Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - වලාවෙන් මිදුණු පුර සඳ බඳුව...

වලාවෙන් මිදුණු පුර සඳ බඳුව...

යස්ස පාපං කතං කම්මං
කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත් ඔබ සූදානම් වන්නේ සුමිහිරි බණපදයක් සිතට ගෙන තමන් තුළ පවතින නොදැනුම්වත්කම් අගුණ දුර්වලකම් මඟ හරවා යහපත් මිනිසකු වනවා යන චේතනාවෙන් දෙලොව සැනසීම ඇතිකර ගැනීමටයි. ධර්මය නිවැරැදි ලෙස දකින්නට නම් ජීවිතය පිළිබඳ විනිවිද පෙනෙන නුවණක් අවශ්‍ය වනවා. ධර්ම ගම්භීරත්වය වුවමනා වනවා.

ගම්භීරො, දුද්දසො, දුරනුබෝධො, අතක්කාවචරො, පණීතො , නිපුනො, පණ්ඩිත වේදනීයො යනාදි දහම් පදවලින් කියැවෙන්නේ මේ තථාගත දහමේ ගැඹුරු බවයි. ගැඹුරු නුවණක් තිබෙන කෙනකුට පමණක් අවබෝධ කර ගැනීමට හැකි මේ ධර්මයෙහි දිගු කාලීනව යෙදී උත්සාහ කළහොත් එයින් ප්‍රතිඵල ලබන්නට පහසුයි.

ජීවිතය හා ලෝකය පිළිබඳ පිරිසුදු දැනුමක් ඇතිව සුව පහසුවෙන් ජීවත් වන්නට ධර්මය පිළිබඳ ඇති අවබෝධය අත්‍යවශ්‍යයි. මන්ද? බෞද්ධ දර්ශනය ලෝකයේ ඇති සාරධර්ම කැටි කළ තැන නිසා.

මා මාතෘකා කළ ගාථා රත්නය ධම්මපදයේ ලෝක වග්ගයට අයත්. එහි සරල අදහස, යමකු විසින් කරන ලද පාප කර්ම ඔහු විසින් පසුව කරන ලද කුසල කර්මවලින් වැසී යනවා නම් ඒ තැනැත්තා වලාකුළින් මිදුණු සුපුන් සඳ සේ ලොවම එළිය කරන්නේය යනුයි. බැලූ බැල්මට සරල අදහසක් ගම්‍ය වන නමුත් මෙහි අභ්‍යන්තර අර්ථය ඉතා ගැඹුරුයි. මෙතැනදී මේ ගාථා ධර්මය දේශනා කරන්නට හේතුව, නොඑසේ නම් නිදාන කථාව කෙටියෙන් නමුත් දැනගත්විට මෙයින් කියැවෙන ගැඹුරු අරුත නිවැරැදිව වටහා ගැනීම පහසු වනවා.

අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අංගුලිමාල මහ රහතන් වහන්සේ මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. පසේනදී කොසොල් මහ රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍ර රත්නය අහිංසක කුමාරයා. නිසි වයස එළැඹුණා. අධ්‍යාපනය ලබා දෙන්නට තක්සලාවේ දිසාපාමොක් ඇදුරිඳු වෙතට කුමරුන් භාර කළා. රජ මැති ඇමැතිවරුන් ගේ බමුණන් ගේ දරුවන් ඉගෙන ගත්තේ මෙතැන. අහිංසක බොහොම කීකරු දක්‍ෂ ශිෂ්‍යයෙක්. ඇදුරු ප්‍රජාවගෙ හිත ඉක්මනින් දිනාගත්තා. විනීත චරිතය , උද්‍යෝගය, බුද්ධිමත්කම , ඉවසීම, නිහතමානි ගුණය ආදි උසස් ගුණාංග මේ චරිතය තුළ කැපී පෙනුණා. ඉක්මනින් සිප් සතර ඉගෙන ගත්තා.

අහිංසක ශිෂ්‍යයාට ගුරුවරුන්ගෙ ආදරය ලැබෙන්න ලැබෙන්න අනෙක් සිසුන් ඊර්ෂ්‍යා කළා. දිසාපාමොක් ඇදුරුතුමන්ට කේලාම් කියා ඔහුගේ සිත සසල වන තැනට කරුණු යෙදුවා. අහිංසක තමන් ට විරුද්ධව ක්‍රියා කරන දුෂ්ට අසද්පුරුෂයකු සේ දුටු ඇදුරුතුමා උපක්‍රමශීලිව අනුන් අතින් ඔහුට මරණය උරුම කර දෙන වැඩපිළිවෙළ සකස් කළා. ගුරු පූජාව සඳහා ඇඟිලි දහසක මාලයක් ලබාදෙන ලෙස නියෝග කළා. පුදුමයට පත් අහිංසක කෙසේ නමුත් වනගතව සැඟව සිට මිනිසුන් මරා ඇඟිලි මාලය සදන්න පටන් ගත්තා.

