Print this Article


ශාසනාලංකාරයෙහි ලෝ සසුන් මෙහෙවර

ශාසනාලංකාරයෙහි ලෝ සසුන් මෙහෙවර

වයඹ පළාතට අයත් සත්කෝරලයෙන් බිහි වූ , බෞද්ධ පුනර්ජීවනය සඳහා වූ විශිෂ්ට සංවිධානයක් ලෙස ‘බුද්ධශාසනාලංකාර’ සමිතිය හැඳින්විය හැකිය. එහි ආරම්භය ක්‍රි.ව. 1900 දී පමණ සිදුව ඇත. ප්‍රදේශයේ ශාසනමාමක පිරිසකගේ එකතුවක් වූ මේ සංවිධානයෙහි නායකත්වය දරා ඇත්තේ එවකට කටුගම්පළ හත්පත්තුවේ රටේ මහතා ලෙස ක්‍රියා කළ ලෝරන්ස් නුගවෙල මහාදිකාරම් නිලමේතුමාය.

මේ අතර පිදුම වලව්වේ හල්පේ බණ්ඩා රටේ මහතාගේ හා ඇස්සැද්දුම වලව්වේ අප්පුහාමි කෝරලේ ආදි පින්වතුන්ගේ ඉඩම් පරිත්‍යාගයෙන් හා ප්‍රදේශවාසි සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ‘ශාසනාලංකාර’ නමින් ඇස්සැද්දුම ප්‍රදේශයේ පුණ්‍ය භූමියක් නිර්මාණය කරගත් බුද්ධශාසනාලංකාර සමිතිය එහි පළමුකොට ධර්මශාලාවක් ඉදි කොට සත්කෝරලයේ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කරලීමට කටයුතු දියත් කළේය. ඒ අනුව දිවයිනේ විවිධ පළාත්වල සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ වස් සමාදන් කරවා ගනිමින් ආගමික වැඩසටහන් පවත්වා ඇත.

බුද්ධශාසනාලංකාර සමිතියේ ඓතිහාසික ශාසනික මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් 1926 දී එළැඹෙයි. එම වර්ෂයේ දී ශාසනාලංකාරයෙහි වස් විසීමට ආරාධනා ලැබ වැඩම කරනුයේ මීරිගම ශාසනවර්ධන පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්ය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී ස්වාමින් වහන්සේය. බුද්ධශාසනාලංකාර සමිතියේ පින්වත්හු උන්වහන්සේගේ සුපේසල ශික්‍ෂාකාමී ශාසනික ප්‍රතිපදාවට හා විචිත්‍ර ධර්ම කථිකත්වයට අතිශයින් පැහැදුණූ අතර එහි දිගටම වැඩ සිටීමට උන්වහන්සේට ආරාධනා කළහ. එතෙක් සමිතියේ පාලනය යටතේ පැවැති ‘ශාසනාලංකාර’ පුණ්‍ය භූමිය ‘ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය’ නමින් සඟ සතු කොට පූජා කරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව මෙහි ප්‍රථම විහාරාධිපති ධුරය හොබවමින් සත්කෝරලයේ ජාතික, ආගමික හා සාමාජීය පුනර්ජීවනයේ පහන්සිළුව බවට පත් වූයේ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී ස්වාමීන් වහන්සේය.

