Print this Article


ධනය දෙගුණ කරගන්න

කර්තෘ - රංජිත් වික්‍රමසිංහ
ප්‍රකාශනය – ජීවිතයට දහම් පාසල , 136 කොස්වත්තපාර කළපළුවාව, රාජගිරිය
මිල. රු. 220/- යි.

රංජිත් වික්‍රමසිංහ ලේඛකයාගේ මෙම ලිපි පෙළ අපට රුකුල් දෙන්නේ දෛවයේ ඉරණමට, දෙවි දේවතාවුන්ට ජීවිතය විසඳන්නට බාර නොදී තමාම නැඟී සිටීම බවත්, මෙය ධනාත්මක ආකල්පය වර්ධනය වන ආකාරයට ලියා ඇති බවත් පොතට පෙර වදනක් සපයමින් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා සඳහන් කර තිබේ. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ පාඨක පි‍්‍රය භාෂා භාවිතයක් සතු මේ ලේඛකයා තම රචනා සමුච්චයෙන් බෞද්ධ පදනමක් ඇසුරෙන් කවර හෝ කෙනෙකුට හෝ ඒවා කියැවීමේ දී දිරිය විරිය සවිය ලබා දෙනු බවයි.






 


දඹදිව සිව් මහා පුද බිම්

කර්තෘ - සිරිසමන් විජේතුංග
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, නො. 165, දේවානම් පියතිස්ස මාවත, කොළඹ – 10
මිල. රු. 250/- යි.

මහා පිරිනිබ්බාන සූත්‍රයේ දී බෞද්ධයකු විසින් වැඳ පුදා ගත යුතු පුද බිම් සතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ පුද බිම් සතර නම් සිද්ධාර්ථ කුමාරයා උපත ලද ලුම්බිනි සල් වනය සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ඉසිපතනාරාමයේ සාරානාතය හා බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවය. මෙම පුදබිම් හතර පිළිබඳව ඉතා පුළුල් ලෙසින් පාඨක ජනතාවට අවබෝධයක් ලබා දීම මෙම පොතේ මූලික අරමුණ බව පසු පිටුවේ සඳහන් වෙයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයකු වූ සිරිසමන් විජේතුංග මහතා පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධි ලාභියෙකි.





 


සුත්තනිපාතයෙහි අට්ඨක – පාරායන දෙවර්ගයෙන් පිළිබිඹු වන බෞද්ධ චින්තාව

කර්තෘ - ආචාර්ය සෙනරත් විජයසුන්දර
ප්‍රකාශනය - ගොඩගේ සහ සහෝදරයෝ, 661, පී ද එස්. කුලරත්න මාවත, කොළඹ 10
මිල – රුපියල් 300/- යි.

මෙම කෘතියෙන් සිදු කොට ඇත්තේ තාර්කික යථානුභූතවාදී සහ විග්‍රහාත්මක දාර්ශනික මත උපයෝගී කරගනිමින් බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට කෘතියක් වන සුත්ත නිපාතයෙහි අට්ඨක හා පාරායන වර්ගද්වය පිළිබඳව දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කිරීමකි. සුත්තනිපාතය පිළිබඳව පොදුවේත් එහි අට්ඨක හා පාරායන වර්ගද්වය පිළිබඳ විශේෂයෙන් ඉංගී‍්‍රසි සිංහල සහ වෙනත් භාෂා වලින් ද සපයනු ලැබූ විවරණාත්මක කෘති විශාල සංඛ්‍යාවක් වූවත් එම කෘති අතර විජයසුන්දර මහතාගේ කෘතිය අසමාන වනුයේ එහි අනුගමනය කොට ඇති දාර්ශනික එළඹුම කරණකොටගෙන බව පොතට පෙරවදනක් සපයමින් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය අසංග තිලකරත්න මහතා පවසයි. බෞද්ධ චින්තාව, දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්වතකු වන ආචාර්ය සෙනරත් විජයසුන්දර මහතා මෙම කෘතිය ලියා ඇත්තේ තම දර්ශනපති උපාධියට අදාළ පර්යේෂණ ග්‍රන්ථයක් වශයෙනි.



 


පිරිනිවන් ගීතය

කර්තෘ - ස්වර්ණාකාන්ති පෙරේරා
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ - 30, ස්ටැන්ලි තිලකරත්න මාවත,
නුගේගොඩ.
මිල. රු. 295/- යි.

බුදුරජාණන් වහන්සේගේ 45 වසරක අසිරිමත් ගමනේ අවසාන තුන් මාසය ගත වූ සැටි කතුවරිය මැනවින් දකින බවත් කතුවරිය ත්‍රිපිටකය මැනවින් හදාරා ඇති බවත් ‘පිරිනිවන් ගීතය ගැන’ සටහනක් තබමින් මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ කියා සිටිති.

පිරිනිවන් ගීතයේ පසු වදන ද ලියැවෙන්නේ උන්වහන්සේ අතිනි. එහි මෙසේ සඳහන් වෙයි. ස්වර්ණකාන්ති ‘පිරිනිවන් ගීතය ලියා ඇත්තේ දැඩි සංයමයකිනි. බුදුරජාණන් වහන්සේ මේ තුන් මස පසු පස ගිය ශ්‍රාවිකාවක සේ ගමන් මඟ, පරිසරය පමණක් නොව පසුකර ගිය ස්ථාන පිළිබඳව ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රය වැනි ගැඹුරු දහමක් ඉතා සරලව ඉතා විචක්ෂණව නව කතාවක් පරිද්දෙන් ඉදිරිපත් කර තිබීම නිසා මෙම කෘතිය වඩාත් පාඨකයිනට සමීප වනු ඇත යනුවෙනි.


