Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බාහිර පෙනුමෙන් පුද්ගල වටිනාකම මැනිය හැකි ද?

බාහිර ස්වරූපය හා ඔපය නිසා පුද්ගල වටිනාකම මැනීම අසාර්ථක ක්‍රමයකි.රූපය, උස මහත, ශරීර ලක්ෂණ හේතු කර සමාජයේ ගරුනම්බු ලබන අවස්ථා අප දැක ඇත. එහෙත් එය නිවැරැදි නිර්නායක නොවේ. බුදුරදුන් දවසද මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබේ

(ඉකුත් 08 වන දා බාහිර අලංකාරයට වඩා පිවිතුරු සිතිවිලි බලවත් මැයින් පළ වූ ලිපියෙහි තවත් කොටසකි මේ.)

එම භික්ෂූන් වහන්සේට වැද්දා මරා දැමීමේ චේතනාවක් නොවූ බව පැහැදිලිය. සුනඛයන් රැවටුණේ චීවරයටය.

පුද්ගලයෙක්ගේ යහපත් සිතිවිලි, අභ්‍යන්තරික සංහිඳියාව බුදුදහම අගය කරයි. යමෙක්ගේ චරිත ස්වරූපය කුමන අන්දමක පැවතියද ආධ්‍යාත්මය හොඳින් ඉදිරියට රැගෙන ගිය පුද්ගල චරිත පිළිබඳව අපට බෞද්ධ කථාවල අසන්නට ලැබේ.

“අලඞ්කතො චෙපි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරි”
(දණ්ඩවර්ගය)

යමෙක් විවිධ විසිතුරු දේ, රාජකීය ආභරණ ආදිය පැළඳ සිටියත් ඔහුගේ අභ්‍යන්තරය දමනය වී ඇත්තේ නම් ඔහු යහපත් පුද්ගලයෙක් ලෙස සැලකෙයි.

සන්තතී ඇමැති තෙම රාජාභරණ සහිතව බුදුරදුන් දැකීමට ගොස් ධර්මය අසන්නෙක් වන අතර, ඔහු රහත් බවට පත්විය. ඔහු රහත් බවට පත්වන අවස්ථාවේ රාජාභරණ පැළඳ සිටීම එම උසස් තත්ත්වයට පත්වීමට බාධාවක් නොවීය. ඔහු තුළ ඇතිව තිබූ ආධ්‍යාත්මික සංහිඳියාව වඩා වැදගත් විය.

ඔබ අසා ඇති දාරුචිරිය කථාවේ ඔහු පොරවා සිටියේ දරවලින් නිමවු රළු ඇඳුමක් වුණ ද ධර්ම ශ්‍රවණයෙන් දාරුචිරිය රහත් බවට එළඹුණේය. ඔහු රහත් බවට පත්වූයේ බුද්ධ දේශනාව ශ්‍රවණයෙන් මිස රළු ඇඳුම නිසාවෙන් නොවේ. අභ්‍යන්තර පාරිශුද්ධිය වඩා වැදගත් බැව් එම බෞද්ධ ප්‍රවෘත්තියෙන්ද තහවුරු කෙරේ.

තවත් සමහරු පුද්ගල වටිනාකම මැනීම සඳහා නිර්නායක සපයාගනුයේ කටහඬ , උගත්කම, කටපාඩම්, ආදි දක්ෂතා සලකමිනි. බුදුදහම එය එතරම් හොඳ මැනීමක් ලෙස පිළිනොගනී.

බෞද්ධ ඉතිහාසයේ විසූ චුල්ලපන්ථක හිමිට එක ගාථාවක්වත් කටපාඩම් නොවුණත් උන්වහන්සේ උතුම් අර්හත් බව ලැබීය. උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් විසින් ලබා දෙන ලද “පදුමං යථා කොකනදං සුගන්ධං” යන ගාථාව සිවුමසක කාලයක් තුළ කටපාඩම් කර ගැනීමට උන්වහන්සේ අපොහොසත් වූ අතර බුදුරදුන් හමුවූ චුල්ලපන්ථක හිමි තමන්ට ගාථා පාඩම් නොහිටින බවත්, පැවිදි බව දරාසිටීම අපහසු බවත් ප්‍රකාශ කළ කල්හි බුදුන් වහන්සේ උන්වහන්සේට ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන් සේක. එනම්, සුදු රෙදි කඩක් ගෙන “රජොහරණං රජොහරණං.... යනුවෙන් කියමින් රෙදිකඩ පිරිමදින ලෙස කී සේක. සිය දහඩියෙන් හා සූර්ය ආලෝකයෙන් කිලුටු වූ, අවපැහැයට පත්වූ රෙදිකඩ කෙරෙහි සිත යොමු කළ චුල්ලපන්ථක හිමි ධර්මාවබෝධය ලැබීය.

ධර්මධරයන් කෙසේ තීරණය වේද?

බුද්ධ ශාසනයේ කටපාඩමට වඩාත් දක්ෂ වූ ධර්ම භාණ්ඩාගාරික ලෙසින් විරුධාවලි ලත් ආනන්ද හිමියෝ අර්හත් බවට පත්වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැති දිනට පෙර දිනයේ දීය. ඒ නිසා ධර්මය කට පාඩමේ තිබූ පමණින් ධර්මාවබෝධය නොලබන බව වටහා ගත යුතු වේ.

