UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිත වත් විය යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර
‘තීනි සුචරිතානි’ යනුවෙන් ධර්ම ග්‍රන්ථවල සඳහන්වන්නේ යහපත් හැසිරීම දොරටු තුනකින් සිදුවිය යුතු බවය. කාය සුචරිතය වචී සුචරිතය මනෝ හෙවත් සිතෙහි සුචරිතවත් බවය.

ප්‍රශ්නය
බුදු සිරිතෙහි නිරතුරුව -
1. ලොකත්ථ චරියා
2. ඤාතත්ථ චරියා
3. බුද්ධත්ථ චරියා
යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද?

පිළිතුර
1. දෙවි – මිනිසුන් සහිත ලෝවැසියා සසර දුකින් මුදාලනු පිණිස තථාගතයන් වහන්සේ ගත කළ කාලය ‘ලෝකත්ථචරියා’ නම් වෙයි.

2. සිය නෑසියන්ගේ යහපත සඳහා කළ ධර්ම චාරිකාව ‘ඤාතත්ථ චරියා’ නම්වෙයි.

3. බුදුබව ලබාගැනීම සඳහා පාරමී ධර්ම පුරමින් ගත කළ කාලය බුද්ධත්ථ චරියා නම් වෙයි.

ප්‍රශ්නය
පුද්ගල ජීවිතයෙහි ආධ්‍යාත්මය වනසාලන නිශ්චිත කරුණු තුනක් නම්,

1. අසීමිත ආශාව, 2. අතෘප්තිය, 3. පමණ නොදැනීම. මෙම කරුණු ධර්මයේ සඳහන් වන්නේ කුමන නමකින්ද?

පිළිතුර
ආධ්‍යාත්මික දියුණුව බාධා කරන කරුණු වශයෙන් ‘තයො පටික්ඛ්‍යො’ ප්‍රතික්ෂේප කළයුතු වශයෙන්

1. මහිච්ඡතා - (අසීමිත ආශාව)
2. අසන්තුට්ඨිතා - (තෘප්තිමත් නොවීම)
3. අමතඤ්ඤතා - (පමණ නො දැනීම)

කුසල ධර්මයන්ගේ පරිහානියට සහ අකුසල ධර්මයන්ගේ වර්ධනයට හේතුවන බලගතු සාධක වශයෙන් මෙම කරුණු දේශනාවන් හි සඳහන් වෙයි.

ප්‍රශ්නය
‘හිංසා පිණිස දඬු මුගුරු ආදී කිසිවක් නොගෙන සියලු සතුන් කෙරේ ක්ෂාන්ති මෛත්‍රී ආදියෙහි සිටි බැවින් මම සිටියෙමි එකී ගුණයන්හි නොසිට පර පණ නසන තෝ නොසිටියෙහි ය’යි වදාරමින් බුදුරුව දක්වා බුදුහු දහම් දෙසන්නට වන්හ. මෙම දේශනාව කළේ කවුරුන් උදෙසාද?

පිළිතුර
අඟුල්මල් සොරුවෙතට බුදුරදුන් වැඩම කර වදාළ අවස්ථාවෙහිදීය.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ‘මහානාරද කස්සප’ ජාතකය බිම්සර රජු හා පිරිසට දේශනා කළහ. සෝවාන් බිම්සර මහරජතුමා බුදුරදුන් වෙත පැමිණ තමා ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. මෙම ප්‍රාර්ථනා පස මොනවාද?

පිළිතුර
බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා මෙසේ ය.

මගධයේ රජ බවට පත් වීම, තම රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගැනීම, බුදුන් වහන්සේගෙන් දහම් ඇසීම, බුදුරදුන් ඇසුරු කිරීමේ කැමැත්ත, ධර්මාවබෝධය.

ප්‍රශ්නය
මෙම තුන්වැදෑරුම් තෘෂ්ණාව සමුදයාර්ථ සත්‍යය නම් වේ. පැහැදිලි කරන්න.

පිළිතුර
මහණෙනි, දුක්ඛ සමුදයාර්ථ සත්‍යය යනු කවරේද? නැවත නැවත ඉපදීම් ඇතිකරන්නාවූ නන්දිරාගය හා එක්ව හටගන්නාවූ ඒ ඒ උපනුපන් භවය ඇල්ම කරන්නාවූ යම් තෘෂ්ණාවක් වේද එයයි. ඒ කවරේද?

කාම තෘෂ්ණාව
භව තෘෂ්ණාව
විභව තෘෂ්ණාව
යන මේ තුන් වැදෑම් තෘෂ්ණාව සමුදයාර්ථ සත්‍යය නම් වෙයි.

ප්‍රශ්නය
ප්‍රථම වතාවට තිසරණ ගොස් බුදුසමය වැළඳගත් ගෘහස්ථයා ඔහු විය. ඔහු කවරහුද?

පිළිතුර
යසකුල පුතු පියාණන් බුදු සමය වැළඳගත් පළමූ ගෘහස්ථයා විය.

ප්‍රශ්නය
ලෝක පාලක ධර්ම දෙකක් ඇතිබව ද්වෙ ලොකපාලක ධම්මා - ‘දෙව ධම්මා’ යනු දේශනාවන්හි සඳහන් වෙයි. මෙම ලෝක පාලක ධර්ම මොනවාද?

