UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපගේ මෙම රටේ ලක්‍ෂ ගණනාවක් බෝධිසත්ව ගුණැති දෙමව්පියන්, මහත්ම මහත්මීන්, තරුණ දූ පුතුන් සිටිති. ඒ සියලු දෙනාම මේ රටට ද ලොවට ද ආශිර්වාදයකි. ඒ වාගේම තවත් පිරිසක් නපුරුකම් පිරී ජීවත්වෙන බවත් පෙනෙන්නට තිබේ. අවාසනාවක මහත නම් මෙම පිරිසේ ප්‍රමාණය අඩුවන බවක් පෙනෙන්නට නොතිබීමයි.

කිසියම් හෝ වෙලාවක ඔබත් මෙහෙම සිතා තිබෙනවද? නැතිනම් කවරෙකුගෙන් හෝ අසා තිබෙනවාද? ‘මේ තරම් බණ කියන රටේ ඇයි මේ තරම් අපරාධ කියලා?’ ස්වාමීන් වහන්සේ ඔබගෙන් මෙහෙම අහන්නට කැමතියි. ‘මේ තරම්වත් ගුණ යහපත් මිනිසුන් සකස්වෙලා ජීවත් වෙන්නේ මේ නිරන්තරයෙන් බණ කියන නිසා නොවේද කියලා?’ සෑම ඉරිදාවකම අපේ රටේ සෑම විහාරස්ථානයකම වාගේ දහම් පාසල් පවත්වා, දරුවන්ට යහමඟ පෙන්වා දෙන්නට කොපමණ වෙහෙසක් ගන්නවාද? එය මුදලකට කරන සේවාවක් නොවෙයි. එය ස්වේච්ඡා සේවාවකුයි. පොහොය දවස්වල සෑම විහාරස්ථානයකම, සිය ගණනාවකට, යම් තැනක දහස් ගණනාවකට මෙලොව පරලොව, දෙලොව ජීවිතයේම යහපත පිණිස, සීල, සමාධි, ප්‍රඥා ගුණ ඔස්සේ මාර්ගය සකස් කොට දෙනවාද? සතිපතා, මාස්පතා, තරුණ දහම් හමුව, සිත සුවපත් කරන භාවනා මාර්ගය ඔස්සේත්, කිසිදු භේදයකින් තොරව මනුෂ්‍ය ප්‍රජාවට සෙතක් සළසනවාද? කලාතුරකින් යම්තැනක වැරැද්දක් කෙරෙනවාද දන්නේ නැහැ. එනමුත් මා දන්නා පරිදි, මේ සෑම ස්ථානයකම, ඉතාම සත්භාවයෙනුයි මෙම සේවාවන් සිදු කරන්නේ. මුදල් හරිහම්බ කරගන්නවත්, බෞද්ධාගමට හරවා ගන්නවත්, අහිංසක, දුප්පත් මිනිසුන්ව මුළා කරන්නවත් නොවෙයි.

වර්තමාන, ඔබ පවසන ආකාරයට ‘කාර්යබහුල, හුස්ම ගන්නවත් වෙලාවක් නැති, උදේ පාන්දර මාර යුද්ධයක් වගේ ගෙදර වැඩ ඇති.’ පරිසරයක, ඔබට ඕනෑම වේලාවක නිදහසේ පැමිණෙන්නට හැකි එකම ස්ථානය පූජ්‍ය ස්ථානය පමණයි. බොහෝ දෙනා කලබලකාරී ජීවිත ගත කරති. තම සොහොයුරු සොහොයුරියකගේ නිවසකට වුවද නොදන්වා ගියොත් දෙපිරිසම අපහසුතාවයකට පත්වෙන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. උතුම් බුදු දහමේ ඉගැන්වෙන අපමණ වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ මතුකොට ගෙන, සියලු දෙනාම මුළුමනින්ම සතුටු කළ නොහැකි වූවත්, වැඩි පිරිසකට සැනසිය හැකි මාර්ගයක් ඇති කර ගැනීමට උත්සාහ කරමු. මේ සියලු දේ පවසන්නේ ඔබ කෙරේ කරුණාවෙන් මිස අවමන් කිරීමේ හෝ තමන් පමණක් නිවැරැදියි අනෙක් අය වැරැදියි කියන ගුප්ත අදහසකින් නම් නොවේ.

