UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනා හා බැඳුණු ආචාර ධර්ම

ධර්ම දේශනා හා බැඳුණු ආචාර ධර්ම

ධර්මාසනය පිළියෙළ කිරීම ද දේශනයක දී ඉතා සැලකිල්ලෙන් හා ඉතා ගරුත්වයෙන් සිදුකරනු ලබන්නකි. එහිදී කෙතරම් ගරුත්වයකින් හා සැලකිල්ලකින් එම කාර්යය සිදු කරන ලද්දේ ද යන්නට ප්‍රථම සංගීතියේ දී දේශන අසුන සූදානම් කිරීම සම්බන්ධ සමන්තපාසාදිකාගත වාර්තාව දෙස් දෙයි. නානා මල් වර්ග, රන් රුවන් ආදියෙන් සරසා අනඟි ඇතිරිලි යොදා ආසන පැනවූ බව එහි වාර්තා වී ඇත. ඒ අනුව ධර්මාසනයට සුදු ඇතිරිලි යොදා ධර්මාසනයට උඩුවියන් බැඳ බුමුතුරුණු එලා සැකසීම සිරිත වෙයි. මෙහිලා තවත් අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස ධර්මාසනය සකසන ස්ථානය පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය යුතු ය

මෙම ලිපියෙහි මුල් කොටස 2012 නොවැම්බර් 27 වන දා පත්‍රයේ පළවිය

එබැවින් ගෘහ මූලිකයා පිරිමියෙකු වේ නම් ඔහු විසින් එම කටයුත්ත සිදු කෙරුණු අතර එය කුඩා දරුවකුට හෝ දාස කම්කරුවකුට අයත් කාර්යයක් සේ කිසිවිටෙකත් නොසැලකූහ. මේ සියල්ල ම ධර්මයට කරන ගරු සැලකිලි ලෙසින් මිස තමාට කරන සැලකිල්ලක් ලෙස දේශක භික්‍ෂූහු ද නොසිතූහ.

ධර්මාසනය පිළියෙළ කිරීම ද දේශනයක දී ඉතා සැලකිල්ලෙන් හා ඉතා ගරුත්වයෙන් සිදුකරනු ලබන්නකි. එහිදී කෙතරම් ගරුත්වයකින් හා සැලකිල්ලකින් එම කාර්යය සිදු කරන ලද්දේ ද යන්නට ප්‍රථම සංගීතියේ දී දේශන අසුන සූදානම් කිරීම සම්බන්ධ සමන්තපාසාදිකාගත වාර්තාව දෙස් දෙයි. නානා මල් වර්ග, රන් රුවන් ආදියෙන් සරසා අනඟි ඇතිරිලි යොදා ආසන පැනවූ බව එහි වාර්තා වී ඇත. ඒ අනුව ධර්මාසනයට සුදු ඇතිරිලි යොදා ධර්මාසනයට උඩුවියන් බැඳ බුමුතුරුණු එලා සැකසීම සිරිත වෙයි. මෙහිලා තවත් අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස ධර්මාසනය සකසන ස්ථානය පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය යුතු ය. දේශකයාණන් වහන්සේට දේශනාවේ දී ශ්‍රාවකයා සම්බන්ධ කර ගැනීම වඩාත් පහසු වන ආකාරයෙන් ධර්මාසනය පිළියෙළ කර ගත යුතු ය. ශ්‍රාවකයාට ඉතා ළං වීම ද ඉතා දුරවීම ද දේශනයට බාධාවකි. ධර්ම දේශක භික්‍ෂුවගේ අත්පස තෙල් පහනක් දල්වා තැබීම සිරිතකි. විදුලි ආලෝකය සුලභ මෙවන් කාලයක වුව එහි ඇති ප්‍රයෝජනය නිතර දහම් දෙසුම සඳහා වැඩමවන භික්‍ෂූන් ලෙස අප ද අත්දකිමින් දැක ඇත. හදිසියේ විදුලි ආලෝකය විසන්ධි වීමක් සිදු වුව ද ධර්ම දේශනය බාධාවකින් තොරව පවත්වා ගැනීමට එමඟින් අවකාශ සැලසේ. එම පහනින් සිදුවන වෙනත් සෞඛ්‍යමය වැදගත්කම ද මෙහිලා සැලකිල්ලට ගනු වටී. එසේ ම පානීය ජලය ද අවශ්‍යයෙන් ම ධර්මාසනය අසල තබනු ලැබේ. විහාරස්ථානයට ගොස් දැහැත් අතක් පිළිගන්වා ආරාධනා කළ නමුත් නැවත ධර්මාසනාරූඪ භික්‍ෂුවට දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනා කිරීම සිරිත වේ. දේශක භික්‍ෂුව ද ධර්මාසනයට පැමිණි විගස හිඳ නොගන්නා අතර ධර්මාසනයට අත තබා බැලීමෙන් අනතුරුව වැඩ සිටීම පැරැණි සිරිත ය. එක් අතකින් දේශක භික්‍ෂුවගේ ආරක්‍ෂාව පිණිස එය හේතු වේ. කුමක් නිසා ද යත් භික්‍ෂුවට කරදරයක් කිරීමට අවශ්‍ය අයෙකුට ධර්මාසනයේ කටු ගැසීම ආදියක් සිදු කළ හැකි බැවිනි. මීට අතිරේකව ඇතිරිල්ලට යටින් නිවසේ බළලුන් ලෙහෙනුන් ආදී අහිංසක සුරතලුන් සැඟවී සිටීමට ද ඉඩ ඇත. ඉඳුම් හිටුම් ආදිය කාර්යයන්හි සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීමේ තථාගතයන් වහන්සේගේ අවවාදය ද මෙමඟින් අනුගමනය කළේ වෙයි.

