UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජ යහපැවැත්මට අඩුපාඩු සකස් කර ගනිමු

සමාජයේ බොහෝ දෙනා සමාව යැදීමට පවා පෙළැඹී නැත්තේ වරද හඳුනා නොගැනීම නිසාය. තමන් අතින් වරදක් වූ බව නොපිළිගැනීම නිසාය. වරද නොහඳුනන්නා හැමවිටම සමාජය දෙස බලන්නේ තමන් නිවැරැදි බව සිතමින්. එය කළ යුතු දෙයක් බව ඔහු සිතයි. එය කිරීමෙන් තමන් උද්දාමයට පත්වූ බව ඔහු සිතයි

ගුණ දහමින් මිනිසා ඈත්වූ කල සමාජයට ගැටලු රැසක් ඇතිවනවා. විශේෂයෙන්ම අවංක බව, නිහතමානීත්වය මෙන්ම වැරැදි පිළිගැනීම වැනි ගුණාංග සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වනවා. විශේෂයෙන්ම වැරැදි පිළිගැනීම තුළින් සමාජයේ ඇති වරද, අඩුපාඩුව යලි සිදුවීම වළකිනවා. තම අඩුපාඩුව නිහතමානීව පළිගැනීම තුළින් ඒ තැනැත්තා කෙරෙහි සමාජයේ ගෞරවය හිමිවන අතර තවත් අයෙක් අතින් එම අඩුපාඩුව සිදුවීම බොහෝ දුරට වළකිනවා.

බුද්ධ ශාසනයේ මේ සඳහා ඕනෑතරම් උදාහරණ ගන්න පුළුවන්. සැරියුත් මහ රහතන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වූ ඥානයක් ප්‍රඥාවක් තිබූ රහතන් වහන්සේ නමක්. උන් වහන්සේ ජේතවනාරාමයේ වැඩම කරමින් සිටින විට උන් වහන්සේගේ චීවරය බිම ඇතිල්ලෙමින් තිබුණා.

සත් හැවිරිදි වියේ පසුවූ රාහුල සාමණේරයන් වහන්සේ මේ බව දුටුවා. උන්වහන්සේ ඒ බව සැරියුත් මහරහතන් වහන්සේට දැන්වූවා. ‘සැරියුත් මහ රහතන් වහන්ස, ඔබ වහන්සේගේ චීවරය බිම ගෑවෙනවා’ ඉතාමත් නිහතමානීව එය පිලිගත් සැරියුත් මහ රහතන් වහන්සේ ‘බොහොම යහපතකි රාහුල හිමියනි, මම එය ඔසවා පෙරවා ගන්නම්”

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වූ සැරියුත් මහ රහතන් වහන්සේගේ නිහතමානිත්වය ගැන අපට එයින් වටහා ගන්නට පුළුවන්.

සමාජයේ මේ අයුරින් අඩුපාඩු නිවැරැදි කර ගැනීම දක්නට අසීරු තරම්. අඩුම වශයෙන් ‘ සමාවන්න’ මම ඒ වරද නිවැරැදි කර ගන්නම් ‘ යනුවෙන් පැවසීම පවා දක්නට අසීරු තරම්. වරද පිලිගැනීමට අප අද කොයිතරම් නම්‍යශීලීද ? නම්‍යශීලී බවක් නොමැතිනම් ඒ චරිතය අඩුපාඩුකම් සහිතයි. බුදුරජාණන් වහන්සේ එසේ තම වැරැද්ද පිළිනොගත් අයට දඬුවම් පවා පනවා තිබෙනවා.

මීට හොඳම උදාහරණය ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩය පැනවීම හඳුන්වා දෙන්න පුළුවන්. සිදුහත් කුමරා ගිහිගෙයි හැර ගිය අවස්ථාවේදී උන්වහන්සේ සමඟ ගිය ඡන්න ඇමැතියා පසුව පැවිදි බවට පත්වුණා. ඡන්න හිමියන් බොහෝ සේ උද්දාමයට පත්ව අනෙක් අය ගැන නොතැකූ අයෙක් බවට පසුවුණා. ‘ සිදුහත් කුමරා ගිහිගෙය හැර යද්දී මා පමණයි සිටියේ, දැන් විශාල පිරිසක් උන් වහන්සේ වට කරගෙන සිටිනවා. උන් වහන්සේටත් මට වඩා ඒ පිරිස් ලොකු වෙලා’ යනුවෙන් සිතමින් ඒ බව කියමින් ඡන්න භික්ෂුව උඩඟු බවින් තම වරද පිළි නොගනිමින් අන් අයගේ බසට කිසිදු අයුරක ඇහුම්කන් දීමක් කරේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ඡන්න භික්ෂුවට ‘ බ්‍රහ්ම දණ්ඩය’ පනවන ලෙස භික්ෂූන් අමතා දන්වා සිටියා. ඒ ඡන්න භික්ෂුව තම වරද පිළිනොගැනීම නිසයි. ඒ තුළින් සසර ගමන දිග්වීමට මඟ පෑදෙන බව උන් වහන්සේ දැනගෙන සිටි නිසයි.

