Print this Article


පූජාච පූජනියානං

පූජාච පූජනියානං

ඉහළ නාරගල විනයසිරි නා හිමි

ඉහළ නාරගල විනයසිරි නා හිමියන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ඉහළ නාරගල ග්‍රාමයේ ලියනගේ දොන් චාර්ලිස් අප්පුහාමි හා කළුබෝවිලගේ දෝන පොඩිනෝනා යන පින්වත් දෙමාපියන්ගේ තුන්වැනි දරුවා ලෙස ලියනගේ දොන් සිරිසේන නමින් උපත ලැබීය.

ගෝවින්න පිරිමි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘ රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට ධර්ම පූජාවක් ලෙසින් සිරිසේන නම් වූ කුඩා දරුවා සිය පියා විසින් පූජා කරන ලදී.

පැවිදි දිවියට අවශ්‍ය මූලික අධ්‍යාපනය උන්වහන්සේ සෙවනෙහි ඉගෙන 1953 ජනවාරි මස 05 වන දින තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන්පති නෑහින්නේ විජිතසිරි හිමියන්ගේ හා කෘත්‍යාධිකාරී ගැටමාන්නේ උදිත හිමියන්ගේ ශිෂ්‍යයෙක් ලෙසින් උතුම් වූ පැවිද්ද ලබා ගත්තේය.

ඉහළ නාරගල විනයසිරි ලෙසින් ශාසනික නාමය ලද උන්වහන්සේ තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා හොරණ ශ්‍රී පූර්වාරාමයට වැඩම කළහ. හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයෙන් හා පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබා 1962 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

හොරණ ශ්‍රී පූර්වාරාමාධිපති යටවර ශ්‍රී ජිනරංසි හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙසින් 1964 මැයි මස 28 වන දින උපසම්පදා වූහ. උපසම්පදාවෙන් පසු 1971 ජනවාරි මස සිට තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන්පති ධුරයෙහි වැඩ භාරගත් උන්වහන්සේ 1977 රජයේ පාසල් ගුරු සේවයට සම්බන්ධ වනතුරු ග්‍රන්ථාකර පිරිවෙනෙහි ස්වර්ණමය යුගය උදාකරලීමට ඇපකැපවී කටයුතු කරන ලදී.

අනුරාධපුර හුරුළු නිකවැව අනුර මහ විදුහල, තලාව මහ විදුහල වැනි ඉතා දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ගේ නැන පහණ දැල්වීමට කැපවීමෙනුත් අවංකවත් සේවය කළ උන්වහන්සේ 1996 ගුරු සේවයෙන් විශ්‍රාම ලැබීය.

එවකට කළුතර දිසා අමාත්‍යව සිටි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමාගේ මැදිහත්වීම මත ආරම්භ කරන ලද දික්හේන මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්‍රමයේ ඉඩම් කොටසක් විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා හොරණ ශ්‍රී පූර්වාරාමාධිපති යටවර ජිනරංසි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පූජා කරන ලදී. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ ඉහළ නාරගල විනය සිරි හිමියන් දික්හේන රබර් වත්තට පෙර අයත්ව තිබූ ලයින් කාමරයක නතර වී විහාරස්ථානය ආරම්භ කිරීමට බෝධි අංකුරයක් රෝපණය කිරීමෙන් මුල පුරන ලදී.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාමය නම් වූ එම විහාරස්ථානය කෙටි කාලයක් තුළ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේට හැකි වූහ. ප්‍රදේශයේ බොදු දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා දහම් පාසලක් ආරම්භ කර ඇත. දායක සභාව, කුළඟන සමිතිය, යොවුන් සංවිධාන, ළමා සමාජ පිහිටුවමින් ද ප්‍රදේශයේ විවිධ සමිති සංවිධානවලට අනුශාසකත්වය ලබාදෙමින්ද ආගමික, ජාතික හා සමාජීය කටයුතුවලදී, මහඟු සේවාවක් උන්වහන්සේ සිදු කරති.

