Print this Article


<%on error resume next%> සතා සිවුපාවුන්ට පරිසරයට ආදරය කරන්න දරුවාට කියා දෙන්න

සතා සිවුපාවුන්ට පරිසරයට ආදරය කරන්න දරුවාට කියා දෙන්න

ගැරඬියකුට හිංසා කරමින් සිටි දරුවන් පිරිසකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘දරුවනේ ඔය වැඩේ කරන්න එපා. ඔයාලා පළමුව ඔයාලට රිදවගෙන බලන්න. ඒකට කැමැති නෑ නේද? ඒ වගේම මේ සතත් කැමැති නෑ හිංසා කරනවට. බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුළ අහිංසාවාදය සමාජගත කරපු උත්තමයාණන්වහන්සේ නමක්. ඒ නිගණ්ඨනාථපුත්ත වගේ පරම අංහිසාවාදයක් අගය කරමින් නොවේ. සැබෑ අහිංසාවාදය අගය කරමින් ය

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබබේ භායන්ති මච්ඡුනො
අත්තානං උපමං කත්වා
නහ න්‍යෙය නඝාතයෙ

සියලු සත්ත්වයෝ දඬුවමට බය වෙනවා. දණ්ඩනයට අකැමැති වෙනවා. එය තමන්ටත් එහෙමයි. තමන් උපමා කරගෙන අනෙක් අයට හිරිහැර කරන්න එපා. ජීවිතේ නැති කරන්න එපා. මේ බුද්ධ දේශනාවයි.

පුංචි දරුවන්ට දහම් පාසලේදි ආදර්ශවත් කතාවක් කියලා දෙනවා. ගැරඬියකුට හිංසා කරමින් සිටි දරුවන් පිරිසකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘දරුවනේ ඔය වැඩේ කරන්න එපා. ඔයාලා පළමුව ඔයාලට රිදවගෙන බලන්න. ඒකට කැමැති නෑ නේද? ඒ වගේම මේ සතත් කැමැති නෑ හිංසා කරනවට. බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුළ අහිංසාවාදය සමාජගත කරපු උත්මයාණන්වහන්සේ නමක්. ඒ නිගණ්ඨනාථපුත්ත වගේ පරම අංහිසාවාදයක් අගය කරමින් නොවේ. සැබෑ අහිංසාවාදය අගය කරමින් ය.

අද අපේ අම්ම, තාත්තට, ගුරුවරුන්ට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. සත්තුන්ට වගේම පරිසරයට කරුණාව දයාව පැතිරවීමට අපේ දූ දරුවන් යොමු කරන්න. ඊට පොළඹවන්න.

අපේ මව්පියන් සමඟ දූ දරුවන් ගමන් බිමන් යාමට හරිම කැමැතියි. එහෙත් මව්පියන් දූ දරුවන් ගමන් බිමන් සඳහා කැඳවාගෙන යාමේදී ඔවුන්ට යම් කොන්දේසියක් පැනවිය යුතුයි. ගමන යන අතරතුරදි වාහනය ඇතුළේ අනවශ්‍ය දැඟලීම්වලින් වළකින්න ඕන. නිදාගන්න බැහැ. අවට පරිසරය හොඳින් බලාගන්න ඕන.

ඒ ගමන ගිහින් ඇවිත් දරුවන්ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොනවද දැකපු දේවල්, සතුන් කී දෙනෙක් දැක්කද? මල්වර්ග කීයක් දැක්කද? දැකපු බලපු පැරැණි ස්ථාන මොනවාද? පන්සල් කීයක් දැක්කද? පල්ලියක් කෝවිලක් දැක්කද? දැකපු සතුන් ගැන මොනවද කියන්න තියෙන්නෙ. ඒ වගේ මව්පියන් දරුවන් පරිසරයට යොමු කළහොත් ඔවුන් පරිසරයෙම කොටස් කරුවන් බවට පත්වනවා. ඒ වගේම දරුවන්ට ප්‍රශ්න අසන්නත් අවස්ථාව ලබා දෙන්න ඕන.

ගමනක් යන විට සුනඛයෙකු අපහසුවෙන් එක් කකුළක් ඔසවාගෙන පාද තුනකින් යනවා දරුවා දකින්නට පුළුවන්. දරුවාට ප්‍රශ්නයක් පැන නගිනවා. ඔහු ඒ ගැන අහනවා ‘උප්පත්තියෙන්ම ඒ සතා යන්නේ එහෙමද?, දරුවාට හරි ප්‍රශ්නයක්.

දරුවාට නිවැරැදි පිළිතුර ලබා දිය යුත්තේ ඔහුට ඒ පිළිබඳව අනුකම්පාව ඇතිවන අයුරින්.

“මිනිස්සු තමයි ඔය වැඩේ කරල තියෙන්නෙ. පව් ඒ සතා කොච්චර අමාරුවෙන්ද යන්නෙ”

වාහනයක හැපීමෙන් එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා මහ පාරේ මියගොස් ඉන්න සතුන් අපට හමුවනවා. දරුවා තුළ ඒ පිළිබඳව ශෝකයක් අනුකම්පාවක් හට ගන්නවා.

සතුන් අනතුරුවලට ලක්වීම වළක්වන්න ඔහු සිතින් විකල්ප විසඳුම් සොයනවා.

ජීවිතයේ මුල්වරට දකින සතුන් ගැන ඔහුට සතුටක් ඇතිවනවා. ‘දඬුලේනා’ මුගටියා ඔහු හැඳින ගන්නවා.

