Print this Article


“සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී ධර්ම විභූෂණ” ගරු නාමයෙන් පුද ලද ධර්ම සන්නිවේදකයාණෝ

“සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී ධර්ම විභූෂණ” ගරු නාමයෙන් පුද ලද ධර්ම සන්නිවේදකයාණෝ

ධර්ම සන්නිවේදනය වෙනුවෙන්ම කැපවුණු “බෞද්ධයා රූපවාහිනී නාලිකාව“ 2007 වසරේ ජූනි මස 26 වන දින කොළඹ 07 ග්‍රෙගරිපාරේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ආරම්භ විය.

‘සැම හිතසුව පිණිස’ යන උදාර තේමාවෙන් වෙළඳ දැන්වීම් රහිතව දායකත්ව ධර්මදේශනා, වාර්තා වැඩසටහන්, දෙස් විදෙස් බොදු පුවත් මෙන්ම, පෝදා සීල සමාදාන වැඩසටහන් ධර්ම සාකච්ඡා වන්දනා හා පිරිත් සජ්ඣායනාවන්ගෙන් පමණක් සුසැදිව ලක්වැසි මුළු මහත් ජනතාවටම දාන අතර උතුම්ම දානය වූ ‘ධර්ම දානය’ සිදුකරගැනීමට මඟ විවර කරමින්, ඇරඹුණු මෙම නව නාලිකාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව උන්වහන්සේගේ ගුරුදේවෝත්තම සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිතාභිධාන මහ නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් සිය විකාශන කටයුතු අරඹන්නේ එවකට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිඳුන් ප්‍රධාන ගිහි පැවිදි බොහෝ සම්භාවනීය පිරිසකගේ ද ආශීර්වාද හා සුභාශිංසන මැදය.


දරණාගම කුසලධම්ම
නා හිමි

එතෙකින් නොනැවතුණු උන්වහන්සේ එතෙක් කලක් චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් හා අන්තර් ජාලයෙන් පමණක් විකාශන කටයුතු සිදු කළ බෞද්ධයා රූපවාහිනිය 2011 වසරේ මැයි මස 15 වන දා බස්නාහිර පළාත තුළ යූ.එච්.එෆ්. 53 නම් චැනලය ඔස්සේ සාමාන්‍ය නාලිකාවක් බවට පත්කරමින් එදිනම කන්ද උඩරටින්, බස්නාහිරින් හා රුහුණෙන් විකාශන කටයුතු දියත් කරන බෞද්ධයා ගුවන් විදුලිය ආරම්භ කරන්නට යෙදුනේ සුවහසක් ලාංකීය ග්‍රාමීය බොදු ජනතාවට නිරන්තරයෙන් නොමිලයේම ශ්‍රී සදර්ධර්මය ශ්‍රවණය කිරීමට අවකාශ සලසමිනි.

මුද්‍රිත මාධ්‍යය වෙත අවතීර්ණ වූ උන්වහන්සේ සාරගර්භ ශාස්ත්‍රීය ලිපි හා ප්‍රවෘත්තිවලින් සමන්විතව ‘ශ්‍රී සම්බෝධි’ නමින් මාසික බෞද්ධ සඟරාවක් ආරම්භ කළ උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් අද වන විට සඟරා කලාප 12 ක් එළිදැක්වීමට සමත් වී ඇත.

අස්ගිරි මහනාහිමියන් මූලිකත්වයේ තබාගෙන උතුරු නැගෙනහිර පළාත්වල, යුද්ධයෙන් විනාශ වී ගිය වෙහෙර විහාර සිය ගණනක බෝධි ප්‍රාකාර, චෛත්‍ය, ආවාසගෘහයන්, ධර්මශාලා, ඉදිකරමින්, පුණ්‍යභූමි වන්දනා වැඩසටහන යටතේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා, හේවිසි තූර්ය භාණ්ඩ මෙන්ම ත්‍රිපිඨක පොත් කට්ටල රුපියල් මිලියන ගණනක බෙදාදී ඇති උන්වහන්සේ පිළිකා සහ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට අරමුදලක් පිහිටුවා ඒ හරහා දහස් සංඛ්‍යාත රෝගීන් හට උපකාර කළහ.

පසුගිය වසරේ වස්කාලය තුළ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මහමළුවේ පවත්වන්නට යෙදුණු අසූමහා ශ්‍රාවක පූජාවේ දී, අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේ විසින් කළ ඉල්ලීමකට අනුව ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින මාළිගාවේ දැනට අබලන්ව ඇති දොර 2 ක් තනි රිදියෙන් සාදා නිමකර පූජා කිරීම පිණිස කුසලධම්ම හිමිපාණන්විසින් දියත් කළ වැඩ පිළිවෙළට මහජනතාව දසදෙසින් ගලාවිත් රිදී පූජා කරති. මුදලින් ආධාර කරති.

උන්වහන්සේ දරුවන් තුන් දෙනෙකුට වඩා වැඩි සිංහල බෞද්ධ පවුල් සඳහා මාසිකව රු. 5000/- ක මුදලක් පිරිනැමීම සඳහා අරමුදලක් පිහිටවන ලද්දේ තමන්වහන්සේ ශාසනික කටයුතුවලට වැඩම කිරීම සඳහා පරිහරණය කරනු සැදැහැතියකු විසින් පූජා කළ ‘ජීප් රථය’ අලෙවි කිරීමෙන් ලද මුදල් යොදවමිනි.

දරණාගම කුසලධම්ම නා හිමිපාණන්, තායිලන්ත රජතුමාණන් සහ සංඝරාජ මහනා හිමියන් වෙතින් ’බුදුගුණ ප්‍රතාන්’ (BUDUGUNAPRATHAN) ගෞරව නාමයත්, ‘ශ්‍රමාභිමානී මාධ්‍යශූරී ජාතික සම්මානයත්, ජාත්‍යන්තර MACO ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට සේවා ඇගයුම් මාධ්‍ය සම්මානයත් යන පිදුමන්ගෙන් බුහුමන් ලැබීමට සමත් වූහ.

මේ සියලු බුහුමන් අතර ලාංකීය ශාසන ඉතිහාසය තුළ එක් නිකායකින් තවත් නිකායක ස්වාමීන් වහන්සේ නමක අගයා ගෞරව නාමයක් පිළිගැන්වීම නම් වූ විරල ගනයේ උතුම් අවස්ථාවක් උදාකරමින් පසුගියදා ශශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත නාපාන පේ‍්‍රමසිරි මහ නා හිමියන් ප්‍රමුඛ පාලක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත ‘සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශශ්‍රී සද්ධර්ම විභූෂණ’ නම් ගෞරව නාමය පිරිනමන ලදී.