හොරණ පූර්වාරාමාධිපති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශ්‍රී පූර්වාරාමය, ඕවිටියාගල ශ්‍රී ධර්මාරාමය හා දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාමය යන විහාරස්ථාන තුනෙහිම අධිපතිත්වය නිකාය කතිකාවතට අනුව උන්වහන්සේට හිමි වුණද සිය පැවිදි සහෝදර හිමිවරු දෙනමට ශ්‍රී පූර්වාරාමය හා ධර්මාරාමය පවරා දෙනු ලැබුවේ නිස්සරණාධ්‍යාශයෙනි. මෙවැනි උත්තුංග ගුණයන්ගෙන් පිරිපුන් ශාසනික ජීවිතයක් ගත කරන උන්වහන්සේට ගෞරවයක් ලෙසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර හොරණ පිළියන්දල ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධුරය පිරිනමන ලදී. පැවිදි වී හැට වසරක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ විශ්‍රාම වැටුප වියදම් කර තනන ලද බෝධිඝරය 2013 ජනවාරි 05 වන දින මහජනතාවට පවරන ලද්දේ තමන්ට අතහිත දුන් ගුරුවර දෙමාපියන්ට හා දායක කාරකාදීන්ට නිවන්සුව පතාය.


දෙණගම රතනපාල නා හිමි

හක්මන මීඇල්ල පනන්වෙල ගණේගොඩ පුරාණ රාජමහා විහාරාධිපති මාතර වැල්ලබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමිපාදයන් වහන්සේ 80 වෙනි වසරට පා තැබීම නිමිතිතොට උන්වහන්සේට දිගාසිරි පැතීමේ බෝධිපූජා මහා පින්කමක් සහ පිරිත් දේශනයක් 2012 ජනවාරි 7 වෙනි දින සිදු කෙරිණි.

දෙණගම මහකෝවේවත්තේ මුණසිංහ පුංචි මහත්මයා සහ ජුලම්පිටිය හාමිනේ යන දම්පතීන්ගේ පුත්‍රයෙකු ලෙස උපත ලබා දේවාලෙගම සහ දෙණගම මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. 1949 දී පනන්වෙල ගණේගොඩ පුරාණ විහාරාධිපති තෙරලම්පිටියේ චන්ද්‍රානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් දෙණගම රතනපාල නමින් පැවිදි විය. උසස් අධ්‍යාපනය සඳහා මාතර මහා මන්තින්ද පිරිවෙනට ඇතුලත් විය.දෙණගම රතනපාල පොඩි හාමුදුරුවෝ පන්ති පිළිවෙලින් පැවිදි ආකල්ප කුසලතා වර්ධනය කරමින් සිංහල පාලි සංස්කෘත ඉතිහාසය ඡන්දස් අලංකාර වැනි විෂයන් ඉතා දක්‍ෂ ලෙස ප්‍රගුණ කළහ.

1953 මැයි මස 29 දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදා වූහ.තම ආචාර්යන් වහන්සේගෙන් හිස්ව පුරප්පාඩු වූ පනන්වෙල ගණේගොඩ පුරාණ විහාරාධිපති ධුරයට පත් වූහ.

භික්‍ෂූන් වහන්සේගේ අභිවෘද්ධිය හා සංවර්ධනය සඳහා 1967 දී විද්‍යාරාජ පිරිවෙණ පිහිටවූහ. වර්තමානයට ගැලපෙන පරිදි සංඝාවාසය සකස් කළ අතර පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ලබා ගනිමින් අංග සම්පූර්ණ දාන ශාලාවක් සාදවන ලදී. ජපන් රටේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පනන්වෙල ඤාණාලංකාර නායක ස්වාමි පාදයන් වහන්සේගේ සහයෝගය ලබා ගනිමින් මහා ධර්ම ශාලාවක් සහ ළදරු පාසලක් සාදවා ඇත.

සද්ධාතිස්ස යුගය දක්වා ඈත අතීතයට දිවෙන ඉතිහාසයක් ඇති පුරාණ නටබුන් ආරක්‍ෂා කරමින් චෛත්‍ය රාජයන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම හා අවට පරිසරය අලංකාර කරමින් සාදවන ලද චෛත්‍ය ප්‍රාකාරය ඉතා දර්ශනීය ලෙස නිමවා ඇත.

