Print this Article


කැලණි  පෙරහර

කැලණි පෙරහර

හෙළ කලා සංස්කෘතිකාංග රැක ගැනීමටත් පෝෂණය කිරීමටත් බුදු දහමින් එදා සිටම ලබා දුන්නේ විශාල පිටිවහලකි. බුදුදහමෙන් තොර කලාවක් මෙරට පෝෂණය නොවූ තරම්ය.

දේශීය කලා නිර්මාණ රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන්නේ පෙරහර මාර්ගයෙන්. මේ අතුරින් දළදා පෙරහරට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. පහතරට නැටුම් කලාව පෝෂණය කරමින් හෙළ කලාව නංවාලීම පිණිස කැලණිය රජමහා විහාරය මඟින් පවත්වන දුරුතු පෙරහරද හෙළ කලා සංස්කෘතියට විශාල දායකත්වයක් සපයනවා.

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් ලෙසට පත්වූ කැලණිය පුදබිමේ පූජනීයත්වය ද වැඩි කරමින් පවත්වනු ලබන මෙම පෙරහරේ ආරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1927 සිටය.

ඊට පෙර සිටද යම් යම් අයුරින් පෙරහර පවත්වා ඇතත් සංවිධානාත්මක පෙරහර පැවැත්වීම 1927 සිට ආරම්භ වූ බවයි කැලණිය රජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පවසන්නේ.

එදා ඒ සඳහා හෙලේනා විජේවර්ධන මහත්මියත් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මහනුවර දළදා පෙරහරේ ක්‍රමවේදය අනුව යමින් කැලණිය දුරුතු පෙරහර ඇරඹුණා.

කැලණියෙ දුරුතු පෙරහර ආරම්භ කිරීමේ මූලික පදනම වූයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයි. එහෙත් මෙහිදී බොහෝ අයට මතුවන ප්‍රශ්නයක් වන්නේ තුන්වන වර කැලණියට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ බක් මස වුවත් දුරුතු මස පෙරහර පවත්වන්නේ ඇයි ද? යන්නය.

මීට හේතු සාධක දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න බුදු රජාණන් වහන්සේගේ පළමු, දෙවන හා තෙවන ලංකා ගමන් තුනේදීම මනි අක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමය. මහියංගණයට, නාගදීපයට මෙන්ම කැලණියේදීත් මනි අක්ඛිත නා රජු බුදු රජාණන් වහන්සේ බැහැ දුටුවා.

එහෙත් බොහෝ දෙනා මනිඅක්ඛිත නාරජු ගැන දැන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනයත් සමඟය.

එහෙත් වංශ කතාවල පළමු ලංකා ගමනයේ සිටම මනි අක්ඛිත නා රජු මෙන්ම සුමන සමන් දෙවියන් ද බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවා.

අනෙක් ප්‍රධාන කරුණ වන්නේ බක්, වෙසක් කාලයේදී බස්නාහිර පළාතට නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වී අධික වර්ෂාවක් හට ගන්නවා. එවිට පෙරහර පවත්වන්නටත් පෙරහර නරඹන්නටත් විශාල බාධා ඇතිවනවා.

මේ නිසා ඓතිහාසික සිද්ධීන් ( පළමු ලංකා ගමනය ) මුල් කරගෙන දුරුතු මාසයේම පෙරහර පවත්වනවා. ආරම්භයේදී ධාතු පෙරහරක් ලෙසින් පෙරහර පවත්වා තිබෙනවා. දෙවන වර්ෂයේදී පෙරහරට විභීෂණ දෙවියන් උදෙසා විභීෂණ දේව පෙරහර එක්කර තිබෙනවා. පළමු වර්ෂයේම විභීෂණ දේව පෙරහර ද පෙරහරට එක් කිරීමට සූදානමින් සිටියත් විභීෂණ දෙවියන්ගේ ආභරණ සියල්ලම හමු නොවූ හෙයින් එය දෙවනුව සිට පෙරහරට එක් කර තියෙනවා.

පසුව ක්‍රමයෙන් කතරගම, හා විෂ්ණු පෙරහරද දුරුතු පෙරහරට එකතු වී තිබෙනවා.

ඒ අනුව අද වනවිට දුරුතු පෙරහර ධාතු පෙරහරට අමතරව විෂ්ණු, කතරගම හා විභීෂණ යන දේවාල පෙරහරවලින් ද සමන්විත වී තිබෙනවා. කැලණියේ දුරුතු මහ පෙරහර දළදා පෙරහරට පසුව ලංකාවේ දක්නට පුළුවන්. සාම්ප්‍රදායික මෙන්ම මෙරට අනන්‍යතාව රැක දෙන ගාම්භීර පෙරහරක් ලෙස හැඳින්වීමත් වරදක් නොවෙයි. මෙම පෙරහරේ සැකැස්ම අදට ඕනෑ අයුරින් සකස් කරන්න බැහැ.