එහෙත් අප මෙහිදී තවත් කරුණක් සිහි තබා ගතයුතු වනවා. වැරැදි කරමින් නිතරම සමාව ඉල්ලීම නොකළයුතු බව අප විශේෂයෙන්ම මතක තබා ගතයුතුයි. එසේ වුවහොත් කිසිදින තමන්ට නිවැරැදි මාවතට පිවිසිය නොහැකිය. වැරදි කරමින් සමාව අයැදීමද බුදු දහමින් අනුමත කරන්නේ නැහැ. මේ නිසා වඩාත් සුදුසුම වන්නේ වරද අඩුපාඩු සිදු නොවීමට වග බලා ගැනීමය.

වැරැදි - වැරැදි බව දැනගෙන සිටීමත් මෙහිලා විශේෂයෙන්ම වැදගත් වනවා. බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ වැරැද්ද වැරැද්දක් බව දැනගෙන කරනු ලබන පුද්ගලයාට වඩා වැරැද්දක් බව නොදැන එය සිදු කරනු ලබන පුද්ගලයා සමාජයට වඩාත් අහිතකර බවයි. වැරැද්ද හඳුනාගෙන එය කරනු ලබන පුද්ගලයාට වරද පහදා දීමට පුළුවන්. ඔහු එය වරදක් ලෙස දන්නා බැවිනි. වරදක් දැනගෙන සිදු කරන්නා තුළ ලජ්ජාව, බිය, ආදිය තිබෙනවා. ‘ කවුරුන් හෝ දැනගනීවිද එසේත් නැත්නම් කිසිවකු හෝ දකීවිද’ යන සිතිවිල්ල මතය ඔහු වරදක් කරා යොමුවන්නේ. එහෙත් වරදක් බව නොදැන එය කරනු ලබන්නාට තමන් කරනු ලබන්නේ වරදක් බව හඟවා දීමට අසීරුයි. මක්නිසාද ඔහු එය වරදක් සේ නොදකින බැවිනි.

සමාජයේ බොහෝ දෙනා සමාව යැදීමට පවා පෙළඹී නැත්තේ වරද හඳුනා නොගැනීම නිසාය. තමන් අතින් වරදක් වූ බව නොපිළිගැනීම නිසාය. වරද නොහඳුනන්නා හැමවිටම සමාජය දෙස බලන්නේ තමන් නිවැරැදි බව සිතමින්. එය කළයුතු දෙයක් බව ඔහු සිතයි. එය කිරීමෙන් තමන් උද්දාමයට පත්වූ බව ඔහු සිතයි. අනෙක් අය කෙතෙක් කීවද, තමා සමාජයේ වැඩදායක පුද්ගලයකු බව ඔහු සිතයි. එවැනි පුද්ගලයකුගෙන් සමාජයට විය හැකි හානිය අති විශාලයි. දුම්වැටියක් පානය කිරීම වරදක් බව දන්නා පුද්ගලයාට ඒ බව වටහා දුන් විට වරද කළත් ඔහු එය පිළිගන්නවා. එය වරදක් බව නොදන්නා පුද්ගලයා ප්‍රශ්න රැසක් අසනවා. .. “ මම විතරද පානය කරන්නෙ එහෙනම් ඇයි නිෂ්පාදනය කරන්නෙ. අලෙවි කරන්නෙ ඇයි ‘ මෙවැනි මතවාදයන් රැසක් ඔහු මතු කරනවා. කරුණු කුමන අයුරින් ගොනු කළත් වරද වරදමයි. බුදු දහමේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කියන විට තවත් ආගමක හෝ සංස්කෘතියක සත්ත්වයන් පහළ වී ඇත්තේ තම ප්‍රයෝජනයට යයි කියනවා.

බුදුදහම සත්ත්ව ඝාතනය බලවත් අකුසලයක් බව පවසද්දී තවත් සංස්කෘතියක සතුන් මිනිසාගේ ආහාරයේ කොටසක් බව පවසනවා. සංස්කෘතිය කුමක් වුවත් වරද වරදම බව අප වටහා ගතයුතුයි. දරුවකු උපන් විට මවට කිරි එරෙනවා. සියලුම ක්ෂීරපායි සතුන් අතර මේ ජීව විද්‍යාත්මක සංකල්පය දකින්නට පුළුවන්. ඊට ජාති, ආගම්, කුල භේද හෝ තිරිසන් වශයෙන් හෝ භේද කිසිවක් නැහැ.

එමෙන්ම පාපය සත්ව හිංසාව, ඝාතනය කුමන ආකාරයේ නිර්වචන සාදාගෙන සිටියද එය සාධාරණීකරණය කළද වරද වරදමයි. එය කාටවත් ශුද්ධ කළ නොහැකියි. බුදු රජාණන් වහන්සේගේ දේශනාව වූයේ වැරැදි සකසා ගෙන සමාජයේ ජීවත් වීමයි.

දරුවන් හෝ වැරැදි සඳහා යොමුවන්නන් එයින් ගලවාගෙන සුමගට යොමු කරන්නේ කෙසේද? එය මීළඟ කලාපයෙන් කියවා බලමු.

 

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]