චෛත්‍ය අභියස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කොට සම්බුදු මාලිගාව සකස් කොට ඇත. නටබුන් අතර හමු වූ ශෛලමය ශ්‍රී පාද පත්මයක් වන්දනා කිරීම සදහා දර්ශනීය ආවරණයක් සාදවාගෙන යනු ලැබේ. 1996 වර්ෂයේ දී අනුරාධපුර ශ්‍රී මහාබෝධි ශාඛාවක් වැඩමවා විහාරස්ථානයේ රෝපණය කොට විහාරස්ථානය අංග සම්පූර්ණ කරන ලදී. පසු කාලයේදී දඹදිව සිට වැඩමවන ලද ආනන්ද බෝධි රෝපණයක් ද සිදු කොට ඇත.

මී ඇල්ල බෝධිරාජාරාමය බූවැල්ල ගොඩ මහින්දාරාමය ආරම්භ කොට ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේට භාරකොට ඇත. වීරවිල අභිනවාරාමය බැදිගම විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කරවා පළාතේ සිදුවන ආගමික හා සමාජික කටයුතු වලට ශක්තියක් ලබා දී ඇත. ශ්‍රී රත්නපාල දහම් පාසල ආරම්භ කොට ඇත.දෙණගම රතනපාල නා හිමිපාණන් කලාවට මුල් තැනක් දෙමින් කලායතනයක් පිහිටුවා වාර්ෂික පෙරහර උත්සව සංවිධානයට පහසුකම් රාශියක් සලසා ඇත.රජයේ සහයෝගය ලබා ගනිමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කොට තරුණ තරුණියන්ට ජීවන මාර්ග සලසා දී ඇත.

පනන්වෙල දායක ගමේ මංමාවත් සෑදවීමේදි ජනතාව වෙනුවෙන් ඉඩකඩම් පරිත්‍යාග කොට ඇත. ශ්‍රමදාන මගින් ළිං පොකුණූ සාදවා දීම හා ජල ව්‍යාපෘතියක් ආරම්භ කොට මුළු ගමටම පානීය ජලය ලබාදීම උසස් සේවයක් මෙන්ම දිවා පින් වැඩෙන සත්ක්‍රියාවකි. ඉහත සදහන් ශාසනික ආගමික අධ්‍යාපනික හා සාමාජික වශයෙන් සිදුකරණ සේවයට උපහාර පිණිස 2004 දී සියම් මහ නිකායේ මහනුවර මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තර පලාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.


ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි

වලස්මුල්ල පල්ලෙකන්ද උඩහේනේදී උපත ලැබූ වෙල්හේනගේ රත්නසූරිය දරුවාගේ දෙමාපියන් වූයේ වෙල්හේනගේ ගුණදාස හා එම්. ඩී. ගිමාරහාමි යන දෙදෙනාය. 1953 ජනවාරි මස 07 වෙනිදා උපත ලැබීය. වලස්මුල්ල උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1968 මැයි 10 වන දින පද්දපිටියේ වජිරඥාන යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් රතනසාර නමින් පැවිදි බිමට පත්විය.

පැවිදි බිමට පත්වීමෙන් පසු ඕපනායක අභයරාජ පිරිවෙනෙන් හා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. 1972 ජූලි මස 20 වන දින වලස්මුල්ල ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. 1972 ජූලි මස 20 වන දින වලස්මුල්ල විජයසිරිපුර ශ්‍රී පුෂ්පාරාම බද්ධ සීමා මාලකයේදී අමරපුර ශ්‍රී වජිරවංශ මහා නිකායේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් උපසපන් බව ලබා ගත්හ.

උසස් අධ්‍යාපනය සඳහා 1974 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එම වර්ෂයේදීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට ( ලුමුම්බා ) ප්‍රවිශ්ටව උසස් අධ්‍යාපනය සඳහා නිරත වූහ. එහිදී පල්ලෙකන්ද හාමුදුරුවෝ ආචාර්ය උපාධිය හිමිකර ගත්හ.

