Print this Article


සාර්ථකව පිය නඟමු

සාර්ථකව පිය නඟමු

2012 වසර අවසන් වී 2013 වසර ළඟා වී ගත වූයේ දින කීපයකි. බොහෝ දෙනෙක් සම්මත වසරක් නිම වී තවත් වසරක් එළඹෙත්ම බොහෝ දේ හුවමාරු කර ගනිති. ඒ අතුරින් විවිධ ප්‍රාර්ථනයන් ප්‍රමුඛස්ථානයක් ගනී. සමහර අයෙක් දුරකථන මාර්ගයෙන් සුබ ප්‍රාර්ථනා කරති. තවත් අයෙක් එස්.එම්.එස්. පණිවුඩ හරහා සුබ පතති. මෙලෙස අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් අතර සුබපතා ගැනීමෙන් ප්‍රකාශ කරන්නේ ලැබූ නව වසර සෞභාග්‍ය වේවා, කිරියෙන් පැණියෙන් ඉතිරේවා! සැපවේවා ආදි විවිධ පාඨයන් මේ සඳහා ප්‍රකාශ කරති. නමුත් සලකා බැලිය යුත්තේ වචන මාත්‍රයෙන් පමණක්, වසරක් සෞභාග්‍යමත් කරගැනීමට පුළුවන්ද? යන්නය. එසේ පුළුවන් නම් එයද ඉතා අගය කොට සැලකිය හැකි ය. “අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා” යනුවෙන් බුදුරදුන් දේශනා කළ අදහස තම හිසට තම අතමය සෙවනැල්ල යනු මෙයට සමාන සිංහල කියමනක් ද ඇත. තමාගේ පිහිට සරණ තමාම ය. අන් අයගේ පිහිටක් බලාපොරොත්තු වී වැඩකළ නොහැකිය. එයට හේතුව වන්නේ එය අර්ථ ශූන්‍යය වන නිසා ය.

අවුරුද්දක් හමාර වන විට අප සැලකිය යුත්තේ පසුගිය වසරේ දී තමා කළ හොඳ නරක කටයුතු පිළිබඳවය. මෙලොවට බිහිවන ඕනෑම කෙනෙක් අතින් වැරැදි සිදුවිය හැකි ය. එය පුහුදුන් ස්වභාවයයි. එසේම යහපත ද සිදුවිය හැකිය. වැරැදි කරන පුද්ගලයා තුළ වුවද යහපත් ක්‍රියා තිබිය හැකි ය. යහපත් ක්‍රියා කරන පුද්ගලයා තුළද අකටයුතු තිබිය හැකිය. එයට හේතුව සර්වසම්පූර්ණ නිදොස් පුද්ගලයෙක් නම් බුදු පසේ බුදු මහරහත් උතුමෝ වෙති. උන්වහන්සේලාගෙන් පමණක් අඩු පාඩු සිදු නොවන්නේම ය.

නමුත් අප ජීවත් වන්නේ පුහුදුන් මිනිස් සිත් සතන්වලින් හෙබි සමාජයකය. එබැවින් සමාජයේ කල්‍යාණ මිත්‍රයන් සේම පාප මිත්‍රයන් ද සුලභව දැක ගත හැකි ය. අප දක්‍ෂ විය යුත්තේ මේ වර්ග දෙක හඳුනා ගැනීමටය. කෙනෙක් වර්ෂයක් පුරාවට හොඳ වැඩ කරන්නේ කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසුණු විටය. එසේම තවත් කෙනෙක් වර්ෂයක් පුරාවට පව් රැස් කරන්නේ නරක වැඩ කරන්නේ පාප මිත්‍රයන් ඇසුරු කළ නිසා ය. එබැවින් වැරැදි නොකරන වර්ෂයක් බවට පත් කර ගැනීමට නම් අප නිතරම බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය.

බොහෝ අය නොමඟ යන්නේ ආශ්‍රය කරන සමාජයේ ඇසුරේ වරදිනි. එම නිසා නිතරම යහපත දකින, යහපත සිතන පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් මෙලොව පරලොව ජීවිතය සරුකර ගැනීමට පුළුවන.