 


බොදු බැති බොදු හඬ

සම්පාදක – කලාබන්දු , සාමවිනිසුරු
මාදූවේ ආර්. වීරරත්න ද සිල්වා.
ධර්මදානය පිණිස ය.

වසර 27 ක් තිස්සේ අඛණ්ඩව මුද්‍රණද්වාරයෙන් එළිදැක්වෙන ලද බුදු බැති, බොදු හඬ කාව්‍ය සංග්‍රහය කවි කිවිඳියන් රාශියකගේ පැදි එකතුවකි. මෙය ධර්ම දානය පිණිස නොමිලයේ බෙදා හරින්නකි. බොදු බැති බොදු හඬ පිළිබඳව තම අදහස් පල කරන රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී බලපිටියේ සිරි සීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසන්නේ විසිහත් වසරක් පුරා වෙසක් සඳ මෝදුවන විට කවියෙන් බුදුරජාණන් වහන්සේ නමදින වීරරත්න ද සිල්වා මහතාට උන්වහන්සේගේ ආශිංසනය පුද කරන බව ය.



 


ගිහි දිවියේ දහම් මඟ

කර්තෘ - ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ - 30 ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ
මිල – රුපියල් 575/- යි

ත්‍රිපිටකයේ විසිරී පවතින ගිහි දිවියට අදාළ දහම් කොටස් එක් තැන් කළ පරිච්ඡේද 55 කින් සමන්විත මෙය බුදු දහම ජීවන දර්ශනය වශයෙන් පිළිගත් සෑම දෙනාට අත්‍යවශ්‍ය ග්‍රන්ථයක් වනු ඇත. ගිහි දිවියේ වැදගත් අංශ රාශියක් කෙරෙහි මේ කෘතියෙහි දී අවධානයට යොමු කර තිබේ. පොතට පසු වදනක් සපයමින් ආචාර්ය සෙනරත් විජයසුන්දර මහතා ඉහත සටහන ලියා තිබෙයි. බුදු දහමේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන යුගයක මෙම කෘතිය සම්පාදනය වන බවත් කතුවරයා මේ කාර්ය පිළිබඳව ප්‍රමාණික වියතකු මෙන්ම සැදැහැවතකු බවත් ඔහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලත් ප්‍රථමයා වන බවත් පොතට හැඳින්වීමක් සපයන කොස්වත්තේ අරියවිමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම අදහස් පල කර සිටිති.





 


සූත්‍රධර්ම අධ්‍යයනය

කර්තෘ - ශාස්ත්‍රපති පී. වීරතුංග
ප්‍රකාශනය – වාසනා කුමාරි දිසානායක,
ස්කොට්ලන්තය
මිල – රුපියල් 400/ යි.

ඉතා වැදගත් බුද්ධ දේශිත සූත්‍ර ධර්ම 31 ක් තෝරාගෙන සංස්කරණය කර ඇති මේ සූත්‍ර ධර්ම සංග්‍රහය දහම් පිපාසයෙන් පෙළෙන පොදු ජනතාවට මෙන් බෞද්ධ දර්ශනය සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය හා පාලි භාෂාව හදාරණ සිසු ජනතාවගේ ප්‍රඥා ප්‍රදීපය දල්වනු පිණිස මහත් ආලෝකය සපයන බව ග්‍රන්ථයට හැඳින්වීමක් ලියමින් මහාචාර්ය ආරියපාල පෙරේරා මහතා පවසා සිටියි. ග්‍රන්ථයේ කර්තෘවරයා දිගු කලක්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කර ඇත.





 


ප්‍රථම උදානය

කර්තෘ - අමුණුපුර පියරතන හිමි
සංස්කාරක – මහින්ද ගමගේ ඇල්ලලගොඩ
මිල. රුපියල් 170/- යි.

බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, එහි මූල ධර්ම ගිහි මෙන්ම භික්‍ෂු විනය, ශාසනික වත් පිළිවෙත් ආදී විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ වූ ලිපි ලේඛන රැසක් ගිහි භවතුන්ට සහ භික්‍ෂූන් වහන්සේගේ ද අර්ථ සිද්ධිය උදෙසා ලිපි සංග්‍රහයක් ලෙසින් මෙම ග්‍රන්ථය සකසා ඇති බවත් උන්වහන්සේ කීමෙහි බිනීමෙහි හැකියාවක් ඇති නිස්සරණාධ්‍යාශයෙන් නිහඬ භාවයෙන් යුක්තව මහඟු සේවාවක් ඉටුකරන භික්‍ෂූන් වහන්සේ නමක් බවත් පොතට සුභාශිර්වාදාත්මක පණිවිඩයක් ඇතුළත් කළ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නාහිමිපාණන් වහන්සේ පවසා සිටිති.

ශාස්ත්‍රවේදී පණ්ඩිත අමුණුපුර පියරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පුවත්පත් සඳහා ලියූ ලිපි එකතුවක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.