රුසියාවේදී අධ්‍යාපනය ලැබූ කාලය තුළ ගුරු සිසු දෙපක්‍ෂයේම ප්‍රසාදය දිනාගත් පල්ලෙකන්දෙ රතනසාර හිමියෝ ඇලෙක්සැන්ඩර් සිරිගේවිවි පුෂ්කින් මහතා රුසියන් භාෂාව ඉගැන්වීම හා ප්‍රචාරය වෙනුවෙන් කැපවූවන් සඳහා පිහිටුවන ලද රුසියාවේ උසස්ම සම්මානය ලෙස සැලකෙන “ පුෂ්කින්” සම්මානයෙන් සම්මානිත වූහ. 1967 – 77 කාලය තුල ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවිය හෙබවූ අතර 1977 දී කියුබාවේ පැවැත් වූ තරුණ සම්මේලනයට ද සහභාගි වූහ. ගත වූ කාල පරාසය තුළ රුසියාවේ වෛද්‍ය සභාවේ සම්මානය 2006 දී ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්ව සංකේතය හා රුසියාවේ ගෞරවණීය ආගන්තුක පුරවැසියා වීම 2007 දී රුසියාවේ තුමෙන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික වෛද්‍ය සභාව මගින් පිරිනමන ශ්‍රී ලංකා රුසියන් මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබීය.

1975 සිට ආසියානු බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් වශයෙන් ද 1994 දී අන්තර් ආගමික සාම පදනමේ ආරම්භක ලේකම් හා ඉන්පසු එහි විවිධ තනතුරු ද, ජාතික සාම මණ්ඩලයේ සමසභාපති ලෙස ද, ජාතික සම්පත් සුරැකීමේ භික්ෂු සංවිධානයේ සභාපති ඇතුළු සාමය හා පරිසරය වෙනුවෙන් කැපවූ සංවිධාන හා ආයතන රැසක තනතුරු හොබවති.

ශ්‍රී ලංකා - රුසියන් මිත්‍රත්වය දියුණු තියුණු කිරීම සඳහා රුසියාවට ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවීම, රුසියන් ජාතිකයන් පැවිදි උපසම්පදා කිරීම හා වරින්වර ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ භික්ෂූන් ලවා භාවනා ක්‍රම ඉගැන්වීම, රුසියාවේ හා බුරුමයේ බෞද්ධ මධ්‍යස්ථාන ආරම්භ කිරීම, ශ්‍රී ලාංකික භික්ෂූන්ට රුසියාවේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම, රුසියානු සංචාරකයන්ට ශ්‍රී ලාංකික බෞද්ධ උරුමයන් පිළිබඳ ස්ථාන හඳුන්වාදීම හා මාර්ගෝපදේශනය සැපයීම ආදිය ප්‍රශංසා කටයුතු ක්‍රියාමාර්ග අතර කිිහිපයක් පමණි. ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශවයේ කාරක සභික ධූරයට පළමුවෙන් ද, 1992 සිට එහි මහ ලේකම් ධූරයට පත්වීමෙන් ද නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකොට ඇත. ඒ නිසාම විශ්ව සාහිත්‍ය භාෂා විශාරද සර්ධර්ම කීර්ති ශ්‍රී වජිරවංශාලංකාර යන ගෞරව නාමය බුරුමයේ ( මියෙන්මාර් ) මණ්ඩලේ නුවර සංඝ සභාවෙන් ද පිරිනමන ලදහ. තමන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් පැවති විහාරස්ථාන වැඩි දියුණු කිරීමටත්, තම ශිෂ්‍යයන් 35 දෙනෙකු පෝෂණය කිරීමටත් තම පෞද්ගලික ධනය හා රුසියානු පරිත්‍යාගශීලින්ගේ ධනය කෝටි ගණනක් වැය කොට ඇත. තම පාර්ශවයේ හා පාර්ශවයේ නොවන විහාරස්ථානවල අභිවෘද්ධිය වෙනුවෙන් වැය කළ ධනය ද ඒ හා සමානය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඉදි කෙරුණු රන් වැට සඳහා හා එහි ආගන්තුක භික්ෂු නේවාසිකාගාරය සඳහා දආධාර කිරීම ද ඉහත කී කටයුතු අතර සුවිශේෂීය. පොදුවේ ගත් කළ රුසියන් සංචාරකයන් මගින් තම මවුබිමට සපයා දෙන සම්පත් වසරකට කෝටි ගණනකි. සාමය හා සහජීවනය වෙනුවෙන් විදේශීය රටවලට වැඩමකොටඇත