ශාසනාලංකාරය ආරම්භ කිරීමත් සමඟ ඇති වූ ශාසනික පුනර්ජීවනය කුලියාපිටිය නගරයට පමණක් සීමා නොකර තදාසන්න ගම් නියම්ගම්වල මෙන්ම රජරට ප්‍රදේශයේ ඈත පිටිසර ගම්දනව් කරා ද ව්‍යාප්ත කිරීමට සුභාරතී මහෝපාධ්‍යායන් වහන්සේ ගත් ක්‍රියා මාර්ග පරිසමාප්ත අර්ථයෙන්ම ශාසනික උද්දීපනයකට හේතු විය. පන්නල කොහොඹේපොල ශ්‍රී පූර්වාරාමය, බරිගොඩ ශ්‍රී මහින්දාරාමය, වස්සාවුල්ලේ ශ්‍රී සුගතාරාමය, මල්වානේගෙදර ශ්‍රී මුනින්දාරාමය, අලලුව ශ්‍රී කල්‍යානවර්ධනාරාමය, දීගල්ල සිරි සුභාරති විහාරය, ඇන්නරුව ශ්‍රී ධර්මයුක්තිකාරාමය, මරදන්කඩවල පහළ අඹතලේ ශ්‍රී ඉන්ද්‍රගුප්ත විහාරය සහ කැකිරාව ලබුනෝරුව ශ්‍රී රාජමන්තින්දාරාමය ආදි විහාරස්ථාන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමි ශාසනික මෙහෙවරක් සුභාරතී මාහිමිපාණන් වහන්සේ ඉටු කළහ. ශාසනික මෙහෙවරට නොදෙවැනි ජාතික හා සාමාජීය මෙහෙවරක ද නිරත වූ උන්වහන්සේ වර්තමානයේ වයඹ පළාතේ දීප්තිමත් පාසලක් බවට පත්ව ඇති ‘ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලය’ ආරම්භ කිරීමෙහිලා ද මූලිකව ක්‍රියා කළහ. ‘ඇස්සැද්දුමේ ලොකු ස්වාමීන් වහන්සේ’ යනුවෙන් කා අතරත් ප්‍රසිද්ධව සිටි උන්වහන්සේ ශාසනාලංකාර විහාරය කේන්ද්‍ර කර ගනිමින් සිල්වත්, උගත් ප්‍රතිපත්තිකාමි ශිෂ්‍ය පිරිසක් ලෝසසුනට දායාද කළහ. කුඩිරිප්පුවේ සද්ධානන්ද හිමි, මල්වානේගෙදර ඉන්දෝභාෂ හිමි, පණ්ඩිත තලම්හැර විජය හිමි, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදි පිදුමේ රතන හිමි, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී වීරඹුවේ විමලභාරතී හිමි, දීගල්ලේ පඤ්ඤානන්ද හිමි, වලකන්දේ සුගතසේන හිමි සහ මහාචාර්ය කබලෑවේ පියභාරති අනුනායක හිමි ආදි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ සුභාරති මාහිමියන් ඇරැඹූ ශාසනවර්ධන ක්‍රියාදාමය තවදුරටත් දියුණූ කරමින් ප්‍රදේශයට හා සසුනට නොමැකෙන සේවා සිදු කරමින් සමස්ත ලංකාද්වීපයෙහිම ගුණ සුවඳ පතුරුවාලූහ.

1969 වර්ෂයේ කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශාසනාලංකාරයේ විහාරාධිපති තනතුරට පත්වූයේ මහාචාර්ය කබලෑවේ පියභාරති අනුනායක හිමියන් ය. සුභාරති මාහිමියන් ආරම්භ කළ ශාසනාලංකාර සඟ පරපුරේ දීප්තිමත් සංඝ පීතෘවරයන් වහන්සේ නමක වශයෙන් කබලෑවේ පියභාරතී අනුනායක හිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. ඉලුක්හේන සිරි විජය සුන්දර පිරිවෙන ආරම්භ කිරීම, කලක් අභාවයට පත්ව තිබූ අලව්ව ශ්‍රී රාහුල පිරිවෙන ආරම්භ කිරීම ආදි විහාරස්ථාන රැසක් ඇරැඹීම හා ඒ සෑම විහාරස්ථානයකම දහම් පාසල් ආරම්භ කිරීමේ ගෞරවය පියභාරතී ස්වාමීන් වහන්සේට හිමි වේ.අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨය ආරම්භයේදීම නිස්සරණාධ්‍යාශයෙන් එහි කථිකාචාර්ය ධුරයක් දරමින් වසර 25 ක් පුරා ගුණගරුක ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමට ක්‍රියා කළහ. කලක් අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස ක්‍රියා කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නොමැකෙන සේවාවක් සිදු කළහ. උන්වහන්සේ බුදුසසුනට හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට සිදු කළ විශිෂ්ට සේවය නිසාම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙතින් උත්තරීතර අනුනායක ධුරයකින් හා ‘ත්‍රිපිටක වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී සරණංකර’ යන ගෞරව නාමයකින්ද පිදුම් ලැබූහ.

