Print this Article


සිසු දිවිය අර්ථවත් කරගැනීමට කරණීය මෙත්ත සූත්‍රය

සිසු දිවිය අර්ථවත් කරගැනීමට කරණීය මෙත්ත සූත්‍රය

ශිෂ්‍ය ජීවිතයේ දී ලදදෙයින් සතුටට පත්වීමට පුරුදු පුහුණු විය යුතුය. එය කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත්තේ ‘සන්තුස්සකෝ’ යන පදයෙනි. ශිෂ්‍යයා තමාට ලැබෙන දෙයින් සෑහීමට පත්ව කටයුතු කළ යුතුය. එසේ නැතිව අසීමාන්තිකව ආශා පොදි බැඳගෙන සරල බවින් බහැරවීමට කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය.

දරුවෙනි, ඔබ සියලු දෙනාම භාවනා කරනවා යන්න අසා ඇති. භාවනා ක්‍රම දන්නවා ඇති. භාවනා වඩන ආකාරය හා ඊට සූදානම් වන ආකාරයත් ඉගෙන ගෙන ඇති. ඔබ වැඩිපුරම වඩන භාවනාව කුමක්දැයි යමකු විමසූ විට ඒ මෛත්‍රී භාවනාව යැයි ප්‍රකාශ කරන්නට වැඩි දෙනෙකු මැලිවන්නේද නැත. එම භාවනාව පිළිබඳ ඉගැන්වීම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් බව ඔබ ප්‍රකාශ කරනු ඇත. එම සූත්‍රයේ ඉගැන්වෙන කරුණු ද පිළිවෙළ නොඉක්මවා කියන්නට හැකියාව වර්ධනය කරගෙන ඇතුවාටද සැක නැත.

එහෙත් මේ ඉගැන්වීම ඔබේ ශිෂ්‍ය ජීවිතයේ දී මෙන් ම ඉන් මතු සමාජ ජීවිතයේ දීත් කෙසේ නම් භාවිත කළ හැකිද? එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මෙවැනි කරුණු ගැන මොහොතකට සිතුවා ද?

එසේ නම් අපි මේ ගැන විමසා බලමු. භාවනා කරනු පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේ පිරිසක්, වනයේ වෘක්ෂවලට අරක්ගත් වෘක්ෂදේවතාදී වූ අමනුෂ්‍ය පිරිසකගේ බලපෑම් හමුවේ භීතියට පත්ව, භාවනා කර්මස්ථාන වඩනු නොහැකි ව නැවත ගමට පැමිණ බුදුරජාණන් වහන්සේට කරුණු සැළ කළහ. එම අවස්ථාව පාදක කොට ගෙන බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රය දේශනා කොට වදාළ සේක.

මෛත්‍රි වඩන්නා කෙරෙහි සැමගේ සිත් පැහැදේ. ඒ සඳහා ඔහුගේ ඉරියව් පැවැත්වීමේ ස්වභාවත් හේතුවන බව මෙම සූත්‍රයෙන් දේශිත ය. එපමණක් නොව භාවනාව වඩන්නා තුළ පැවැතිය යුතු ගුණාංග පසළොසක් සූත්‍රාරම්භයේ දී ම දේශනා කොට ඇත. මෙම කරුණු පැවිදි දිවියේ උත්තරීතර තත්ත්වයට ළඟාවීම සඳහා දේශිත වුවද ශිෂ්‍ය ජීවිතය සාර්ථක කරගැනීමටත් එමඟින් පසුකාලීන සමාජ ජීවිතය වඩාත් ගෞරවනීය කරගැනීමටත් උපකාර කරගත හැකිය. ඒ ආකාරයෙන් අප වර්ධනය කරගත යුතු, ජීවිතයට චරිතායනය කරගත යුතු කරුණු මොනවාද යන්න විමසා බැලීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