උදාහරණයක් හැටියට පෙන්වා දෙනවානම් වෙස් කණ්ඩායම් යෙදවිය හැකි ස්ථාන දෙකයි තිබෙන්නේ. එක් කණ්ඩායමක් ධාතුන් වහන්සේ වැඩම කරන ස්ථානය ඉදිරියෙන් යෙදීමට පුළුවන්. අනෙක් කණ්ඩායම යොදන්න පුළුවන් නිලමේ ඉදිරියෙන් පමණයි. වෙස් කණ්ඩායම් ඕන තරම් ඉන්නව කියල පෙරහරේ අතරමැදට දාන්න බැහැ. ඒ පෙරහරේ අනන්‍යභාවය නැත්නම් පෙරහරේ ආකෘතිය.

ඒ වගේම ගිනි බෝල කරකවන්නන් කස කාරයන්ට පසුව පමණයි ගමන් කරන්නේ. ඒ වගේම කරඬුව රැගෙන යනවිට දෙපසින් අලි ඇතුන් දෙදෙනකු ගමන් කරවීමත් පෙරහරේ අනන්‍යතාව රැක දීමට හේතු වී තිබෙනවා. ‘ දෑල යනවා’ නමින් එය හදුන්වනවා. කරඬුවේ ආරක්ෂාවට නාග පෙන රැගෙන යාමත් මෙහි තවත් අනන්‍යතාවක්. ඒ වගේම පෙරහරේ රැගෙන යා යුතු පූජා භාණ්ඩ තිබෙනවා. කැලණිය පෙරහරෙත් ඒවා නිසි අයුරින් කෙරෙනවා. මේ අනුව ලංකාවේ සාම්ප්‍රදායකත්වය පෙරහර ආකෘතිය ද ආරක්ෂා කරගෙන යන පෙරහරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මෙම පෙරහරේ දක්නට ලැබෙන ප්‍රධානම වෙනස වන්නේ කැලණි පෙරහරේ පහතරට නැටුම් සියල්ල අඩංගුවීමයි. ආරම්භයේදී පහතරට නැටුම් මෙම පෙරහරේ අන්තර්ගත කර නැහැ.

නමුත් වත්මන් විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් ‘ පහත රට කෙරෙන පෙරහරේ පහත රට නැටුම් අඩංගු විය යුතුයි’ යන සංකල්පය ක්‍රියාත්මක කර තිබෙනවා.

පහතරට පමණක් නොව සබරගමු සම්ප්‍රදායයේ නැටුම් ද මෙම පෙරහරට අන්තර්ගත කර තිබෙනවා. ධාතු පෙරහරේ සියලු නැටුම් උඩරට සම්ප්‍රදායයෙන් යුක්තයි. සෙසු පහතරට නැටුම් සියල්ල විෂ්ණු හා විභීෂණ මෙන්ම කතරගම පෙරහරට අඩංගු කර තිබෙනවා. කතරගම පෙරහරට ආවේණික වූ නැටුම් සියල්ල ද ඒ අයුරින්ම පවත්වාගෙන යනවා.

කැලණි විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ ලෙස පළමුවෙන්ම කටයුතු කළේ වෝල්ටර් විජේවර්ධන මහතාය. පසුව පිළිවෙළින් ඩී. සී. විජේවර්ධන, උපාලි විජේවර්ධන, ස්ටැන්ලි විජේසුන්දර, ශාලිත විජේසුන්දර මහත්වරුන් කටයුතු කළා. වත්මන් බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරන්නේ ධම්මික ආටිගල මහතාය. මෙවර නැටුම් කණ්ඩායම් සංඛ්‍යාව 40 කට සීමා කර තිබෙනවා. අලි ඇතුන් සංඛ්‍යාව 40 කට සීමා කර තිබෙනවා. බොරු කකුල් කාරයන් ද පෙරහරේ අංගයක් ලෙස යොදා ගන්නේ නැහැ. එමෙන්ම කිසිඳු කාන්තා නැටුමක් මේ පෙරහරේ යොදා ගන්නේ නැහැ.

සංස්කෘතියට බාධා පමුණුවන කිසිඳු අංගයක් මේ පෙරහරට යොදා ගන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු ලබන බුද්ධ පූජාවක් ලෙසින් පවත්වන මෙම පෙරහර අනාගත පරපුරට දායාද කිරීම එකම අරමුණ වී තිබෙනවා. එහි අතුරු ඵලයක් ලෙස මෙරට සාම්ප්‍රදායක කලා නිර්මාණ ආරක්ෂා වනවා. හේවිසි කණ්ඩායම්, පන්තේරු කණ්ඩායම් වෙස් කණ්ඩායම් බුදු ගුණ ගායනා කරනවා.