බුදුරජාණන් වහන්සේ විසින් දහම් නොදෙසිය යුතු අය පිළිබඳව ද විනය පිටකයේ දී දේශනා කොට ඇත. එවන් උදවිය ලෙස කූඩයක් දරාගෙන සිටින්නා, දණ්ඩක් දරාගෙන සිටින්නා, ආයුධ දරන්නා, දුණු ඊතල දරන්නා පාවහන් පැළඳ සිටින්නා, යානගත පුද්ගලයා, පලසෙහි සිටි පුද්ගලයා, හිස වෙලා සිටින්නා ආදීන් දැක්විය හැකි ය. එසේ වෙතත් ගිලන් පුද්ගලයාට දහම් දෙසීමට එම කරුණු තුළ තහනමක් නැත. එසේ ම බිම සිට අසුනෙහි සිටින්නාට නොමගෙහි යමින් මගෙහි යන්නාට හා පසුපසින් යමින් ඉදිරියේ යන්නාට දහම් නොදෙසිය යුතු බව එහිලා පැහැදිලි කරයි.

බුදුරදුන් දවස කෙසේවතුදු ප්‍රථම ධර්ම සංගායනා වාර්තාවට අනුව නම් දේශක භික්‍ෂුව විජිනිපතක් භාවිතා කළ බව පැහැදිලි ය. හස්ත විකාර, මුඛ විකාර ආදිය ඇති නොවීමටත් දේශකයාගේ චිත්තේකාග්‍රතාව ආරක්‍ෂා කර ගැනීමටත් එයින් අවස්ථාව උදා වේ. දේශනයේ දී විසභාග අරමුණක් දුටුවහොත් ඉන් චිත්ත වික්ෂේපයට පත් නොවීම මෙමඟින් අපේක්‍ෂා කෙරේ.

සම්ප්‍රදායිකව දේශක භික්‍ෂුවක් දේශනාරම්භයේ දී දේවතාරාධනාව හා කාල ඝෝෂාව පැවැත්වීම සිරිතය. එනම් ධර්මශ්‍රවණය සඳහා දෙවියන්ට ආරාධනා කිරීමයි. එසේ ආරාධනා කරන පාලි ගාථා දෙකක් පිළිබඳව අප අවධානය යොමු වේ. එනම්, සමන්තා චක්කවාලේසූ ආදී වශයෙන් එන දේවතාරාධනාව හා සග්ගේ කාමේච රූපෙ ගිරිසිඛරතටෙ..... ආදි වශයෙන් එන දේවතාරාධනාවත් ය. දේවතාරාධනයෙන් අනතුරුව මේ දහම් ශ්‍රවණයට වෙලාවයි යනුවෙන් කියැවෙන ධම්මස්සවනකාලො අයං භදන්තා යන්න තෙවරක් හඬනඟා පැවසීම සිරිතය. ධර්මාසනාරූඪ භික්‍ෂුවකට සිය කාර්යය කුමක්ද, යන්න පිළිබඳව තමා ම සිහිපත් කර ගැනීමක් ලෙස ද මේ දේවතාරාධනය වැදගත් වෙයි. තමන් මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බවත් එය අසන්නට පැමිණෙන ලෙස දෙවියන්ට පවා ඇරැයුම් කිරීමෙන් සම්බුද්ධ දේශිතයෙන් බැහැරව දෙසුම පැවැත්වීමට උන්වහන්සේට හැකියාවක් ඇති නොවේ. ධම්මකථික සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ සිතළුවක් කියවන පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්‍රාවකයා යොමු කරන දේශකයා පමණක් ධම්මකථික නාමයට හිමිකම් කියන බවය. එසේ ම සත්පුරුෂ ධර්ම කථිකයා අනුන් හෙළා නොදකින තමා හුවා නොදක්වන සිය කථිකත්වය නිසා ලෝභයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් මුලාවට පත්වන්නකු නොවිය යුතු ය. මෙම බුද්ධෝපදේශය කාලීන ධර්ම දේශනා යනුවෙන් ප්‍රලාප කියවන බොහෝ අල්පශ්‍රැතයන් විසින් නොසලකා හරිනු ලැබීම අතිශය විපත්තිකාරී තත්ත්වයක් බව මෙහිලා සඳහන් කරනුයේ සංවේගයෙනි.