1960 වර්ෂයේදී කබලෑවේ පියභාරති හිමිපාණන් වහන්සේ කුලියාපිටිය රෝහලේ අභිවෘද්ධිය සඳහා දායක වීමට මුලපිරූහ. සතියකට වරක් රෝහලේ පිරිත්දේශනා කිරීම, බෞද්ධ සංගමයක් රෝහලේ ආරම්භ කිරීම හා රෝහලේ නව බුදුමැදුරක් සාදවා නිම කිරීම ද පියභාරති හිමියන් අතින් සිදු වූ සුවිශේෂි සද්කාර්යයන් කිහිපයකි. කුලියාපිටිය තරුණ බෞද්ධ සංගමය, සිරි සුභාරතී සුව සංවිධානය සුභාරතී නාගරික යෞවන සමාජය, සුභාරති සහන සේවා පදනම, සී.ඒ. රත්නායක අනුස්මරණ සුව සෙවණ වැඩිහිටි නිවාසය,ගයියාල වැඩිහිටි (කාන්තා) නිවාසය සහ සුභාරති අවමංග්‍යාධාර සමිතිය ආදි සමාජ සේවා සංවිධාන රැසක් ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැඟීමට පියභාරති අනුනායක හිමිපාණෝ කටයුතු කළහ.

1993 වර්ෂයේ උඳුවප් පොහොය නිමිති කරගෙන ‘සංඝමිත්තා පෙරහර’ නමින් පෙරහරක් ආරම්භ කිරීමට උන්වහන්සේ පුරෝගාමී වූ අතර ඊළඟ වසරේදි එය’ දුරුතු පෙරහර ‘ ලෙස නම් කරන ලදී. දුරුතු පෙරහර ඇස්සැද්දුම විහාරස්ථානයේ ප්‍රබල සංධිස්ථානයකි. සත්කෝරලයේ ප්‍රධාන සංස්කෘතික පෙරහරද මෙයයි.

පැවිදි ශිෂ්‍යයන් විශාල පිරිසක් හදා වඩා සසුන ඔපවත් කරන්නටද පියභාරති හිමිපාණෝ ඉමහත් වෙහෙසක් දැරූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ධුරයක් හොබවමින් ඉළුක්හේන සිරි විජය සුන්දර පිරිවෙන් විහාරාධිපතිව ජාතික හා ආගමික සේවා රැසක් ඉටුකරන ත්‍රිපිටකවේදී බුරුසේගොඩ විජිතනන්ද හිමියන් වූ කලී සුභාරති හිමිපාණන්ගේත් පියභාරති හිමිපාණන්ගේත් පා සෙවනෙහි සසුන් මඟ විවර කරගත් හිමි නමකි. වර්තමාන ශාසනාලංකාර විහාර පරම්පරාවේ ජ්‍යෙෂ්ඨතම ස්වාමින් වහන්සේ ලෙස අමිල ශාසනික මෙහෙවරක් සිදුකරන උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම සිරි විජය සුන්දර පිරිවෙන වර්තමානයේ සත්කෝරලයේ දීප්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත්ව ඇත.

කබලෑවේ පියභාරති අනුනායක හිමිපාණන්ගේ ශිෂ්‍යවරයකු වූ ත්‍රිපිටකවේදී හුරීකඩුවේ මුදිත සිරි ස්වාමීන් වහන්සේ වත්මන් ඉළුක්හේන විජය සුන්දර පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් සේවය කරයි. එසේම කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි ධර්මාශෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති වශයෙන් සුවිශේෂී ආගමික සේවාවක් ද අග්‍රගණ්‍ය දහම් අධ්‍යාපන සේවාවක් ද පවත්වාගෙන යනු ලැබේ.

