අසුවෙලයි ඉන්නේ. රාග, ද්වේශ, මෝහ ඇවිස්සෙන ආකාරයට අප ශබ්ද අහනවානම් ක්ලේශ මාරයාට අසුවෙනවා. ක්ලේශ මාරයාට අසුවුණාම ඒ ශබ්ද අහන්නේ ක්ලේශත් සමඟයි. එවිට ක්ලේශ අපේ හිතර රිංගා ගන්නවා. ක්ලේශ ඇවිස්සෙන විදිහට අප අරමුණ පරිහරණය කරන්න කරන්න ක්ලේශ මාරයා ඉන්නේ අප ළඟ. එහෙම පුද්ගයා නිරන්තරයෙන්ම රාගයෙන් මත්වෙලා ද්වේශයෙන් කෝප ගැන්විලා මෝහයෙන් මුලාවෙලා ආදීනව දකින්නේ නැති තත්ත්වයට පත්වෙනවා. අවේගයකට පත්වුණාම එයින් වෙන හානිය දකින්නේ නැතිවෙනවා. එහෙම වුණාම දුරාචාරයට පෙළෙඹෙනවා. එවිට කයින් සහ වචනයෙන් අපරාධවලට මිනිසුන් පෙළෙඹෙනවා. අප තුළ තිබිය යුතු සංහිදියාව ගිලිහි යාම නිසා මිනිසුන් අපරාධවලට යොමුවන්නේ. ඒ සඳහා ධර්මය ඔවුන්ට දැනෙන විදිහට සංනිවේදනය කිරීම වැදගත්. තථාගතයන් වහන්සේ ගේ ධර්මය ජනතාවට සම්ප්‍රේෂණය කිරීමේද එය කරන පිරිසටද දැනුවත්භාවයක් අවශ්‍ය යි. මිනිසුන්ට තේරෙන ආකරයට සරලව වටහා ගන්නට පුළුවන් ආකාරයට කියා දෙනවානම් අපරාධවලට නැඹුරුවීමේ හැකියාව අඩුකර ගන්න පුළුවන්. අපගේ සිත් තුළ නිරන්තරයෙන්ම ආශාව ඇතිකරන දේවල්වලට නැඹුරුවක් තිබෙනවා. කාලයක් යනවිට මිනිසුන්ගේ සිත් කෙළෙස් බහුල වෙනවා. කෙලෙස් බහුල වීමෙන් වටහා ගැනීමේ ශක්තිය අඩුවෙනවා.