ඔබට කවුරුන් හෝ මෙසේ පවසනු ඇසී තිබේද? ඔබ සත්පුරුෂ අයෙක් ලෙස කවුරුන් ගැන හෝ මෙසේ සිතා තිබේද? බලන්න, අර අය කතාකරන්නේ හරියට මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වගෙයි. බලන්න, හැසිරෙන හැටි. බලමුකෝ, ඔය අනුන්ගේ දේවලුත් අසාධාරණ විදියට පොදි බැඳ ගත්තට, යනකොට කරගහගෙන අරගෙන යාවිද කියලා’. මේ මිනිස්සු නම් හැසිරෙන්නේ, කතා කරන්නේ හරියට අමරණීයයි කියලා හිතාගෙන වෙන්න ඇති. මෙවැනි අදහස්වල ගැබ්වෙලා තිබෙන්නේ කුමක්ද? සමහර පුද්ගලයෝ හොඳ නරක, පින් පව් අමතක කරලා, අනෙක් අයට මොනවා වුණත් කමක් නැහැ මගේ කුස පිරෙනවානම් යන අදහසින් යුතුව කටයුතු කරන බවයි.

මෙම ලිපියේ ආරම්භයේ දී සඳහන් කළා මෙන්ම බෝධිසත්ව ගුණැති අප්‍රමාණ සත්පුරුෂ මනුෂ්‍යයෝ සිටිති. එනමුත් මෙලොවත් පරලොවත් පිළිබඳ විශ්වාසයක්, වැටහීමක් හෝ ඒ ගැන සිතන්නටවත් ඕනෑකමක් නැති පිරිස් ද වැඩිවෙමින් පවතී. දිනපතාම සිදුවන හා සිතාමතාම සිදුකරන සොරකම්, ජීවිත හානි, කාන්තාවන්ට හා දියණිවරුන්ට සිදුවන අපරාධ මේ බවට සාක්‍ෂි දරති. මේවා වැඩිවීමට හේතු වශයෙන් විවිධ තර්කවාද ඉදිරිපත් කළ හැකි ය. රටේ ආර්ථිකය, සමාජ විෂමතාවය ලෙසින් විවිධ අදහස් ඉදිරිපත් විය හැකි ය. එනමුත් අප සියලු දෙනා හැකිතාක් දුරට අපගේ හදවත්වලට, ආධ්‍යාත්මයට කතා නොකරන්නේ ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති ධම්මපදයේ සඳහන් මෙම ගාථාරත්නය විමසා බලන්න.

“අත්තනාව කතං පාපං
අත්තජං අත්ත සම්භවං
අභිමන්ථති දුම්මේධං
වජිරං වස්ම මයං මණිං”