එමෙන්ම නිවසේ සුරතලයට වගේම ආරක්ෂාවට ඇති කරන සතුන් අප අතර ඉන්නවා. දරුවන් ඒ ගැන දැනුම්වත් කළ යුතු වනවා.

දරුවන්ට සත්ව කරුණාව ඔවුන්ගේ සිත් තුළින්ම ඇතිවීමට ඉඩ ලබා දිය යුතුවනවා.

ගෙදර ආරක්ෂාවට ඇති කරන සුනඛයාට ඔහු ආදරය කරනවා. තමන් ආහාර ගෙන ඉතිරි ආහාර ටික සුරතල් සතුනට ලබා දෙනවා. ගෙදර ඇති කරන සුනඛයන් ඇතුළු බොහෝ සතුන් අපගේ කරුණාව දයාව හොඳින් දන්නවා. හොඳින් තේරුම් ගන්නවා. අපට තරහ ගොස් සිටින අවස්ථාවල ඔවුන් අප අසළට එන්නේ නැහැ. එහෙත් හොඳින් සිනහ වී බලන්න. කෙතරම් ආදරයක් ගෞරවයක් පෙන්වමින් ඔවුන් අපේ ළඟට එනවාද? ගෙදර ඉන්න සුරතල් බලු පැටව් ටික දරුවන්ට හොරෙන් ඔබ කොතැනකට හෝ ගිහින් දමනව. දරුවන් ඒ බව දැන ගන්නව. දැන් කොහොමද දරුවන්ට සත්ත්ව කරුණාව උගන්වන්නෙ. තමන්ගෙ පැටවුන් කටින් ඔසවාගෙන යන බැළලිය දකින දරුවන්ට මවු සෙනෙහසේ අගය දැනෙනවා. කිරිබොන පූස් පැටියෙක් අම්මගෙන් ටික වේලාවක් වෙන් කරල තියෙන්න. බැළලි අඬමින් හොයනව.දරුවන්ට ඒ වේදනාව දුක පේනවා. දැනෙනවා. අප අතපත ගානකොට පූස් පැටව් ටික තව තැනකට අරගෙන යනව. හංගනව. දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ පරිසරයෙන්.

අපේ ගම් ප්‍රදේශවල තවම බොහෝ නිවාසවල ගවයන් ඉන්නවා. අපේ දරුවො මේ ගවයන් වසු පැටව් දිහා හොඳින් බලා ඉන්නවා. ගවයන්ට ආදරය, කරුණාව දක්වනවා. රත්ති . වයිරා, හඳයා, ආදරය කරුණාව මුසු වෙච්ච නම් යොදනවා. උදේට පාසල් යනකොට පොල්පිති හරකා ඇදගෙන ගිහින් පොල් ගහක බැඳල යනවා. හවසට එනකොට පොල්පිති හරක වෙන ගහක බඳීනව. වැඩිපුර තණකොළ කන්නයි එහෙම කරන්නෙ. පරිසරයෙන් දරුවන් ලබපු අත්දැකීම් උඩ සත්ත්ව කරුණාව පැතිරුණේ ඒ විදියටයි. වඩාත්ම වැදගත් වත්තේ සතුන්ට පරිසරයේ නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ ලබාදී එමඟින් කරුණාව දැක්වීමට දරුවන් හුරු කිරීමයි.

ඉවතලන ආහාර කුරුල්ලන්ට ආහාරයට ගන්නට උස් තැනක තැබීමෙන් ඒ සතුන්ගේ විවිධත්වයන් හඳුනා ගන්න අපේ දරුවන්ට හැකියාව ලැබෙනවා. සතුන් රංචු පිටින් එක් වී සමඟියෙන් ආහාර ගන්නා හැටි දරුවන්ට දැක බලාගන්න පුළුවන්. සතුන් අසාමාන්‍ය ලෙස හැසිරෙන වේලාවේදි සර්පයකු හෝ වෙනත් සතකු පැමිණ සිටින බව අපට තේරුම් යනවා.

සුනාමි ජල කඳ එන බව අපට කලින් සතුන්ට දැනී තිබුණ බව එදා හොඳින් තේරුම් ගැනීමට අපට හැකිවුණා.

නාය යන කන්දකට සතුන් යටවන්නේ නැහැ. පරිසරයේ සිදුවන වෙනස්වීම් සතුන්ට හොඳින් තේරෙනවා.

මේ නිසා තමයි අතීතයේ අපේ මුතුන් මිත්තන් පරිසරය සමග සතා සිවුපාවා සමඟ එකට ජීවත් වුණේ. කුකුළු පැටවුන් ඩැහැගන්න එන විවිධ පක්ෂීන් දැකලා කිකිළි තම පැටවුන් රැක ගන්නා හැටි දරුවන්ට දකින්න ලැබෙනවා නම්, තමන්ගේ මව්පියන්ගේ අගය දරුවන්ට හොඳින් දැනෙනවා.

ඒත් අද අප බොහෝ විට පරිසරයෙන් ඈත් වෙලා සත්ත්ව කරුණාව පවා අපෙන් ඈත් වෙලා තියෙන්නෙ ඒකයි. සත්ත්ව කරුණාව ඈත් වුණායින් පස්සෙ මව්පියන්ට පවා සැලකීම ඈත් වනවා.

අප පරිසරයට ආදරය කළහොත් විතරයි අපට නිවැරැදි මාවතක යන්න පුළුවන් වන්නේ. පරිසරයට සතා සිවුපාවාට ආදරය දක්වන්න අපේ දරුවන් යොමු කළ හැක්කේ එවිටයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.