1999 වර්ෂයේ මහාචාර්ය කබලෑවේ පියභාරති අනුනායක හිමියන් අපවත්වීමෙන් පසු ශාසනාලංකාරයේ භාරකාරත්වයට පත්වන්නේ ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්වාමීන් වහන්සේය. කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමියන් හා කබලෑවේ පියභාරති අනුනායක හිමිපාණන් ආරම්භ කළ ජාතික, ආගමික හා සාමාජීය සේවා වඩාත් පුළුල් කරමින් ශාසනාලංකාර නාමය සත්කෝරලයට පමණක් නොව සමස්ත ලංකාවටම ව්‍යාප්ත වන අයුරින් උන්වහන්සේ ක්‍රියා කිරීම ශාසනස්ථිකාමි ගිහි, පැවිදි සියලු දෙනාගේ සතුටට හේතු වී ඇත.

විශේෂයෙන්ම කුලියාපිටිය ‘දුරුතු පෙරහර’ වර්තමානයේ සත්කෝරලයේ ප්‍රධානතම සංස්කෘතික කලා මංගල්‍යය බවට පත්ව ඇත්තේ පල්ලේකාගම මාහිමියන්ගේ කාර්යශූරත්වයේ ප්‍රතිඵලයක් නිසාවෙන් බව කිව යුතුය. විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, නව විහාර අංග එකතු කරමින් ශාසනාලංකාරය ප්‍රසාදජනක විහාරස්ථානයක් බවට පත් කිරීම, සියලු සමිති සමාගම් පුනර්ජීවනය කොට යාවත්කාලීන කිරීම, තරුණ බෞද්ධ සංගමයේ අනුශාසකත්වය හා උපදේශකත්වය ඔස්සේ නව ආරක සුබසිද්ධිදායක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම උන්වහන්සේගේ සේවා අතර වේ. එසේම රාජ්‍ය ආයතන, විවිධ සමිති සමාගම් ආදිය සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් පුද්ගලයන්ගේ දක්‍ෂතා නිසි මඟෙහි යොමුකර ගැනීම ශාසනාලංකාරයෙහි මෙහෙවර අනාගත පරපුරට ලබා දීමට විශාල පිටිවහලක් වී ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ශාසනික මෙහෙවරේ නොමැකෙන සලකුණු තැබූ ශාසනාලංකාර භික්‍ෂූ පරපුරෙහි ගරුත්වය තව දුරටත් තීව්‍ර කරමින් රතනභාරතී මාහිමිපාණන් සිදු කරන ලෝක ශාසනික සේවයෙහි අගය වටහාගත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පාලක සංඝ සභාව මගින් උන්වහන්සේට ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි තනතුර ද පිරිනමා ඇත.

‘භාරතී සමාජ සංවර්ධන පදනම’ ආරම්භ කිරීම වනාහි ශාසනාලංකාරයෙහි ආගමික හා සාමාජීය සේවාව වඩාත් ඵලදායිව හා කාර්යක්ෂම පොදුජනතාව වෙත සම්පේ‍්‍රෂණය කරනු වස් වත්මන් විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ගනු ලැබූ තවත් කාලෝචිත පියවරකි. සිය පැවිදි උපසපන් දිනය සමරමින් වසරක් පාසා මහත් ධනයක් වියදම් කොට අසරණ දරුවන්ට පොත් පත් , නිල ඇඳුම් හා පාසල් උපකරණ බෙදා දීමට පරෝපකාරිව පිරිසක් පෙළගැස්වීම ද එම සද්කාර්යයෙහි අගය මූර්තිමත් කරන්නකි. කට්ටමුරිච්චානේ සිරි සුභාරති හිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනාලංකාරය අද වන විට රටට දැයට ඉමහත් සේවාවක් සිදු කරමින් සත්කෝරලයට ආලෝකයක්, අලංකාරයක් වී ඇත.