මේ වන විට අසමසම බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහ වෙහෙර වැඩ සිට කුලුණු සිතින් ලොව බලා වදාරණවා. උන්වහන්සේ ගේ කරුණා දැලට මේ අඟුල්මල් හසුවෙනවා. ඔහු මාතෘඝාතක ආනන්තරිය පාපකර්මයෙන් මුදවා ශාන්ත නිවන් පුර රුවන් දොර විවර කරදී බොදු සව්වකු බවට පත් කළා. මහ රහතන් වහන්සේ නමක් ලෙස කලකට පසු අඟුල්මල් තෙරණුවෝ පරිනිවන්පා වදාළා. දිනක් දම් සභා මණ්ඩපයේදී පෘථග්ජන භික්‍ෂූන් අතර කථාවක් ඇති වෙනවා. “මේ තරම් මිනී මරපු තැනැත්තකු ව සිටි අංගුලිමාල හිමියන් කොහේ කොතැනක උපදින්න ඇද්ද” කියා. බුදුරදුන් පිළිතුරු සපයනවා, උන්වහන්සේ සිදු කළ අකුසල් අහෝසි වී රහතන් වහන්සේ නමක් ලෙසයි පිරිනිවන් වැඩියේ කියා. බොහෝ දෙනකුට ගැටලුවක් මෙතරම් මිනිසුන් මරලත් එහි අනිටු විපාක නැත්තේ ඇයි කියා. ඊට පිළිතුරු ලෙසයි බුදු සමිදාණෝ ඉහත ගාථාව දේශනා කළේ.

මාතෘකා ගාථාවේ සඳහන් වෙනවා අපගේ විශේෂ අවධානය යොමු කළ යුතු දහම් පද කිහිපයක්. පාප, කුසල,ලෝක යනුවෙන්. මෙතැන පාප කියන්නේ ‘පහළ ට ඇද වැටෙන’ කියන අදහස. දිව්‍ය මනුෂ්‍ය නිවන් කියන ත්‍රිවර්ග සම්පත් අහිමි කරන, අපා දුක් ලබා දෙන, රෝ දුක් පීඩා ඇති කරන ක්‍රියාවන්. ඊළඟට කුසල් කියන්නේ කවරකටද? අකුසල කර්ම සොලවා දමන, කම්පනයට පත් කරන, විනාශ කර දමන කියන අර්ථයයි. කුසල යන පදයෙන් අර්ථවත් වන්නේ එයයි. අකුසල මූලයන්ට විරුද්ධ අලෝභ අදෝෂ අමෝහ කියන කුසල මුල් පදනම්ව කෙරෙන කායික වාචසික මානසික ක්‍රියාවලියයි කුසල කියන්නෙ.

මීළඟට අපගේ අවධානය යොමුවිය යුත්තේ බුදු දහමේ ඉතා සංකීර්ණ දහම් පදයක් සේ විග්‍රහ කෙරෙන ‘ඉමං ලෝකං’ කියන බණ පදයට. ‘ලෝක’ යන මේ වචනය සම්බන්ධයෙන් අද සමාජයේ ඉතා අපැහැදිලි ඒ වගේම සංකීර්ණ අර්ථ භාවිත වනවා. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, මනුෂ්‍යලෝක , කාම ලෝක, ග්‍රහ ලෝක ආදී වශයෙන්. සංයුක්ත නිකායට අනුව සමිද්ධි හිමියන් බුදුරදුන්ගෙන් මෙහෙම අසනවා. “ලෝකෝති ලෝකෝති භන්තෙ වුච්චති. කින්තාවතා ඛෝ භන්තේ ලෝකෝ වා අස්ස ලෝක පඤ්ඤත්ති” කියා . ‘ස්වාමීනි ලෝකය ලෝකය කියා කියනවා. මොනවා හේතු කොට ගෙනද ලෝකය නිර්මාණය වෙන්නෙ’ යන්න එහි අර්ථයයි. බුදුරදුන් එහිදී ලෝකය විස්තර කළේ ඇස් තිබෙනවා; ඇස මුල් කොට ගෙන ඇතිවන සිත තිබෙනවා; ඒ සිතින් දැනගත යුතුදේ තිබෙනවා; මේකටයි ලෝකය කියන්නේ ආදි වශයෙන්. එහෙම නම් ලෝකය කියන්නේ ප්‍රඥප්තියක්. කෙටියෙන් කිවහොත් ඇස, කන ආදි ෂඩ් ඉන්ද්‍රියත් රූප ශබ්ද ආදි අරමුණුත් මේ ඉන්ද්‍රිය හා අරමුණු අතර ස්පර්ශයත් නිසා පුද්ගලයා තුළ ඇතිවන දැන හඳුනා ගැනීමත් යන සියල්ලටමයි ලෝකය කියන්නේ.

වලාකුළු නැති අවස්ථාවල චන්ද්‍රාලෝකයෙන් අවට පරිසරය බැබළෙනවා. තමන් විසින් කරන ලද පව්, කුසල බලයෙන් යටපත් කොට දස සංයෝජන ප්‍රහීන කොට සුපිරිසුදු බවට පත් වෙන පුද්ගලයා තමන් බැබළෙනවා වගේම සමාජයේත් දුක් අන්ධකාරය දුරු කරමින් ආලෝකය ලබා දෙනවා. වලාකුළුවලින් මිදුණු චන්ද්‍රයා වගෙයි. එබැවින් උදාසීනව නොසිට අතීත දුබලතා, ත්‍රිවිධ දුෂ්චරිත ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී යහගුණ සංවර්ධනය කරගෙන අංග සම්පූර්ණ මනුෂ්‍යයන් වන්නට උත්සාහ දරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.