UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය සත්‍යය සිහි කරමු-01

ආර්ය සත්‍යය සිහි කරමු-01

බුදු සසුනේ සනාතන රැකවරණය ලබමු

මේ සසුන මුණගැසුන අප, භාග්‍යවතුන් වහන්සේගේ ඉලක්කය හොඳින් හඳුනා ගත යුතු යි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සසුන පිහිටුවා වදාළේ ආර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස ම යි. ඒ සසුනින් අප පිහිට පිළිසරණ ලබනවා නම් අප විසින් කළ යුත්තේත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වෑයම් කිරීමයි.

බුදු සසුනක් පවතින යුගයක ඉපදෙන්ට ලැබීමත්, ඒ වගේම ඒ ශාසනය තුළ පිළිවෙත් පුරන්ට ලැබීමත්, අප මේ ජීවිතයේ දී ලද පරම දුර්ලභ වූ ලාභයන් වෙනවා. මේ ලද ලාභයන් අහිමි වෙන්ට නොදී ඒ තුළින් සනාතන රැකවරණය ස්ථිර වශයෙන් ලබාගන්ට අපි කවුරුත් කල්පනා කළ යුතු වෙමු. බුදුවරු ලෝකයට පහළ වන්නේ ඉතා ම කලාතුරකින් බව අප ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා අතිශයින් ම දුර්ලභ වූ ලාභයන් අපට ලැබිල තිබෙන යුගයේ අන් සියලු ම කටයුතු වලට වඩා ප්‍රමුඛත්වය දෙමින් මේ ශාසනය තුළ පිළිසරණ ලබන්ට අපි කල්පනා කළ යුතු වෙමු. මේ ලැබුණ ලාභය අත්හැරෙන්නට නොදී මේ සසුනින් පිහිට පිළිසරණ ලබාගන්ට අප දක්‍ෂ වුණොත් එය සැබෑ ම වාසනාවක්.

චතුරාර්ය සත්‍යය ධර්මය ගුරු උපදේශ රහිතව පරිපූර්ණයෙන්ම අවබෝධ කිරීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ අතීතයේ යම් බුදුවරු පහළ වුණා නම්, ඒ සෑම බුදුවරයෙක් ම පහළ වුණේ චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණයෙන්ම අවබෝධ කිරීමෙනුයි. ඒ වගේ ම වර්තමානයේ යම් බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා සිටිනවා නම් ඒ පහළ වුණෙත් චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණයෙන්ම අවබෝධ කිරීමෙනුයි. අනාගතයේ යම් බුදුවරු පහළ වෙනවා නම් ඒ සියලු බුදුවරු පහළ වන්නේත් චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණයෙන්ම අවබෝධ කිරීමෙන් මයි. එතකොට බලන්න සැම කල්හී ම බුදුවරු ලෝකයට පහළ වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමෙන් මයි. වෙනත් දේකින් නොවෙයි.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ‘අතීතයේ දී යම් කුලපුත්‍රයෙක් මනාකොට බුද්ධ ශාසනයක් තුළට පැමිණුනා නම් ඒ සියලු දෙනා ම පැමිණුනේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිසයි. වර්තමානයේ දී යම් කුලපුත්‍රයෙක් මේ ශාසනයට මනාකොට ඇතුළු වෙනවා නම් ඒත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි. අනාගතයේ දී යම් කුලපුත්‍රයෙක් බුදුසසුනට මනාකොට ඇතුළු වෙනවා නම් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි කියල. එවිට බලන්න සෑම කල්හීම යම් කෙනෙක් බුදුසසුනට මනාකොට ඇතුළු වෙනවා නම් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස ම යි.

අපට වැටහෙන දෙයක් තමයි බුදුවරු ලෝකයට පහළ වන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ගුරු උපදේශ රහිතව පරිපූර්ණයෙන්ම අවබෝධ කිරීමෙන්. ඒ බුදුවරුන් විසින් පිහිටුවන ලද ශාසනයට යම් කෙනෙක් ඇතුළු වෙනවා නම් ඒ ඇතුළු වෙන්නේත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස මයි. බුදු කෙනෙකුගේ ශාසනයක් පිහිටුවන්නේත්, ඒ ශාසනය පවතින්නේත් එක ම එක ඉලක්කයක් උදෙසා. කුමක්ද ඒ ඉලක්කය? චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම ම යි.

චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමකින් තොරව බුදු සසුනක් ලෝකයට බිහිවන්නේ නෑ. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමකින් තොරව බුද්ධ ශාසනය ලෝකයේ පවතින්නේත් නැහැ. එහෙම නම් අප ඒ බුද්ධ ශාසනයේ සැබෑ ම අරමුණ, සැබෑ ම ඉලක්කය හොඳින් තෝරා බේරා ගත යුතුයි. මේ ඉලක්කය අප තෝරා බේරා නො ගත්තොත් මේ ශාසනය, මේ ලෝකයේ දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස චිරාත් කාලයක් සුරකින්ට නො හැකි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් යහපත පිණිස, සැප පිණිස, නිවන පිණිස යි සම්බුදු සසුන පිහිටුවා වදාළේ. ඉතා දීර්ඝ කාලයක් පාරමී ධර්මයන් පුරාගෙන ඒ සම්බුද්ධත්වය උපදවා ගත්තේත් දෙවියන් මිනිසුන්ගේ යහපත පිණිසයි. සැපත පිණිසයි. නිවන පිණිසයි. ලෝ සතුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් පෙරුම් පුරාගෙන ඒ උතුම් සම්බෝධිය අවබෝධ කළේ. මේ සසුන පිහිටුවා වදාළේත් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස මහා කරුණාවෙන්ම යි. මේ සා දිර්ඝ කාලයක් මේ සසුන සුරැකුණේ ඒ මහා කරුණාව නිසාම යි. ඒ නිසා මේ සසුන මුණගැසුන අප, භාග්‍යවතුන් වහන්සේගේ ඉලක්කය හොඳින් හඳුනා ගත යුතු යි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සසුන පිහිටුවා වදාළේ ආර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස ම යි.

ඒ සසුනින් අප පිහිට පිළිසරණ ලබනවා නම් අප විසින් කළ යුත්තේත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වෑයම් කිරීමයි.

ඒ වගේම යමෙක් දෙවියන් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරනවා නම් එයා මේ ශාසනය සුරකින්නට කල්පනා කළ යුතුයි. මේ ශාසනය බොහෝ කල් ආරක්‍ෂා කරන්ට කල්පනා කළ යුතුයි. එසේ මේ ශාසනය ආරක්‍ෂා කරන්ට යමෙක් කල්පනා කරනවා නම් ඔහු විසින් කළ යුත්තේ එක ම එක දෙයයි. ඒ තමයි මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්ට කටයුතු කිරීමයි, වෑයම් කිරීමයි, ඒ සඳහා තියුණු කැමැත්තක් උපදවගෙන වාසය කිරීමයි.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]