පිළිතුර
හිරි – ඔතප් දෙක ‘ශුක්ල’ ධර්ම හෙවත් යහපත් ධර්ම ලෙස ඉගැන්වෙයි. හිරි යන්නෙන් පවට ඇති ලජ්ජාවත් ඔතප් යන්නෙන් පවට ඇති බියත් අදහස් වේ. මේ ධර්ම දෙක දේව ධර්ම වශයෙන් හා ලෝක පාලක ධර්ම වශයෙන් හඳුන්වා ඇත.

ප්‍රශ්නය
බුදු දහමට අනුව ලෝකය විස්තර කිරීමෙහිදී ‘ස්කන්ධ පංචකය’ සමඟ ප්‍රභේද කර (බෙදා) දක්වා තිබේ. ‘ද්වෙමෙ ලොකා’ යනුවෙන් සඳහන් වන්නේ එයයි. ධර්මානුකූලව මෙම බෙදීම පැහැදිලි කරන්න.

පිළිතුර
ලෝකය නාම හා රූප වශයෙන් බෙදා දක්වා තිබේ. නාමයන්නෙන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සතර ගැනෙන අතර රූප යන්නෙන් සතර මහා භූත සංඛ්‍යාත භෞතික අංශය ගැනෙයි.

ප්‍රශ්නය
කුසල හා අකුසල ක්‍රියාවලට කම්ම නිදාන හෙවත් මූල තුනක් වෙයි. ධර්මයෙහි තීනි කම්ම නිදානාති යනුවෙන් සඳහන් වන මුල හෙවත් නිදාන මොනවාද?

පිළිතුර
පදගතාර්ථ වශයෙන් ‘මූල’ යනු මුල් යන්නයි. ගසක එහි මුල් තම පදනම හා ශක්තිය කර පවත්නා මෙන් සියලු කුසලාකුසල කර්මයන්ට නිදාන හෙවත් මුල් තුනක් වෙයි. අකුසල මුල් - තීනි අකුසල මුලානි.

ලෝභය – (ඇලීම – ආශාව) (ලුඩ්භතීති ලොගො)

ද්වේෂය නම් සිත කෙලෙසාලන වෛරය, තරහ, ක්‍රෝධය, අමනාපය යන වදනින් සඳහන් කරන (දුස්සතීති දොසො) දේ ය.

මෝහය නම් මුළාවයි. (මුධ්හතීති මෝහෝ) මෝඩකම, විපරිත අර්ථය ගැනීම මෝහයයි.

කුසල මූල නම්,

අලෝභ, අද්වේෂ, අමෝහ, යන ඉහතින් සඳහන් දුර්ගුණයන්ගේ වෙන් වූ සිතිවිලිය.

ප්‍රශ්නය
බුදු දහමට අනුව විශිෂ්ට පාලකයෙකුගේ පරමාදර්ශී ස්වරූපය සක්විති රජුගෙන් මූර්තිමත් වෙයි. බෞද්ධ විග්‍රහයට අනුව මූලික සක්විති වත් යනු මොනවාද?

පිළිතුර
මූලික සක්විති වත් සතරෙකි.

1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම.
2. ජීවිත සුරක්‍ෂිතතාව ඇති කිරීම.
3. ආර්ථික සුරක්‍ෂිතතාව තහවුරු කිරීම.
4. විශාරදයන්ගෙන් උපදෙස් ලබා ගැනීම.

ප්‍රශ්නය
දඹදිව ධර්මාශෝක මහරජු විසින් ලක්දිව රාජ්‍ය විචාළ දෙවනපෑතිස් රජු වෙත එවන පළමු දූත මෙහෙවර කුමක්ද?

පිළිතුර
මිහිඳු මාහිමි දූත මෙහෙවරේ පෙරවදනක් සේ සැලකිය හැකි ප්‍රකාශනයක්. රජු විසින් එවා ඇත. ප්‍රකාශයෙහි ආරම්භය ‘අහං ච බුද්ධං ධම්මං ච සරණං ගතො උපාසකත්තං දෙසේසිං ශක්‍යපුත්තස්ස සාසනෙ ත්වම්පි ඉමානි රතනානි උත්තමානී නරුත්තම. චිත්තං පසාද යත්වාන සද්ධාය සරණං වජ’

මම තෙරුවන් සරණ ගියෙමි. උපාසක බවට පත්වූයෙමි. නරෝත්තමයාණෙනි, තවද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.

ප්‍රශ්නය
ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සාංචි හා භාරත් කැටයම්වල සුවිශේෂත්වය කුමක්ද?

පිළිතුර
සාංචි හා භාරත් කැටයම් වල සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ සහ බුද්ධ රූපය නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. එකල බුදු සිරිතේ විවිධ අවස්ථා වශයෙන් බෝධීන් වහන්සේ සහ ස්ථූපයත් නිරූපණය කර ඇති අතර, ප්‍රථම ධර්ම දේශනය සඳහා ධර්මචක්‍රය සහ මුවෝ දෙදෙනෙක් ඒ දෙපස සිටින බව සටහන් කර ඇත.

ප්‍රශ්නය
බුද්ධ දේශනය සන්දිට්ඨික බව එක් ගුණයකි. එම ධර්ම ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨි නම් දැකීමය. මනා (යහපත්) දැකීම සන්දිට්ඨි නම් වෙයි. ඒ මනාදැක්මට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රත්‍යක්‍ෂය ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැතිවී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නා සේම මනා දැක්මට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වෙයි.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]