සූත්‍රාගත කරුණු පසළොසෙන් පළමුවැන්න ‘සක්කෝ’ ගුණයයි. එහි අර්ථය යම් ක්‍රියාවක් සිදු කිරීමේදී ශක්තිවන්ත වීමේ, ශක්‍යතාවෙන් යුක්ත වීමේ ලක්ෂණයයි. යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේ ශක්තිය ආරම්භක වීර්යයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා සිය අරමුණ ජය ගැනීම සඳහා කැපවිය යුතුය. ඒ සඳහා ආරම්භක ශක්තිය ඇති කරගත යුතුය. උත්සාහවත්වීමද මේ සමඟ බැඳී පවතී. තම අරමුණ විභාගය ජය ගැනීම නම් ඒ සඳහා පූර්ව සූදානම, ආරම්භක ශක්තිය ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි. එපමණක් නොව කිසියම් ගැටලුවක දී එයට මුහුණදීම පිළිබඳ ඇති ශක්තිය එම ගැටලුව විසඳා ගැනීමට මහෝපකාරි වේ. ඔබට මෙම ලක්ෂණය ඇත්නම් ‘සක්කෝ’ ගුණය ඇතැයි සතුටු විය හැකිය.

ශිෂ්‍ය ජීවිතයේ දී අවංකවීම අත්‍යවශ්‍යය. වචනයේ දෝෂ සතරෙන් වෙන්ව සත්‍ය ම කතා කරන, තමා කළ දේ නොබියව ප්‍රකාශ කරන්නට හැකි අයකු විය යුතුය.ඒ අවංකභාවයයි. සිතුවිලි කපටි නොවිය යුතුය. එවැනි ශිෂ්‍යයාට ගුරු දෙගුරු ප්‍රසාදය නිතැතින්ම හිමිවනු ඇත. මෙම අවංකභාවය කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන්නේ ‘උජු’ යනුවෙනි. ‘උජු’ පමණක් නොව ‘සූජූ’ ද වන්නට ශිෂ්‍යයා සිතට ගත යුතුය. එනම් සුවිශේෂීව අවංක විය යුතුය. එනම් පරමාදර්ශී අවංකභාවයට ළංවීමකි. මෙහි දී ක්‍රියාවෙන් පමණක් නොව චිත්ත පාරිශුද්ධියෙන් ද යුක්තවීම අපේක්ෂිතයි. එය ශිෂ්‍ය සිත නිරවුල්වීමට හේතුවේ.

‘සුවචෝ’ ගුණය ශිෂ්‍ය ජීවිතයට අවශ්‍යම දෙයකි. කීකරු බව ශිෂ්‍ය ජීවිතයේ ප්‍රකට විය යුතුය. යමෙක් කරුණු පැහැදිලි කරන විට, ශිෂ්‍යයා එය දරාගන්නට කටයුතු කරන්නේ ඔහු තුළ ඇති සුවච ගුණය හේතුවෙනි. ශිෂ්‍යයා ගුරු ඇසුරේදී පහසුවෙන් කරුණු ග්‍රහණය කරගැනීමේ ගුණයෙන් යුක්ත විය යුතුය.ඒ සඳහා සුවච ගුණය ඉතා වැදගත් වේ. ‘මුදු’ බව ද ශිෂ්‍ය ජීවිතයක ප්‍රදර්ශනය විය යුතු අවශ්‍ය ම සාධකයෙකි. මෙම මොළොක් ගතිය කරුණු අවබෝධ කර ගැනීමටත්, සමාජයේ සෙසු අයට ප්‍රියශීලි වීමටත් අවශ්‍යම ගතිගුණයකි. එසේම ළමයා ළමයකු මිස වැඩිහිටියකු නොවන බව සිහි තබාගත යුතුය.

