Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අකාලික මුනි දහම

ශ්‍රැතවත් ශ්‍රාවකයාගේ සිට රහතන් වහන්සේ දක්වා ම බලන්න, දකින්න, විමසන්න තිබෙන්නේ එකම දෙයයි. නමුත් ශ්‍රැතවත් ශ්‍රැවකයාගේ දැනුමට වඩා සෝතාපන්න ශ්‍රාවකයාගේ් දැනුම ගැඹුරු යි. ඊට ම වඩා ගැඹුරු දැනුමක් සකෘදාගාමි ශ්‍රාවකයාට තිබෙනවා. ඒ ආකාරයට අනාගාමි රහතන් වහන්සේලාගේ දැනුම අනු පිළිවෙලින් දියුණු තියුණු වෙනවා. නමුත් හැම කෙනාගේ ම ක්‍රියාව බවට පත්වුණේ එකම දහමක් පිළිබඳව කරන විමර්ශනය යි.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා දුක් විඳින සත්ත්වයන්ට ඒ දුකෙන් එතෙර වීමට ඇති මාර්ගය කියා දෙනවා. ප්‍රඥා ඇස ලබා දෙනවා. සංසාර දුකෙන් ලැබෙන්නා වූ සුවය පිළිබඳ ව කියා දෙනවා.

ජීවිතය කියන්නේ අවිනිශ්චිත තැනක්. ඒ නිසා කිනම් අවස්ථාවක කිනම් මොහොතක අපගේ ජීවිතය බිඳි වැටෙනවාද කියා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා මට ප්‍රමාද වෙන්න කාලයක් නැහැ. මට අද අදම කළයුත්තක් තියෙනවා කියා සිහි කරන්න ඕනෑ. මම මගේ ශක්ති ප්‍රමාණයෙන් අපට ලැබෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය උදව් කරගෙන නිවැරැදි පිළිවෙතක් හඳුනාගෙන ඒ තුළ යෙදෙන්නට උත්සාහයක් ගත යුතුයි. ඒ සඳහා රාග, ද්වේශ, මෝහයන්ගෙන් මිදීමට තිබෙන පිළිවෙලක් තථාගතයන් වහන්සේ අපට කියා දෙනවා.

බුදුජාණන් වහන්සේ මහ පරිනිර්වාණ සූත්‍රයේ දී න්‍යායක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි සූත‍්‍රයේ බලන්න. විනයේ සසඳන්න කියන න්‍යාය ය. එවිට රාග, ද්වේශ, මෝහ සියල්ල දුරු වී යන්නේ ද පටිච්චසමුප්පාදය වැනි ධර්මයන්ට සැසෙඳනවා ද ගැලපෙනවා ද කියා නුවණින් විමසා බලන්න ඕන.

අපට හමුවන සමහර බුද්ධ දේශනාවල දුක්ඛ සත්‍යයට පමණක් අයිති කොටසක් තිබෙනවා. සමහර දේශනා තුළ සමුදය සත්‍යය තිබෙනවා. සමහර දේශනාවල දුක්ඛ, සමුදය කියන කොටස් දෙකම තිබෙනවා. මේ ආකාරයට සත්‍ය එකක් දෙකක් තුනක් හා හතරම තියෙන දේශනා දකින්නට ලැබෙනවා. එනිසා අප අසන දේශනා මේ සත්‍ය හතරෙන් තොරවන්න බැහැ. මේ සත්‍ය හතරට ගැලපෙන්න අනුගත වෙන්න ඕන.

තථාගතයන් වහන්සේ වදාළා කවුරුහරි යමක් කියනවානම් එය හොඳින් අසන්න. අහල හිතට ගන්න. නමුත් ක්‍රියාවට නගන්න කලින් චතුරාර්ය සත්‍යයට ගලපා බලන්න. එහෙම නැත්නම් මේ ධර්මය තුළ භාවිත කළයුතුª වැඩපිළිවෙල වන රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් ඇත්දැයි සොයා බලන්න කියා දේශනා කොට වදාළා. ඒ වගේම උන්වහන්සේ කියා දෙනවා ත්‍රිපිටක ධර්මය ශාස්තෘවරයා හැටියට තබා ගන්නා ලෙස. එදා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ දී ආනන්ද හිමියන් තම හඬින් හඬා වැලපුණා. අප අනාථයි. අසරණයි. අපට කෝ ශාස්තෘවරයෙක්. අප අතරමං වුනා කියාල. එවළෙහි තථාගතයන් වහන්සේ වදාළේ “ආනන්ද එසේ කියන්න එපා. මගේ පිරිනිවන් පෑමෙන් පසු ඔබලා ට ශාස්තෘවරයෙක් අහිමි වන්නේ නැහැ. මගේ් ගුරුවරයා බවට මම පත්කර ගත්තෙත් මේ ශශ්‍රී සද්ධර්මය යි. ඔබේත් මගේත් ශාස්තෘවරයා මේ ධර්මය යි. මම පිරිනිවන් පෑවට ශාස්තෘවරයා පිරිනිවන් පාන්නේ නැහැ’ කියා බුදුරජාණන් වහන්සේ වදාළා. සංයුක්ත නිකායේ ධම්මපටික වර්ගයේ දේශනාව හමුවෙනවා අප කෙබඳු දෙයක් ඇසිය යුතු ද? කෙබඳු දෙයක් නැවත නැවත මෙනෙහි කළ යුතු ද? සිහි කළ යුතු ද? ඒ වැඩපිළිවෙල කෙබඳු තැනකින් අවසන් විය යුතුදැයි කියා එහිදී එක් ස්වාමින් වහන්සේ නමක් අසනවා භාග්‍යවතුන් වහන්ස, ධම්මකථිකයා ධම්මකථිකයා කියනවා. ධම්මකථිකයා කියන්නේ කාට ද? බුදුරජාණන් වහන්සේ ද වදාළ ධම්මකථික භික්ෂුව කියා යමෙකුට කියනවානම් යමෙකු හඳුන්වනවා නම් ඔහු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධය පිළිබඳව කළකිරීම් පිණිස නො ඇලීම පිණිස නැවත්ම පිණිස කියාදෙන කෙනෙක් වෙන්න ඕන. රූපස්කන්ධයන් පිළිබඳව කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැවැත්ම පිණිස යමෙක් අනුශාසනා කරනවානම් එබඳු පුද්ගලයා හඳුන්වනවා ධර්ම කථිකයා කියලා.

