UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

 

ප්‍රශ්නය
මෙම පාඨය කියවන්න.

“එවං පියො පුථු අත්තාපරෙසං තස්මා න හිංසෙ පරමත්ත කාමොති”

“එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තෝ අනෙකෙකු නොපෙළෙන්නේ ය. - බු.නි. රාජසූත්‍ර

බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සර්වකාලීන සද්ගුණය කුමක්ද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන අවදියෙහි කොසොල් මහරජතුමා සහ මල්ලිකා දේවිය අරමුණු කරගෙන දේශනා කළ ධර්ම පාඨයකි.

සබ්බාදිසා අනුපරිගම්ම චෙතසා
නෙවජ්ඣගා පියතර මත්තනා ක්වචි
එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති

සියලු දසදෙස බැලුවත් තමනට වඩා පි‍්‍රයතමයෙකු කිසි තැනෙක කිසි කලෙක නොදකින්නේ ය. එසේම සියලු සත්වයන්ට තමාට වඩා තවත් පි‍්‍රයමනාප වූ අයෙක් නැත්තේමය. එහෙයින් “අත්තුප්ප නායික ධර්ම” පරියාය තමා උපමානය වශයෙන් සලකා අනුනට හිංසා නොකළ යුත්තේ ය.


ප්‍රශ්නය
නිබ්බාණං පරමං සුඛං නිවන පරම සුවයකි. පරම සුවයක් වූ නිවන එහි ඇති ශාන්ත ප්‍රණීත ස්වභාවය විස්තර කළ නොහැකි ප්‍රඥාවෙන් පමණක් සාක්‍ෂාත් කරගත හැකි ලෝකෝත්තර ධර්මයෙකි. බුදුරජාණන් වහන්සේ සුවිශේෂ වූ වචන සමුදායකින් නිවනෙහි ස්වභාවය පැහැදිලි කළහ. එබඳු අවස්ථාවක් පෙළ දහමෙහි එන අයුරු නිදසුන්කොට දක්වන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කළ අවස්ථාවකදී පඨම දාතිය නිබ්බාණ සූත්‍රදේශනා මගින් නිවන පිළිබඳව මෙසේ පැහැදිලි කළහ.

මහණෙනි, යමෙක්හි පඨවි, ආපෝ, තේජෝ, වායු නැමැති සතර භූතයෝ නැද්ද?. ආකාසානඤ්චායතන. විඤ්ඤාණංචායතන ආකිංචඤායතන නෙවසඤ්ඤානාසඤ්ඤායාතන සිත නැද්ද? මේ ස්කන්ධ ලෝකය නැද්ද? මෙයින් උපදනා අන්‍යස්කන්ධ ලෝකයකුත් නැද්ද? (එහි අඳුරක් නැති බැවින්) සඳහිරු දෙදෙනෙක් නැද්ද? එසේ වූ ආයතනය (මාර්ග ඵල සිතට අරමුණු වන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ යෑමක්, ඊමක් සිටීමක්, මරණයක් මැරී ඉපැත්මක් නොකියමි. මෙය කිසිවෙක නො පිහිටි ප්‍රත්‍යයන්ගෙන් නොපවත්නා කිසිම අරමුණෙක නොඑල්වෙන දහමෙකි. මෙයට දුකෙහි කෙළවරය. (ඛු.නි. උදානපාලි - පාටලී ගාමියවග්ග)


ප්‍රශ්නය
සිය පුතුගේ මිරිවැඩි සඟලේ පියවර සටහන් දුටු බරණැස් සිටුවරයා ඒ අනුසාරයෙන් ඉසිපතනයට පැමිණියේ ය. මෙම පුවතට පාදක වූ සිදුවීම කුමක්ද?

පිළිතුර
සිදුහත් තවුසාණන් බුදුවීමට කිරිපිඬු දානය පිළිගැන්වූ සුජාතා නම් සිටු දේවියගේ පුත් යස නම් සිටු පුත්‍රයා ගිහි ගෙයින් නික්ම ඉසිපතන මිගදායට ගොස් බුදුරදුන් හමුව ඒහිභික්‍ෂූභාවයෙන් පැවිදිවිය. යසකුල පුතු ගිහි ගෙයින් නික්ම ගිය බව නොදැන සුජාතා උඩු මහලේ පුතු නොදැක බරණැස් සිටුතුමාට ඒ බව සැළ කළෙන් පුතු සොයා සිටුවරයා මිරිවැඩි සඟල පියවර ඔස්සේ ඉසිපතනයට ගොස් බුදුරජාණන් වහන්සේ හමුව පුතු පැවිදි බව අසා සොම්නසට පත්ව මපුතුට මහත් ලාභයක් වූයේ යැයි සිතා සිය පුතු හා බුදු පාමොක් මහ සඟනට දනට වඩනා ලෙස ආරාධනා කළේ ය.


ප්‍රශ්නය
බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමඟ තෝරා ගැනීම සඳහා (සම්‍යග්මාර්ගය) සංකල්පනා ත්‍රයක් පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
සංකල්පනා තුනකි. එනම්,

1. අත්තාධි පතෙය්‍ය
2. ලොකාධි පතෙය්‍ය
3. ධම්මාධි පතෙය්‍ය

අත්තාධි පතෙය්‍ය ක්‍රමයෙහිදී තමා මුල් කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි. ලොකාධිපතෙය්‍ය ක්‍රමවේදයට අනුව ලොකාපවාදයට යොමුවන ක්‍රියාවලින් වැළැකී ආත්ම දමනයෙන් වීර්ය වඩා දිවිමඟ සරුකර ගැනීමයි. ධර්මයෙහි ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමි සිතුවිලි වඩා ධර්මානුකූල පැවැත්මට නැඹුරු වීම ධම්මායි පතෙය්‍ය නම් වෙයි.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා සමුච්චය නියෝජනය වන්නේ පාලි ත්‍රිපිටකයෙහි ප්‍රථම සංගීනියෙහිදී එය එක්කර සංග්‍රහ කරන ලදී. පාලි ත්‍රිපිටකය පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත්ව පැහැදිලි කරන්න.