සුබාශිර්වාදය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරාසන්නයේ පිහිටා ඇති ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ කා අතරත් ගෞරවයට පාත්‍ර වූ, සැමට මානසික සුවය ලබාදෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් වශයෙන් හැඳින්විය හැකි ය. ප්‍රදේශයේ ජනතාව අතර ආගමික සහජීවනය ඇතිවන ආකාරයට ආමිස, ප්‍රතිපත්ති පින්කම් සිදුකරන අතර වර්ෂ දහ අටක පමණ කාලයක සිට සත්කෝරලයටම ආලෝකයක් වන අයුරෙන් සුවිශේෂී සංස්කෘතික මහ පෙරහරක් ද මේ විහාරස්ථානයේ මූලිකත්වයෙන් පැවැත්වේ.

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය කබලෑවේ පියභාරති නාහිමිපාණන් වහන්සේ විසින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මෙම පෙරහර, වත්මන් විහාරාධිපති ශශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමිපාණන් වහන්සේ විසින් දිවයිනේ පිළිගත් මහ පෙරහරක් බවට පත්කරනු ලැබ ඇත.

එය අපගේ මහත් සතුටට හේතුවන්නකි. ආගමික ප්‍රබෝධයක් ඇතිවන අයුරෙන් ද අපගේ ඉපැරැණි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා වන ආකාරයෙන් ද පෙරහර සංවිධානය කිරීම විශේෂයෙන් අගය කළ යුතු වේ.

ප්‍රදේශයටත් මුළු මහත් බෞද්ධ ජනතාවටත් ප්‍රසාදයක් ජනිත වන අයුරෙන් කුලියාපිටිය පෙරහර සංවිධානය කිරීමට අනුශාසනා කරන විහාරාධිපති රතනභාරති ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ සඳහා අත හිත දෙන ප්‍රදේශවාසී මහා සංඝරත්නයටත් සිය ශ්‍රමය, ධනය හා කාලය කැප කරමින් ඒ සඳහා උනන්දුවෙන පෙරහර කමිටුවේ සාමාජික පින්වතුන් ප්‍රධාන ආධාර උපකාර කරන සැමටත් තෙරුවන් සතු අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවායි ආශීර්වාද කරමි. මෙම මහා සංස්කෘතික පෙරහර වර්ෂයෙන් වර්ෂය තව තවත් උසස් තත්ත්වයටම පත්වේවායි ප්‍රාර්ථනා කරමි.


වයඹ සත්කෝරළයේ සංස්කෘතික මහා කලා මංගල්‍යය

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ දුරුතු පෙරහර කමිටුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන වයඹ සත්කෝරළයේ මහා කලා මංගල්‍යය වූ ‘කුලියාපිටිය දුරුතු මහ පෙරහර’ 18 වැනි වරටත් 2013 ජනවාරි මස 18 වැනි දා සිකුරාදා (අද) අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ශත වර්ෂයකට ආසන්න ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානයේ ප්‍රථම විහාරාධිපති ධූරය හොබවන ලද්දේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරිසුභාරතී හිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේගෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරති හිමියෝ මෙහි විහාරාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේගේ අනුශාසනා පරිදි ඉතා කුඩා පෙරහරක් ලෙස මෙම දුරුතු මහා පෙරහර ආරම්භ විය. උන්වහන්සේගෙන් පසු අපගේ අනුශාසනා පරිදි පවත්වන 14 වැනි පෙරහර මෙයයි. අද වන විට මෙම පෙරහර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1658 දරන ගැසට් පත්‍රයේ වන්දනා ගමන් ආඥා පනත යටතේ ලියාපදිංචිය ලැබූ, වයඹ පළාතේ ප්‍රමුඛතම පෙරහර බවට පත් වී තිබේ. ඒ සඳහා ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා, ප්‍රදේශයේ දේශපාලන තනතුරු හොබවන පින්වතුන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, වෙළෙඳ ආයතන ඇතුළු විවිධ සංවිධාන හා ප්‍රදේශවාසී දානපතීන් නිරතුරුව ලබාදෙන අනුග්‍රහය පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි.

