Print this Article


උදා වූ නව වසර සුබ වන්නේ මෙහෙමයි

උදා වූ නව වසර සුබ වන්නේ මෙහෙමයි

කෙළවරක් නැති මේ සසර ගමනේදී මේ භවය යනු තවත් එක් නවාතැන් පොළක් පමණි. අප ඒ නවාතැනේ සිටිය යුතු කාලය අපටත් නොදැනීම දින, සති, මාස, ලෙසින් ගෙවී ගොස් තවත් වසරක් අපේ ජීවිතවලින් උදුරාගෙන. ලැබුවා වූ මේ නව වසර අර්ථවත් ලෙස සමරන්නට නම් අප අනුගමනය කළ යුත්තේ කුමන පිළිවෙතක්ද? ඕනෑම ජාතියක, ඕනෑම ආගමක කුමන පුද්ගලයකුට හෝ පැමිණ බැලිය හැකි (එහි පස්සිකෝ) නුවණින් විමසීමෙන් තමන්ටම අවබෝධ කොට ගත හැකි සාරවත් ධර්ම මාර්ගයක් අප අභියස විවෘතව ඇත. එසේ තිබියදී මංමුලාවූවන්සේ අප වැඩි දෙනකු තවමත් බැදිවලම යන්නේ මන්ද?

කෙළවරක් නැති මේ සසර ගමනේදී මේ භවය යනු තවත් එක් නවාතැන් පොළක් පමණි. අප ඒ නවාතැනේ සිටිය යුතු කාලය අපටත් නොදැනීම දින, සති, මාස, ලෙසින් ගෙවී ගොස් තවත් වසරක් අපේ ජීවිතවලින් උදුරාගෙන. ලැබුවා වූ මේ නව වසර අර්ථවත් ලෙස සමරන්නට නම් අප අනුගමනය කළ යුත්තේ කුමන පිළිවෙතක්ද?

ඕනෑම ජාතියක, ඕනෑම ආගමක කුමන පුද්ගලයකුට හෝ පැමිණ බැලිය හැකි (එහි පස්සිකෝ) නුවණින් විමසීමෙන් තමන්ටම අවබෝධ කොට ගත හැකි සාරවත් ධර්ම මාර්ගයක් අප අභියස විවෘතව ඇත. එසේ තිබියදී මංමුලාවූවන්සේ අප වැඩි දෙනකු තවමත් බැදිවලම යන්නේ මන්ද?

හරවත් දිවියකටත් සසර ගමනේ නැවතුමටත් මඟ කියාදෙන ඒ උතුම් දහම ලොවට හඳුන්වා දුන්නේ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. බුදුදහම කිසි විටෙකත් සර්ව අසුබවාදී දහමක් නොවේ. සර්ව සුබවාදීද නොවන සපුරාම යථාර්ථවාදි දහමකි. චතුරාර්ය සත්‍යය සහ පටිච්ච සමුප්පාදය වැනි උත්තම ඉගැන්වීම් තුළින් ලෝකය හා ජීවිතය පිළිබඳ ඇති තතු අපට හෙළි කරන්නේය. කළ යුත්තේ එය නුවණින් වටහා ගැනීමයි.

තරගකාරි සමාජ රටාව තුළ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යැයි සිතමින් පසෙකට වී සිටියහොත් තමා පසුකොට අසල්වැසියා දිගු ගමනක් යාවි යැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මොහොතක් සිතා බලන්න. ඉපදුනුදා සිට මේ දක්වා එකිනෙකා සමඟ තරග කරමින් ඉදිරියට පැමිණියා මිස ජීවිතයේ ඔබ ලැබූ කිසිවකින් හෝ තෘප්තියකට පත් වූවාද? සෑහීමකට පත්වූවාද? කැමැතිදේ ලැබුණත් තව ටිකක් වැඩියෙන් තිබුණා නම් හොඳයි කියා කොතරම් නම් ඔබට සිතෙන්නට ඇත්ද? ඔබේ අසල්වැසියාගේ නිවෙසට වඩා වැඩි පහසුකම් ඇති නිවෙසක් හදන්නට, මිත්‍රයාගේ වාහනයට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වාහනයක් ගන්නට, හිතවතුන් අඳින පළඳින ඇඳුම් ආයිත්තම්වලට වඩා වටිනා ඇඳුම් පැළැඳුම් අඳින්නට, අසල්වැසියාගේ දරුවා ඉගෙන ගන්නා පාසලට වඩා ලොකු, ජනපි‍්‍රය පාසලකට තමන්ගේ දරුවා යවන්නට, අසල්වැසි නිවැසියන් සතු බඩු බාහිරාදියට වඩා වැඩි වටිනාකමකින් යුක්ත බඩු භාණ්ඩවලින් නිවෙස පුරවා ගන්නට ගත වූ කාලය තුළ ඔබ කොතරම් වෙර වීරිය දරන්නට ඇත්ද? දිවා රෑ නොබලා වැඩ කරන්නට ඇත්ද? එහෙත් ඔබේ සිත තෘප්තිමත්ද? මේ තරගකාරී වාණිජවාදි සමාජ ප්‍රවාහය තුළ හැල්මේ දුවන තරගකරුවකු බවට පත්වූ ඔබ තණ්හාව,ආශාව, ක්‍රෝධය,වෛරය, පළිගැනීම, පසු තැවීම,කලකිරීම,අහංකාරය හා පුහුමානය වැනි සිතුවිලිවල වහලකු බවට පත්වීම නොවේද ප්‍රතිඵලය වී ඇත්තේ? ඔද්දල් වුණු ඔබේ සිතට සැනැසුමක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට නිතැතින්ම ඔබ ආමිෂ පූජාවන්හි නිරත වෙනවා. එය ඉතා හොඳයි. එහෙත් ඔබ දන්නවාද ඔබේ නියමාකාර සැනසුම ඇත්තේ ඔබ තුළම බව? එය ඔබම සොයා ගත යුතු බව?