’අනතිමානි’ ගුණය ශිෂ්‍ය ජීවිතයේ දී ප්‍රදර්ශනය වීම ඉතා වැදගත් වේ. අනතිමානි නම් ආඩම්බර බවින් මිදුණ, නැතහොත් ආඩම්බරකම බැහැර කළ බවයි. සිසු දරුවන් වූ ඔබ විවිධ අවස්ථාවලදී වත්පොහොසත්කම් ,දැනුම් ප්‍රමාණය සහ රූපශෝභාව වැනි කරුණු නිසා ආඩම්බර වනවා විය හැකිය. එය එතරම් සුදුසු තත්ත්වයක් නොවන බව සිහි තබා ගන්නේ නම් ජීවිතය ජයගන්නට එයම ප්‍රමාණවත් වනු ඇත. මෙහිදී විශේෂයෙන් ම සිහි තබා ගත යුත්තක් ද ඇත. එනම් බොහෝ විට ‘අනතිමානී’ යන වචනය වෙනුවට ‘නිහතමානි’ යන පදය ආදේශකොට අර්ථ දැක්වීමයි. නිහතමානී බව යනුවෙන් දැක්වෙන්නේ බුදු, පසේ බුදු, මහරහත් උතුමන් විෂයෙහි පවතින ශ්‍රේෂ්ඨ ගුණාංගයක් මිස පෘතග්ජන අප වෙත පවතින්නක් නොවේ. එබැවින් අප ‘ආඩම්බර බවෙන් තොර වූ’ යන අර්ථයෙන් පෙන්වාදෙන අනතිමානී ගුණය වඩවා ගැනීමට දැන් දැන්ම උත්සුක විය යුතුය.

ශිෂ්‍ය ජීවිතයේ දී ලදදෙයින් සතුටට පත්වීමට පුරුදු පුහුණු විය යුතුය.එය කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත්තේ ‘සන්තුස්සකෝ’ යන පදයෙනි. ශිෂ්‍යයා තමාට ලැබෙන දෙයින් සෑහීමට පත්ව කටයුතු කළයුතුය. එසේ නැතිව අසීමාන්තිකව ආශා පොදි බැඳගෙන සරල බවින් බැහැරවීමට කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකිය. මෙම සන්තුස්සකෝ ලක්ෂණය වර්ධනය වූවන් තුළ සුභර ගුණයද වර්ධනය වේ. ‘සුභරෝ’ නම් ලෙහෙසියෙන් පෝෂණය කළ හැකි බවයි. ලද දෙයින් සතුටුව පහසු පෝෂණයක් ඇත්තා කොතරම් සැහැල්ලු කෙනෙකු දැයි සිතාගත හැකිය. කය, සිත සැමවිට සැහැල්ලුව පැවැතීම ජීවිතය ජය ගන්නට මහඟු පිටුබලයක් බව අමතක නොකළ යුතුය.

ශිෂ්‍යයා කටයුතු භාර ගැනීමේ දී ඒවා තමාට ප්‍රමාණවත්, තමාට සරිලන, තමාට ඉටුකළහැකි ප්‍රමාණයේ ඒවා විය යුතුය. වැඩ කටයුතු බහුල වුවහොත් එය මානසික ඒකාග්‍රතාවයටද බාධාවක් වේ. එබැවින් කටයුතු බහුල අයකු වීම ශිෂ්‍ය ජීවිතයට ගැළැපෙන්නක් නොවේ. කටයුතු බහුල නොවීම කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ ‘අප්පකිච්ච’ යනුවෙනි. කාර්ය බහුලත්වයෙන් තොර වන විට සරල දිවියක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය වනු ඇත. එම අවස්ථාව ‘සල්ලහුක වුත්ති’ වශයෙන් දැක්වේ. සරල ගති පැවැතුම් අන්‍යයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට බෙහෙවින් උපකාරවත් වේ. එය සිසු දිවියේ වටිනාකම ඉහළ නැංවීමට උපකාරවත් වනු ඇත. අධ්‍යාපනයට යොමු වූ ශිෂ්‍යයා තුළ සන්සුන් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක විය යුතුය.ඇස, කන, නාසය ,දිව, ශරීරය සංවර කර ගන්නට කටයුතු කළ යුතුය. එවිට මනැස නිරවුල් කරගත හැකිවේ. මනැස නිරවුල් නොවේ නම් උගන්නා දෑ ග්‍රහණය කර ගැනීම අපහසු වේ. එබැවින් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන ‘සන්තින්ද්‍රියෝ’ යන්න ශිෂ්‍ය ජීවිතයට නැතිවම බැරි වූවක් බව වටහා ගත යුතුය.