මෙහි තේරුම නම්, තමා කළ, තමා කෙරෙහිම උපන්, තමාගෙන්ම හටගත් පාපය, ඒ පව්කළ අනුවණයා අතිශයින්ම පීඩාවට පත් කරයි. ගලෙන් හටගත් දියමන්තිය ඒ ගලම කාදමන්නාක් මෙන්” දුල්ලභංච මනුස්සත්තං, ‘මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභය, යනුවෙන් පැවසූ පරිදි ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලැබිය යුතුය. ඒ මානුෂික ගුණාංග මතුකරගෙන යහපත් වූ මනුෂ්‍යයෙක් හැටියට ජීවත්වීමෙනි. එසේ නොමැති වූවොත් ඉහත පාලි ගාථාවෙහි සඳහන් කළ අයුරින් තමාගේ විනාශය තමා විසින්ම ඇතිකරගනු ඇත. මැරෙන බව, මහලුවීම, හෝ දිරාගෙන යන බව, ලෙඩවෙන බව මතක් කරන්නේ ඔබව දිරාගෙන යවන්නට නොවේ. ලෙඩ කරවන්නට ද නොවේ. මරණය කරා ඇද දමන්නට ද නොවේ. අපි මතක් කළද එසේ නොමැති වූවද මහලුවීමෙන්, ඉන්ද්‍රිය දුබලවීමෙන්, ලෙඩදුක්වලට ගොදුරුවීමෙන් හෝ මරණයෙන් අපට බේරීමක් හෝ ගැලවීමක් නැත. ඔබ ගමන් කළත්, වාඩි වී සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, මෙම ජරා, ව්‍යාධි, මරණ ආදී විපරිණාම ධර්ම ස්වභාවිකව සිදුවෙයි. මේවා අමතක කිරීමෙන් හෝ අමතක කරන්නට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ දයා, කරුණා, මෛත්‍රී ආදි ගුණ වලින් බැහැරවී පස්පව්, දස අකුසල් වලට යොමුවීම ය. එම අවස්ථාවේදී, බොහෝ දෙනා පවසන්නේ, මේ මිනිස්සු නම් ජීවත්වෙන්නේ මැරෙන්නේ නැතුවා වගේ. යම් කෙනෙකුට මේ බව නිවෙස්වල පවුල් පරිසරයෙන්ම තේරුම් ගත හැකිය. සමහර දෙමව්පියෝ දරුවන්ට මෙසේ කියති. ‘දරුවනේ නුඹලා හිතන්නට එපා නුඹලා හැමදාම ඔය විදියට ඉන්නවා කියලා. නුඹලත් වයසට යනවා. ලෙඩ වෙනවා. අපිටත් ඔය වගේ තරුණ කාලයක් තිබුණා. ඒ බව අමතක කරලා හැසිරෙන්නට එපා.” තරුණ දුවේ පුතේ, ලෙඩවුනු, මහළු වයසට පත්වුණු, නැගිටගන්නට, ඇවිදගන්නට අපහසු, ආච්චි, සියා හෝ වැඩිහිටියන් ගැන, ඇයි අමනාපයෙන් හෝ පිළිකුලෙන් බලන්නේ? ඔබ කවදාවත් ලෙඩවෙන්නේ නැහැ කියලා සිතාගෙන සිටිනවාද?ඔබ කවදාවත් මහලුවෙන්නේ නැහැ කියලා සිතාගෙන සිටිනවාද? මේ අහන්න, ජීවිතයේ යථාර්ථය පිළිබඳව සත්‍ය කතාව මෙයයි. ලෙඩ රෝගවලට ආකරයක් බඳු අපි සියලු දෙනාගේම ශරීර හරියට සමාන කළොත්, ඇවිදිනා වැසිකිළියක් බඳුයි. ශරීරයේ ඇතුළත පවත්නා අපවිත්‍ර දෑ නිතරම එළියට එනවිට ශරීරය බාහිරව පිරිසුදු කොට තබාගන්නට කොපමණ වෙහෙසෙනවාද? දවසකට කොපමණ වාර ගණනාවක් පිරිසුදු කරනවාද?

කවර ආකාරයකින් හැඳ පැළඳ සරසාගෙන සිටියත්, දිරාගෙන යන, අපවිත්‍ර දෑ නිතර වහනය වන, දුගඳ හමන ශරීරයේ හැබෑ ස්වභාවය නම් එයයි. මින් අදහස් කරන්නේ නිවැරැදි විදියට, නිවැරැදි පැවත්මක, හඳින්නට සහ පළඳින්නට සැරසෙන්නට එපා කියන එක නොවෙයි. මින් අදහස් කරන්නේ මේ ආකාරයේ ස්වභාවයක් ඇති අපි සියලු දෙනා, අනෙක් අය පහත්කොට සළකන්නේ? මුහුණේ පාට හෝ පෙනුම නිසා, මුදල් හෝ තනතුරු නිසා, ජාති, ආගම්, කුලමල නිසා හෝ ඇයි තවත් කෙනෙක් පහත්කොට සළකන්නේ? ඇයි වැරැදි ආකාරයෙන් රාගයෙන් හෝ ද්වේෂයෙන් මුසපත්වෙලා තිරිසන් ලෝකයේ මෙන් හැසිරෙන්නේ?