පිළිතුර
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ දීර්ඝ හා ඵලදායි ලෝකාර්ථ චර්යාව මඟින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අද ද නිර්මලව පවතී. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ රාජ්‍යෝදයෙන් අටවන වසරෙහිද ධර්මයෙහි පිරිසුදු බව උදෙසා රජගහ නුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව වියවුලකින් විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා නැවත ද බුද්ධ වර්ෂ 100 දී හා 236 දී රහතන් වහන්සේලාට සංගීති දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි.පූර්ව. 83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකු වූ වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ සමයේ මාතලේ අලු විහාරයෙහි දී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන ලදී.

ත්‍රිපිටකය යන වචනයේ තේරුම ‘මඤ්ජුසාතුන’ යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) මංජුසාද පෙට්ටිය, කූඩය, මල්ල) පිටක තුන නම් විනය පිටකය (පැවිදි ජීවිතයට අදාළ නීති රීති ඇතුළත් සංග්‍රහය), සූත්‍ර පිටකය, බුද්ධ දේශනා එක්කළ සංග්‍රහය හා අභිධර්ම පිටකය (ගැඹුරු දේශනා ඇතුළත් සංග්‍රහය.)


ප්‍රශ්නය

මෙම බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්ම චාරී සුඛං සෙති

අස්මිං ලොකෙ පරම්හිච
නොමැළිව පිඬුසිඟව
නොපමාව දම් හැසිරෙව
දම් සැරි පුඟුල් තෙම
සුවසේ වෙසෙයි දොළොවම

පිළිතුර
බුදුරදුන් කිඹුල්වත් වැඩි ගමනෙහිදී කිඹුල්වත ශාක්‍යයෝ දහම් ඇසීමෙන් සොම්නස්ව බුදුරදුන් දනට ඇරැයුම් නොකර සිය මැදුර බලා ගියහ. පසු දා බුදුහු මහ සඟන පිරිවරා පෙර බුදුසිරිත අනුව යමින් පිඬුසිඟා වැඩියහ. යසෝදරා දේවිය, ‘නරසීහ ගාථා අටකින්’ බුදු ගුණ වනා සිය මහරජු වෙත පැමිණ ‘මහරජ ඔබ පුතු සිඟා වඩිති’ කීවාය.

සුදොවුන් රජු බුදුරදුන් වෙත පැමිණ හිමියනි ශාක්‍යවංශයෙහි වූවෝ සිඟා නොගියහ. මෙසේ සිඟීමෙන් අප වංශයට අවමන් නොකරනු මැනවැයි ඇයැද සිටියේ ය. එවිට බුදු රදහු මහරජ ඒ ඔබගේ වංශයේ සිරිතය. මාගේ වංශය බුද්ධ වංශයයි වදාළහ. මහරජ එය අසා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉහත සඳහන් ගාථාව එම අවස්ථාවෙහිදී බුදුරදුන් විසින් සුදොවුන් මහ රජුන් වෙත දෙසා වදාළහ.


ප්‍රශ්නය
මෙම පාඨයෙන් සඳහන් වෙන දෙදෙනා කවුරුන්ද?

පැවිදි වෙස්ගත් ඔහු දෙදෙන උඩුමහල්, බිම් මහලට බැස, මඟට බටහ. මඟ යන ඔවුන් අතර මෙබඳු කථාවක් ඇතිවිය. පැවිදි වීත් මොහු දෙදෙනා වෙන් විය නොහෙකියි. මිනිස්සු කිලිටු සිත් පහළ කොටගෙන පව් පුරවා ගනිති. එහෙයින් ඉදිරි දෙමං සන්ධියේ දී “අපි දෙදෙන වෙන්ව යමු.” යැයි දෙදෙනම එකඟ වූහ. මානවකයා වටා තෙවරක් ප්‍රදක්‍ෂිණාකොට වැඳ අවසර ගෙන වම් මඟින් හුදෙකලාව ඇය නික්ම ගියා ය. මානවකයා දකුණු මං බලා ගමගනි ඔවුන් දෙදෙනා වෙන්ව ගිය කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය.

පිළිතුර
මගධ රට මහානීර්ථ නම් බමුණගම කපිල නම් බමුණාට දාව උපන් පිඵ්ඵලී නම් දරුවා තාරුණ්‍යයට පත්ව මදුරට සාගල පුරයෙහි භද්‍රාකාපිලානී නම් දියණිය විවාහයෙන් පසුව දෙදෙනා සිය කැමැත්තෙන් ගිහිගෙය අතැර පැවිදි වීම සඳහා පිටත්ව ගිය අවස්ථාව මෙම පාඨයෙන් කියවෙයි.

සම්බුද්ධ ශාසනයෙහි තෙවන ශ්‍රාවක වශයෙන් සඳහන්වන ධූතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නමින් පසුව ඉහත සඳහන් පිප්ඵලී මානවකයා ප්‍රකට විය.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]