එක්තරා ශ්ලෝකයෙන් පෙන්වා දෙන්නේ පර්වත කඳුවල විසීම හොඳයි. වනයෙහි තනිවම විසීමද එසේමය. නමුත් දිව්‍ය භවනක වුවද මෝඩයන් සමඟ ආශ්‍රය කිරීම නුසුදුසු බව එම පඬිවරයා පෙන්වා දෙයි. එබැවින් බාල, මහලු, උපාසක, උපාසිකා පමණක් නොව හැම දෙනාටම ඉතා වටිනා අදහසක් ජනනය කරයි. එබැවින් තමන් සරණ කොට ජීවත් විය යුතු ය.

බොහෝ දුරට පාසල් සිසු දරුවන් මේ කරුණු හිතට ගත යුතුය. කුඩා කළ සිට බොරුවෙන් වෙන් විය යුතු ය. එමෙන්ම අනුන් බොරුවෙන් නොරැවටිය යුතු ය. තමන්ගේ දෙමව්පියන්ට කිසි විටෙක බොරු නොකිවයුතු යි. බොරු නොකළ යුතුය.

ඇතැම් අසරණ දෙමව්පියන් රවටති. පාසලට ගියපසු ඇතැම් ළමුන් ගුරුවරුන්ට බොරු කියයි. ඇතැම් විට අකීකරු වෙති. එබැවින් 2013 නව වසර උදා වෙත්ම සිසු දරුවන් විශේෂයෙන් අධිෂ්ඨානයක් ගොඩනඟා ගත යුත්තේ මෙම වසර තුළ මම, මාගේ දෙමව්පියන්ට බොරු නොකියමි.

ගුරුවරුන්ට අකීකරු නොවෙමි. නරක යහළුවන්ගේ ආශ්‍රයට නොයමි. අන් අයගේ සිත නොරිදම් යනාදී වශයෙනි.

බොහෝ විට ඇතැම් අය පවසන්නේ මම ජනවාරි පළමුවෙනිදා සිට දුම් බොන්නේ නැත. රහමෙර පානය කරන්නේ නැත. ආදී වශයෙනි. නමුත් එය වැඩිකල් රඳා පවතින්නේ තම සිතට වහල් නොවී කටයුතු කිරීමෙනි.

අද ඇත්තේ දියුණු ලෝකයක් ය. ඒ තුළ බොහෝ ශීඝ්‍රයෙන් තාක්‍ෂණය හරහා තොරතුරු සම්ප්‍රේෂණය කරගත හැකි ය. විශේෂයෙන් අන්තර්ජාලය හරහා ලෝකය දෙස ඉතා ඉක්මනින් අධ්‍යයනය කළ හැකි ය. දැනුම පහසුවෙන් දියුණුකරගත හැකි ය. එසේම ඒ තුළින් සිදුකර ගන්නා මානසික නොසන්සුන්කාරී තත්ත්වයන් ද ඇත. තාක්‍ෂණය නිසා හැදෙන පුද්ගලයන් සේම නැසෙන පුද්ගලයන් ද ඇත. එබැවින් 2013 වසර තුළ පුද්ගලයෙක් බවට පත්වීමට තාක්‍ෂණයද උපයෝගී කරගත යුතු ය. ඒ සඳහා සිතේ පාලනය බොහෝ සෙයින් වැදගත් වේ. ඇතැම් අයෙක් තමන්ට නිසි දර්ශනයක් නොමැතිකම නිසා දුකට පත්විය හැකි ය.

පිනට දහමට නැඹුරුව කටයුතු කරන්නේ නම් ලෝක විනාශ වලට ද බිය විය යුතු නැත. 2012 වර්ෂය තුළ තමන්ට කරන්නට අපහසු වූ යම් යහපත් වැඩ කොටසක් තිබුණේ නම් අධ්‍යාපනික හෝ වේවා ආගමික හෝ වේවා සාමාජික, සංස්කෘතික හෝ වේවා එය 2013 දී සිදු කිරීමට අධිෂ්ඨානයක් ගොඩනගා ගෙන අඩුපාඩු අවම කර ගන්නා වර්ෂයක් බවට පත්කර ගැනීමට සියලු දෙනාටම තෙරුවන්ගේ ශක්තිය ලැබේවා.!