යම් නිවසක, ස්වාමියා බිරිඳ අතර මෙවැනි වචන පෙළක් ඔවුනොවුන් කෙරේ පිටුවුණොත් කුමක්ද හැඟෙන්නේ? “මොකටද මේ වගේ මනුෂ්‍යයෙක් මට හමුවුණේ? සංසාර ගමනෙවත් මේ වගේ මනුෂයෙක් නම් මට හමුවෙන්නට එපා. මම මේ උහුලාගෙන සිටින්නේ අහිංසක දරුවෝ නිසයි. දරුවෝ නොසිටින්නට මම මියැදිලා වළදාපු තැන්වල ගසුත් පැළවෙලා. මෙය කියවන ඔබට හෝ කිසිවෙකුටත් මෙවැනි වදන් පෙළක් අසන්නට හෝ කියන්නට තරම් අභාවිත සිත්වලින් අප්‍රසන්න පවුල් පරිසරයක් ඇති නොවේවායි, මහත් වූ කරුණාවෙන් අධිෂ්ඨාන කරන්නට කැමතියි. මම ඔබට ආරාධනා කරන්නේ මෙවැනි වදන් පෙළක් ඔවුනොවුන් අතර ඇසෙන්නට පවුලේ පරිසරය සකස් වේවා යන්නය. “ඔබ මම හමුවුණේ සංසාර ගමනේ පිනකට වෙන්නට ඇති. නිවන් මඟට මත්තෙන්, නැවත ඉපදුනොත්, නැවත හමුවෙන්නට කැමතියි.” මෙම අදහස සසර ගමන දීර්ඝ කරගන්නට පවසන අදහසක් නොවේ. මෙවැනි වචනවලින් අදහස් වෙන්නේ ජීවිතයේ හැබෑ ස්වභාවය තේරුම් ගෙන ජීවත්වන ස්වාමිපුරුෂයෙකුගේ සහ ස්වාමිදියණියකගේ හදවත්වල පහළවන සුපසන් හැඟීම්වල ගුණ සුවඳ නොවේද?

මොකටද අපි හමුවුනේ මෙහෙම දුක් විඳින්නට කියා හඬා වැටෙනවාට වඩා, අපි අපට සැනසිල්ලක්, වාසනාවක් යයි පැවසීමම ගෘහස්ථ ජීවිතයක කොපමණ නම් භාග්‍යයක්ද? මෙය කියවන ඔබම සිතින් කියන්න, මෙය හරිද වැරදිද කියා. තට්ටු පිට ගෙයක් තිබුණත්, කාමර හත අටක් තිබුණත්, යාන වාහන තිබුණත්, තනතුරු තිබුණත්, රනින් කළ යහනාවක නිදාගන්නට හැදුවත්, සිතට සැනසිල්ලක් නොමැති නම් එම ජීවිතයේ තේරුම කුමක්ද? ඉහත සඳහන් කරන ලද කුමන සම්පත් පැවතියත් ‘හිතේ සතුට’ නැතිනම්, ඔබම කෑගසා කියාවි, මේ මොනවත් මට එපා. පින් සිද්ධ වෙයි මට ඕන මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නට’ කියලා. එහෙම නැතිනම් කියාවි මොකටද මෙහෙම සිතේ සතුටක් නැතිව දුක්විඳගෙන ජීවත් වෙලා’ කියලා.

අප සෑම කෙනෙකුටම මැරෙන බව ‘හදවතින්ම’ දැනගෙන ජීවත්වෙන්නට හැකිනම්, සංසාර ගමනේ අපහසුවෙන් ලද මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ‘නහගන්නට නොව දහමින් සනසාගෙන සතුටින් ජීවත්වෙන්නට’ හැකියාව ලැබේවි. ඔබ අසා ඇති සිංහල ව්‍යවහාරයෙහි රත්තරන් මිනිස්සු, මව්වත් මිනිස්සු, සීදෙවි මිනිස්සු යයි පවසන්නේ, මුහුණේ පෙනුම, මුතු මැණික් රත්තරන් හෝ, ගෙවල් දොරවල්, යාන වාහන ගැන සිතා නොවෙයි. මිනිස්සු ‘රත්තරන්’ වෙන්නේ හැදුනුකම හෙවත් සිල්වත්කමත් සමගයි. මනුස්සකමත් සමඟයි. ‘මනුස්සකම’ මතුවෙන විට නොමැරෙනවා වගේ ජීවත් වෙන්න උත්සාහ ගන්නේ නැහැ.

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]