මෙවර පෙරහර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක මකුලෑවේ විමල නාහිමිපාණන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ද වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසගේ ද සහභාගිත්වයෙන් ඇරැඹෙනු ඇත. ආගමික වතාවත් සිදු කොට ශ්‍රී දළදා මාලිගාවේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කොට උඩරට, පහතරට, සබරගමු විවිධ සංස්කෘතිකාංග ඇතුළත් පෙරහර ඇස්සැද්දුම මහා විහාරයෙන් ආරම්භ වී වීදි සංචාරය කර විහාරස්ථානයටම ගෙවැදීමට නියමිතය. මෙම සංස්කෘතික කලා මංගල්‍යය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ද සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ද සාර්ථක වේවායි ආශිර්වාදාත්මකව ප්‍රාර්ථනය කරමි.


කුලියාපිටිය දුරුතු මහා පෙරහර වරුණ

වයඹ සත්කෝරළයේ කුලියාපිටිය නගරයට සමීපව පිහිටි ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය දුටුවන් මන බඳින්, සිත නිවන රමණීය පින් බිමකි. විහාරස්ථානය ඇසුරු කරගෙන 1993 වර්ෂයේ දී ‘සංඝමිත්තා පෙරහර’ නමින් මුලින්ම මෙබඳු පෙරහරක් ආරම්භ කිරීමට පූරෝගාමි වූයේ එවකට විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමියන්ය. ඉන්පසු වර්ෂවලදි පවත්වාගෙන යෑමේ පහසුව සඳහා දුරුතු මාසයේ ‘කුලියාපිටිය දුරුතු මහ පෙරහර’ නමින් පෙරහර සංවිධානය කිරීමට කටයුතු යෙදින.

කුඩා පෙරහරක් ලෙස ආරම්භය ලැබුව ද ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබාදෙන සහයෝගය හා ප්‍රදේශයේ රාජ්‍යායතන, ව්‍යාපාරික හා මූල්‍යායතන, ලබාදෙන ඉහළ සහයෝගය නිසා මෙම පෙරහර කෙටි කාල වකවානුවක් තුළ මහ පෙරහරක් ලෙස සංවිධානය කිරීමට හැකි විය.

ඒ අනුව 18 වැනි වරටත් අද දින රාත්‍රී පැවැත්වීමට නියමිත මෙවර පෙරහර සඳහා මහනුවර ශ්‍රී දළදා පෙරහරේ ශ්‍රී සර්වඥ ධාතු කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා හා එම දෑලේ ඇතුන් ද ඇතුළුව අලි ඇතුන් 15 දෙනකු සහභාගි වන අතර උඩරට, පහතරට, සබරගමු නර්තන අංග සහිත සංස්කෘතික අංග 40 ක් පමණද ඇතුළත් ය.මෙවන් පෙරහරක් වාර්ෂිකව සංවිධානය කිරීම සඳහා විශිෂ්ට සහයෝගයක් හා මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙන්නා වූ ප්‍රදේශයේ ජනතාවටත්, ව්‍යාපාරික හා මූල්‍ය ආයතනවලටත්, කෘතඥතාව පිරිනමමු. පෙරහර නැරැඹීම සඳහා බෞද්ධ, අබෞද්ධ සියලු ජනතාවට ආරාධනය කරමු.

මේසා පුළුල් කර්තව්‍යයක් මැනැවින් සංවිධානය කිරීමෙහි ලා පෙරහර ප්‍රධාන අනුශාසක විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේ දරන කැපවීමත් උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත් අතිශයින් අගය කරමු. ඒ සඳහා දායකත්වය ලබාදෙන විහාරවාසී අධ්‍යාපනවේදී මානන්කට්ටියේ සෝරත හිමිපාණන් ඇතුළු විහාරවාසී සියලු හිමිවරුන්ටත් දිවා රැය නොබලා වෙහෙසී පෙරහර සංවිධානයෙහි ලා කටයුතු කරන පෙරහර සංවිධායක කමිටුවටත් විහාරස්ථ දායක සභාව, අනුලා කුලඟන සමිතිය, ශ්‍රී දීපාලංකාර දහම් පාසල, භාරතී ප්‍රජා සංවර්ධන පදනම ඇතුළු විහාරස්ථ සියලු සංවිධානවලටත්, පෙරහරට දායක වන සැම දෙනාටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරන්නෙමු.