යහපත් ගුණධර්මවලින් සුපෝෂණය වුණූ සංස්කෘතියක හිමිකරුවන් අප. එවැනි සංස්කෘතියක් නිර්මාණය වන්නට පදනම සකස් වුණේ මහින්දාගමනයත් සමඟ මෙරටට ලැබුණු බුදුදහම නිසයි. එදා මෙදාතුර කාලය බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. අද ලෝකය භෞතික සංවර්ධනයේ හිනි පෙත්තට නැඟ තිබුණත් අධ්‍යාත්මික වශයෙන් විශාල පරිහානියකටයි පත් වී තිබෙන්නේ.අපේකම,දේශීයත්වය, හැදිච්චකම ආදි දේශීය සංස්කෘතියේ උත්තරීතර ලක්ෂණ පවා බොහෝ දෙනකුට අමතක වී තිබෙන බව පැහැදිලියි.

සැබෑ බෞද්ධයා නිරතුරුවම උත්සාහ කළ යුතු වන්නේ තම අධ්‍යාත්මය සංවර්ධනය කර ගැනීමටයි. යහපත් පවුල් ජීවිතයක් සහ යහපත් අධ්‍යාත්මයක් ගොඩනඟා ගැනීම සඳහාත් ඒ ඔස්සේ සමාජය සුරක්‍ෂිත කිරීම සඳහාත් බුදුරජාණන් වහන්සේ ගිහියාට පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාළා. මතුපිට අර්ථයෙන් පමණක් ගෙන සතුන් මැරීමෙන් වැළැකීම, සොරකමෙන් දුරුවීම ආදි වශයෙන් කටයුතු කිරීමෙන් පමණක් ශීලය ආරක්ෂා වන්නේ නැහැ. මේ අනුව පන්සිල් ආරක්ෂා කිරීමේදී පවෙන් වැළැකීම මෙන්ම යහපතෙහි පිහිටීමද කළ යුතුයි.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, අනුන් බොරුවෙන් මුළාකිරීම්, වංචාව සහ සුරාපානය යන අපරාධ හැර ලෝකයෙහි වෙනත් දරුණු අපරාධ තිබෙනවාද? සැබැවින්ම නැහැ.මේ අනුව පංචශීල ප්‍රතිපදාවෙන් අර්ථවත් වන්නේ ලෝකයේ මිනිසුන් අතින් විය හැකි අතිශය දරුණුතම බරපතළම අපරාධයන්ගෙන් මිනිස් සමාජය මුදවා ගැනීමයි. ඒ අනුව පන්සිල් යනු ලෝකයේ දරුණුතම අපරාධ පසින් වෙන්වීමට වන පොරොන්දුවක්. එහෙත් මේවායින් වැළැකුණූ තරමටම පන්සිල් ආරක්ෂා වන්නේ නැහැ. මන්දයත් ගොළුවන් බොරු කියන්නේ නැහැ. අත්පා අහිමිවූ ආබාධිත වූවන්ට සොරකමේ යෑමටද සතුන් මැරීමටද නොහැකියි. එහෙත් එසේ වූ පමණින් ඒ අය පන්සිල් රකින්නෝ වෙත්ද? එබැවින් පස්පවින් වළකින අතරම අප කුසල්හි පිහිටීමත් කළ යුතුයි. පංචශීල ප්‍රතිපදාව වූ කලී පුද්ගලයාට මෙන්ම සමාජයට සිදුවන අපරාධවලින් මිනිසා මුදා ගැනීමට උපයෝගි කරගන්නා සදාචාරාත්මක ප්‍රතිපත්ති මාලාවක්.