“න තාවතා ධම්මධරො - යාවතා බහු භාසති”
බොහෝ ධර්ම කාරණ කථාකළ පමණින් ධර්මධරයන් නොවේ’
“ඛෙමී අවේරී, අභයො පණ්ඩිතොති පවුච්චති”
(ධම්මටවර්ගය)

“ඛෙමී” -කේමය හෙවත් යහපත ලබාදෙන්නේද,
” අවෙරී” අවෛරයෙන් යුක්ත වන්නේද,
“අභයො “ ලෝකයට අභය දානය දෙන්නේද

එවන් ධර්මය දන්නා පුද්ගලයා ධර්මධරයෙක් වෙයි. හුදෙක් ධර්මය පාඩමේ තබාගන්නා ධර්මධරයෙක් නොවේ. පණ්ඩිතයෙක් ලෙස හැඳින්විය හැක්කේ ධර්මය දැන ධර්මය භාවිතා කරන්නාය. අභාවිත ධර්මයෙන් ඵලයක් නොමැති බව අප සිහිකළ යුතුය.

බාහිර ස්වරූපයෙන් පුද්ගල වටිනාකම මැනිය හැකිද?

බාහිර ස්වරූපය හා ඔපය නිසා පුද්ගල වටිනාකම මැනීම අසාර්ථක ක්‍රමයකි.රූපය, උස මහත, ශරීර ලක්ෂණ හේතු කර සමාජයේ ගරුනම්බු ලබන අවස්ථා අප දැක ඇත. එහෙත් එය නිවැරැදි නිර්නායක නොවේ. බුදුරදුන් දවසද මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබේ. එදා විසූ ලකුණ්ටකභද්දිය හිමි ඉතා මිටි සිරුරක් හිමි බුද්ධියෙන් උසස් හිමිනමකි. රහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරයේ මිටි බව නිසා භික්ෂූන් වහන්සේලාගේ උසුළු විසුළුවලට ලක්වූ අවස්ථා වූහ. බොහෝ අවස්ථාවල උන්වහන්සේ සහ පිරිවර පසුපසින්ම වැඩියහ. දිනක මේ බැව් දුටු බුදුහිමි,

”ජින්නසොතං අඛන්ධනං”

ලකුණ්ටකභද්දිය හිමි කෙලෙස් නමැති සැඩ දියපහර කපා සසර බැඳීම් නැතිකර රහත් බවට පත් වූ හිමිනමක් බවත්, ශරීර ප්‍රමාණයෙන් වෙනස් වුවද උන්වහන්සේට වෙනත් දුබලතාවයක් නැතැයි ප්‍රකාශ කළ සේක.

“නෙලගෙගා සෙතපච්ඡාදො
එකාරො වත්තතී රථො
අනීඝං පස්ස ආයන්තං
ඡින්නසොතං අඛන්ධනං”
(ලකුණ්ටකභද්දිය සුත්තං)

තනි රෝදයෙන් එන කරත්තයක් මෙන් ශරීරයෙන් වෙනස් ප්‍රමාණ වුවද මේ භික්ෂුව සසර බැමි බිඳ රහත් වී ඇතැයි එම ගාථාවේ අරුතයි.

අද ධර්මයේ ඉදිරියට යන්නේ ස්ත්‍රීන්ද? පිරිමින්ද? යන කතිකාවත අද දක්නට ලැබෙන්නකි. බුදුදහමට අනුව විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට ලිංගභේදය අදාළ නොවන මුත් ඛුද්ධත්වය සඳහා ලිංග භේදයේ බලපෑමක් ඇත.

එදා සෝමා තෙරණිය ගසක් මුල භාවනාවේ යෙදෙමින් සිටින කල්හි එහි පැමිණි මාරයා මෙසේ පවසා ඇත.

“යංතං ඉසීහි පත්තබ්බං
ඨානං දුරභිසමඟවං
න තං ද්වඞ්ගුල පඤ්ඤාය
සකකා පපොතුමිත්ථියා”

යං තං ඉසීහි පත්තබ්බං – ඍෂිවරුන් පැමිණිය යුතු

“ඨානං දුරභිසමභවං” ඉතා අපහසුවෙන් අවබෝධ කළ යුතු රහත් බව වැනි තත්ත්වයට

“ න තං ද්වඞ්ගුල පඤඤාය- “ නෑඹුල් නුවණක් ඇති

“ සකකා පපෙපා තුමිÀථියා “ -ස්ත්‍රියක් පත්වන්නේ කෙසේද?

එවිට සෝමා තෙරණිය මෙසේ මාරයාට අභියෝග කළාය.

ඉත්ථිභාවො නා කිං කයිරා
චිත්තම්හි සුසමාහිතේ
ඤාණම්හි වතතමානමහි
සම්මා ධම්ම විපස්සනා”

(සොමාථෙරිගාථා)

“ඉÀථිභාවො නො කිං කයිරා “ –මාරය තට මගේ ස්ත්‍රී බවෙන් ඵල කිමෙක්ද?

“ චිත්තම්හි සුසමාහිතේ – මම ප්‍රඥාවෙන් යුතුනම් ඤාණයෙන් යුතුනම්

“ඤාණම්හි වතතමානම්හි” මම නිවරැදිව ධර්මය දකින්නේ නම්,

“ සම්මා ධම්මා විපස්සනා - ස්ත්‍රිත්වයෙන් තට ඇති ඵලයක් නැත. යනුවෙන් සෝමා තෙරණිය අභියෝග කළ සේක. ඒ නිසා ආධ්‍යාත්මික සංවර්ධනයට ලිංගභේදය වැදගත් නොවන බව පැහැදිලිය.

වත්මන් සමාජයේ යමෙක් විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා දුසිල්වත් ද, සිල්වත්ද, යන බව බාහිර ස්වරූපය අනුව තීරණය කොට පහදින අවස්ථා අප දැක ඇත. එය අසාර්ථක මිනුම් ක්‍රමයර්ථක මිනුම් ක්‍රමයකි. පහත සඳහන් කථා පුවත (ගොධජාතකවණ්ණනා) එයට නිදසුනක් ලෙස දක්වමි.

මතු සම්බන්ධයි

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.