බුද්ධිමත්ව, සිතා විමසා කටයුතු කරන්නට යොමු වන හැකියාව වර්ධනය කර ගැනීම ශිෂ්‍ය ජිවිතයට ඉතාමත් වටී. එසේ නොමැතිව අරමුණු ඇතිවන වාරයක් පාසා චංචල වුවහොත් තමාට යමක් නිවැරැදිව ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව මඟහැරී යයි. එබැවින් සූත්‍රාගත ඉගැන්වීම වන ‘නිපකෝ’ ගුණය ශිෂ්‍යයා ඇතිකර ගැනීම සුදුසු වේ.

ළමා සිත මොළොක් ය. දරුවකු සිතන්නේ දළ දඬු අයුරින් නොවේ. මේරූ වැඩිහිටියකු සිතන, කියන, කරන ආකාරයට වඩා මෘදු බවක් ශිෂ්‍යයා තුළ තිබීම අවශ්‍යයි. එය අන්‍යයන්ගේ ළබැඳියාවට හේතු වේ.ගොරෝසු ගති පැවැතුම් අන්‍යයන්ගේ අප්‍රසාදයට හේතුවන අතර සමාජයේ කොන්වීමටද ඉවහල් වනු ඇත. ‘අප්පගබ්බෝ’ ගුණය ඇති කල්හි ගොරෝසු ගති විද්‍යමාන නොවේ.

ශිෂ්‍යයා ඒ ඒ කණ්ඩායම්වල නොඇලිය යුතුය. එසේ ඇලීමෙන් ඔහු පක්ෂග්‍රාහී තත්ත්වට පත්විය හැකිය. පක්ෂග්‍රාහීවීම නිසා දැනුම ව්‍යාප්තවීමක් ද නොවේ. පටු දැනුමක රැඳෙන්නට සිදුවනු ඇත. එසේම කාරණා පවතින ආකාරයෙන්, එනම් යථා ස්වරූපයෙන් වටහා ගැනීමටද එය බාධාවකි. එබැවින් කරණීය මෙත්ත සූත්‍රයේ ඉගැන්වෙන ‘කුලේසු අනනුගිද්ධෝ’ යන පවුල් කෙරෙහි නොඇලීම යනුවෙන් විස්තර කර ඇති ගුණය, පක්ෂග්‍රාහී නොවී ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

ඉතාම වැදගත් කාරණයක් වන්නේ ‘නච ඛුද්දං සමාචරේ කිඤ්චියේන විඤ්ඤුපරේ උපවදෙය්‍යුං’ යන්නයි. එය සරල අර්ථයෙන් දැක්වුවහොත් නුවණැත්තන්ගේ ගර්හාවට ලක්වන කිසිම ආකාරයේ වරදක්, දෝෂයක් නොකරන බවට පත්වීමයි. යහපත් ගුණගරුක ශිෂ්‍යයකු අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය යුතු නැත.එසේ වීම වළක්වා ගැනීමට සිතට ගත යුතුය. තමන්ගේ තත්ත්වය ගැන සිතා, අන්‍යයන්ගේ ප්‍රතිචාරත් ගැන සිතා, තමාගේ් දැහැමි පසුබිම සලකා වැරැද්දෙන් මිදී නිවැරැදිව කටයුතු කරන්නට ශිෂ්‍යයා සිතට ගත යුතුය.

කරණීය මෙත්ත සූත්‍රයේ මෙම කරුණු පසළොස භික්ෂූ දිවියට,යෝගාවචර තත්ත්වයට ගැළැපෙන අයුරු දේශනා කර ඇතත් පොදු විමසීමේ දී පෙන්වා දිය හැක්කේ දැහැමි ගති පැවතුම්වලින් යුත්, මනා පෞරුෂයකින් යුක්ත ආදර්ශවත් ශිෂ්‍යයකු සකස් කරන්නට ද මෙම කරුණු පාදක කරගත හැකි බවය.

සිසු දරුවෙනි, ඔබත් සුපෞරුෂයකින් යුතු දරුවන් වන්නට දිරි වඩන්න. ඔබගේ ජයග්‍රහණය එතැනයි.