එය වර්තමානයේ දහම පිළිබඳව සොයන විමසන ගවේශනය කරන කෙනෙකුට ආරම්භ කරන්න හොඳ තැනක්. නමුත් මේ වචන තුළ අපට සීමාවෙන්න බැහැ. යම් භික්ෂුවක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් වාසය කරන්නේ ද ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නේ ද ඔහු රූපස්කන්ධයේ කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැවැත්ම පිණිස පිළිපදින කෙනෙක්. ඒ පිළිපැදීම අවසන් වන්නේ් සියලු දුකෙන් එතෙර වූ රහතන් වහන්සේ ලෙසයි. ඒ රහතන් වහන්සේ රූපාධිස්කන්ධයෙන් මිඳුන කෙනෙක්. පංච උපාධානස්කන්ධය පිළිබඳව කලකිරුණු නො ඇලුනු එහි පැවැත්ම නතර කළ පුද්ගලයාට යි රහතන් වහන්සේ කියන්නේ.

සංයුක්ත නිකායේ සීල සූත්‍රයේ සඳහන් වෙනවා. සාරිපුත්ති සහ කොට්ඨිත්ත මහ රහතන් වහන්සේලාගේ සංවාදයක්. එහිදී කොට්ඨිත්ත හිමියන් අසනව ස්වාමිනි “මේ ශාසනයේ ශ්‍රැතවත් ශ්‍රාවකයා කුමක් මෙනෙහි කළ යුතු ද?” කියලා. එයට පිළිතුරු දෙමින් සැරියුත් මහ රහතන් වහන්සේ වදාළා මේ පංච උපාධානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, ගඩුවයක්, ආබාධයක්, බිඳෙන දෙයක්, අන්සතු දෙයක්, දුකක්, උලක්, ශූන්‍ය දෙයක්, අනාත්ම දෙයක් ලෙස නුවණින් මෙනෙහි කළ යුතු බව. එසේ නුවණින් විමසන විට සෝතාපත්ති ඵලයට පත්වෙනවා යැයි වදාළා. ස්වාමිනි, සෝතාපත්ති ඵලයට පත් වූ පුද්ගලයා මෙනෙහි කළ යුත්තේ කුමක් ද? ඒ සඳහාත් උන්වහන්සේ වදාළේ පංච උපාධානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්, ගඩුවක් වශයෙන් ආදී ලෙස මෙනෙහි කළ යුතු බවයි. එවිට ඔහු සකෘදාගාමි වෙනවා. ස්වාමිනි, සකෘදාගාමි පුද්ගලයා මෙනෙහි කළ යුත්තේ කුමක් ද? කොට්ඨිත්තයනි, ඔහු මෙනෙහි කළ යුත්තේ ත් පෙර කී ලෙසම පංච උපාධානස්කන්ධයම යි. එවිට ඔහු අනාගාමි ඵලයට පත්වෙනවා. ස්වාමිනි, අනාගාමි පුද්ගලයා මෙනෙහි කළ යුත්තේ කුමක් ද? ඔහු මෙනෙහි කළ යුත්තේ ත් මේ පංච උපාධානස්කන්ධයම යි. එවිට ඔහු රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. ස්වාමිනි, රහතන් වහන්සේටත් මෙනෙහි කළ යුත්තක් තිබෙනවා ද? කොට්ඨිත්ත, රහතන් වහන්සේට කළ යුත්තක් නැහැ. නමුත් උන්වහන්සේ දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස පංච උපාධානස්කන්ධය පෙර කී ආකාරයටම නුවණින් මෙනෙහි කිරීම කළයුතු බව සඳහන් කොට වදාළා.

එනිසා ශ්‍රැතවත් ශ්‍රාවකයාගේ් සිට රහතන් වහන්සේ දක්වා ම බලන්න, දකින්න, විමසන්න තිබෙන්නේ එකම දෙයයි. නමුත් ශ්‍රැතවත් ශ්‍රැවකයාගේ දැනුමට වඩා සෝතාපන්න ශ්‍රාවකයාගේ් දැනුම ගැඹුරු යි. ඊට ම වඩා ගැඹුරු දැනුමක් සකෘදාගාමි ශ්‍රාවකයාට තිබෙනවා. ඒ ආකාරයට අනාගාමි රහතන් වහන්සේලාගේ දැනුම අනු පිළිවෙලින් දියුණු තියුණු වෙනවා. නමුත් හැම කෙනාගේ ම ක්‍රියාව බවට පත්වුණේ එකම දහමක් පිළිබඳව කරන විමර්ශනය යි. එසේනම් මේ පංච උපාධානස්කන්ධය පිළිබඳව මේ වර්තමාන ලෝකය තුළ නිවැරැදිව විවරණයක් තිබෙන්න ඕන.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.