සාමාන්‍ය නීතිය අධිකාරිමය බලයකින් යුක්තයි. එමඟින් සිදු කෙරෙනුයේත් මිනිසා වරදින් මුදා ගැනීමකි. එහෙත් ඒ තුළින් අධ්‍යාත්මික වශයෙන් පුද්ගලයාට බලපෑමක් සිදුවේද? කෙසේ වුවත් වඩාත් ඵලදායක වන්නේ මිනිසා අධ්‍යාත්මිකවම වරදින් මුදා ගැනීමට උත්සාහ දැරීමයි. අධිකාරයක් තුළ පුද්ගලයා සදාචාර මාවතෙහි යෙදවීම තාවකාලිකයි. ඒ නීතිමය අධිකාරි බලය නැති වූ විට යළිත් පුද්ගලයා අපරාධවලට යොමුවීමේ ඉඩකඩක් තිබෙනවා. එහෙත් අධ්‍යාත්මික වශයෙන් සිදු කෙරෙන්නා වූ බලපෑම ඉතා ප්‍රබලයි. උදාහරණ ලෙස, සත්ව ඝාතනය නීතිමය අධිකාරයකින් තහනම් කිරීමට වඩා එහි ඇති අමානුෂිකභාවය පෙන්වා දීම තුළින් එය වළකාලීම වඩාත් ඵලදායකයි.

සෑම මොහොතකම තමන් උපමාවට ගෙන සමාජයේ අන්‍යයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළැකී සිටිය යුතුයි. යහපත් සදාචාරසම්පන්න සමාජයක් බිහි කිරීමේහිලා බුදුන් වහන්සේ අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව අද වන විට බෞද්ධයන් පිළිපදින්නේ චිරාගත සම්ප්‍රදායක් ලෙසින් පමණයි. උදේ, හවස පන්සිල් පද මුවින් පිටවුනත් හදවතින්ම පන්සිල් සමාදන් වූවන් සිටින්නේ අතළොස්සක්.

මිනිසත් බව ලැබීම දුර්ලභ කරුණක්. ඒ උතුම් මිනිසත් බවට අරුතක් සැපයීම අප සතු යුතුකමක්. අපට ලැබුණු මේ ජීවිතය ඉතා කෙටියි. දිනක අප මේ ලොව සියලු දෑ අතහැර දමා යා යුතුයි. ජීවත්වන මේ ටික කාලයට අප අපට පමණක් නොව ලොව වසන සියලු සත්වයාටම සෙතක් සැලසෙන ලෙසින් ජීවත් විය යුතුයි. සරල, චාම්, දැහැමි ජීවිතයක් ගත කරන්නට උත්සාහ ගත යුතුයි. එකිනෙකා හෙළා දකින, ඇන කොටා ගන්නා, එකකු පාගා තවකෙකු නැඟී සිටින්නට උත්සාහ දරන, ආගම ධර්මයට ගරහන, මවුපියන්ට වැඩිහිටියන්ට, ගුරුවරුන්ට මහණ බමුණන්ට පූජකයන්ට නොසලකන සහ ස්වභාව ධර්මයට වින කටින අසද්පුරුෂ ගතිවලින් ඈත්වන්නට උදාවූ නව වසරේදී අපි සිතට ගනිමු.

බුද්ධදේශනාවට අනුව, අධාර්මික පුද්ගලයා දුකට, විනාශයට හා මරණෙන් මතු නිරයටත් දැහැමි පුද්ගලයා යහපතට, ආරක්ෂාවට දියුණුවට හා පරලොව සුගතියටත් පත්වන බව වෙසෙසින්ම වටහාගෙන ක්‍රියා කළ යුතුයි. සමහරවිට ජීවිතයේ අපට මුහුණ දෙන්නට සිදුවන අනේක විධ දුක්ඛ දෝමනස්ස හමුවේ නොසැලී ඉන්නට අපට හැකිවේද යන්නත් ප්‍රශ්නයක්. එහෙත් ඔබ ජීවිතය වටහා ගත්තානම්, එහි ඇති අස්ථීර බව හඳුනා ගත්තා නම් බුදුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැරැදීම අනුගමනය කරනවා ඇති. දුක, සැප, නින්දා , ප්‍රශංසා , ලාභ,අලාභ , යස, අයස ඉදිරියේ මැදහත් සිතින් නොසැලී හිඳීනු ඇති. එවිට උපදින , දිරන, ලෙඩවෙන, මැරෙන මේ ලොව තුළ නොඉපදෙන,නොදිරන, නිරෝගී, නොමැරෙන මිනිසුන් ලෙස කටයුතු කරමින් තෘෂ්ණාවෙන් යුතුව පස්කම් සැපත සොයා යෑමක් සිදුවන්නේ නැහැ.

මේ බුද්ධෝත්පාද කාලයයි. බුද්ධෝත්පාදයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් අතිශයින් දුර්ලභයි. අද බුදුන්වහන්සේගේ ධර්මය පිරිසුදුව නිර්මලව තිබෙනවා නොවේද? එබැවින් අප්‍රමාදි වීම අප්‍රමාණ සැපයක් අපට ලබාදෙනු ඇති. වචනයට පමණක් සීමා නොවී සද්පුරුෂ ක්‍රියාවන්ගෙන් සපිරුණු මිනිසුන් ලෙසින් පිළිවෙතින් පෙළ ගැසෙමු. ඒ ඔස්සේ දෙලොව වැඩ සදා ගැනුමට අදිටන් කර ගනිමු.