ශ්‍රී ලංකාවේ ඇතැම් උඩරට ගම් දනව්වල දේවතාරාධනයෙන් අනතුරුව හේවිසි නාද කිරීම සිරිත ය. ඒ ශබ්ද පූජාවක් ලෙසින් බුදුරජුන්ට කරන උපහාරයක් මෙන් ම ශබ්ද පූජාවන්ට දෙවියන් පි‍්‍රය කරන බැවින් ඔවුන් පිළිගැනීමක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. අනතුරුව නමස්කාරයෙන් හා මාතෘකා ගාථා දේශනා කිරීමෙන් දම් දෙසුම ආරම්භ වෙයි. නමස්කාරය වුවද ථෙරවාදී සම්ප්‍රදාය තුළ ඒ ඒ අවස්ථාවට තාලය අනුව වෙනස් වෙයි. පිරිතක දී විනය කර්ම කරන අවස්ථාවේ දී හා ධර්ම දේශනයේ දී මෙම වෙනස මැනවින් වටහා ගත හැකි ය.

දේශක භික්‍ෂුව මාතෘකා කළ ගාථාවට අනුව එක්වර ම ධර්ම කාරණා ඉදිරිපත් නොකරයි. එහිදී ශ්‍රාවකයන් වෙත ධර්මාවවාදයක් ලබාදීම පළමුව සිදුවෙයි. ධර්මශ්‍රවණය කළයුතු ආකාරය, එහි අනුසස්, ධර්ම ශ්‍රවණයේ අරමුණු ආදී කරුණු මෙහි දී අනාවරණය කෙරේ. නෑසූ දහම් කරුණු අසන්නට ලැබීම, ඇසූ කරුණු පිරිසුදු කර ගැනීම, සැක දුරු කර ගැනීම, දැක්ම සෘජු වීම, සිත පැහැදීම වැනි ධර්ම දේශනාවෙන් සිදුවන අර්ථය පැහැදිලි කිරීම මෙහි දී සිදුවන අතර ධර්ම ශ්‍රවණය තුළින් සිය දෙලොවට ම වැඩ සලසා ගත් උවැසි උවැසියන් පිළිබඳ සිහිපත් කිරීමෙන් ධර්ම ගෞරවය ශ්‍රාවකයා වෙත ගොඩනැඟීම ද සිදු වේ. ධර්ම ශ්‍රවණයේ ඇති දුර්ලභ බවත් අෂ්ට දුෂ්ටක්‍ෂණයන්ගෙන් විනිර්මුක්ත මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ ඇති වටිනාකමත් මෙහි දී ශ්‍රාවකයාට අවබෝධ කොට දීම සිදු වේ.

ධර්මාවවාදයෙන් අනතුරුව නැවත මාතෘකා ගාථාව ප්‍රකාශ කිරීමත් ගාථාවේ අර්ථය සරල කර ප්‍රකාශ කිරීමත් එහි නිධාන කථා ඇත්නම් එය දේශනා කිරීමත් එහි එන දහම් කරුණු අනුව ධර්ම දේශනය පැවැත්වීමත් අවසාන ධර්මෝපදේශ ඉදිරිපත් කරමින් දේශනාව නිමාවට පත් කිරීමත් පෙර සිරිත ය. දේශනාව නිමාකරනුයේ ධර්ම ශ්‍රවණයට පැමිණි දෙවියන් ඇතුළු සියල්ලන්ටම පින් පෙත් අනුමෝදන් කිරීමෙනි.

දේශක භික්‍ෂුවට පරිස්කාර පූජාවක් සිදු කිරීම ද පෙර සිට පැවත එන සිරිතකි. එහි දී පින්කමේ අරමුණ අනුව පිරිකරක් පූජා කිරීම බොහෝ විට සිදු විය. මිය පරලොව සැපත් අයෙකු වෙනුවෙන් කරන පින්කමක් නම් ඔහුට ආලෝකය පිණිස ආලෝක පූජාවක් ලෙස ලන්තෑරුම් ආදිය පූජා කිරීම පැරැණි ගම්වල අද පවා සිදු වේ. එසේ ම දියුණු නූතනයේ විදුලි බල්බ ආදිය පූජා කිරීමේ අරමුණ ද මිට ම සමගාමී වේ. පිරිකර පූජාවේ ආරම්භය බුද්ධ කාලය දක්වා ම දිවෙන්නකි.

ඉතිරි කොටස
දෙසැම්බර් 12 වනදා පත්‍රයේ පළවේ

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]