UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්බලන්ගොඩ මාදම්පේ සිය වස් සපිරි චේතියගිරි පුරාණ මහා විහාරස්ථානය

අම්බලන්ගොඩ නගරයේ දකුණු මායිම මාදම්පා මුවදොර පසු කොට කිලෝමීටර් භාගයක් පමණ ගමන් ගන්නා විට ඉපැරණි මාදම්පා මෝදර අසල නෙත ගැටෙන ගල් පර්වතයක් මත පිහිටි ගල්කැටිය පන්සල නමින් ද හැඳින්වෙන චේතියගිරි පුරාණ මහා විහාරය ද ස්වභාව ධර්මයේ ආස්වාදය ලබමින් පරිසරය චිත්ත සංවර්ධනයට ඉවහල් කර ගන්නා ස්ථානයකි.

අම්බලන්ගොඩ, මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරය මහා විජයබා රාජ සමයෙහි පවා සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේ පරිභෝග කළ ඓතිහාසික සිද්ධස්ථානයක් බවත් සොළී ආක්‍රමණයෙන් පරිහානියට පත් බෞද්ධ සිද්ධස්ථාන අතුරෙන් මෙම ස්ථානය ප්‍රධාන තැනක් ගන්නා බවත් අමරපුර මූලවංශික නිකායේ මහා නායක අහුන්ගල්ලේ විමලනන්ද තිස්ස හිමියන්ගේ සටහනක දැක්වෙයි.

විදේශීය ආක්‍රමණයෙන් පසු මුහුදු බඩ පළාත්වල සිද්ධස්ථාන විනාශ වූ අතර මෙම ස්ථානයද ඊට ලක්විය. භික්‍ෂූන් වහන්සේ නොමැතිව වනගත වූ මෙහි ඉපැරණි නුග වෘක්‍ෂය හා භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර තැබූ ස්වයං ජාත ගල් ඔරුවද පමණක් ශේෂව දක්නට ලැබිණ. විදේශීය ආක්‍රමණයෙන් පසු අම්බලන්ගොඩ රන්දොඹේ මහා චේතිය පරිවේණාධිපතිව වැඩ විසූ අමරපුර ගණපාමොකඛාචරිය ධම්මකිත්ති සිරි තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්සාභිධාන අමරපුර නිකායේ මහ නා හිමියෝ, මේ ස්ථානයේ යළිත් විහාරස්ථානය ගොඩනැංවිය යුතුයයි තිර අදටනින් 1910 දී එම කාර්ය සිදු කළහ.

1910 නව ප්‍රබෝධයකින් ඇරඹී විහාරස්ථානය මේ වන විට සියක් වසක් සපුරාලන්නේය.

පෙරකල සිට වැදගත් වූ ස්ථානය යළි ආරම්භ කළ පඤ්ඤාමෝලි තිස්ස නා හිමිපාණන් ප්‍රදේශවාසීන්ගේ කුදු මහත් සියලු කටයුතු ඉටු කරමින් විහාර අභිවෘද්ධිය සලකමින් මහත් සේවාවක් සිදු කළහ. දේව පුජා වාදය, බටපොත වාදය, දුශ්ශීල වාදය ආදි විවිධ වාදයන්හි උන්වහන්සේගේ වාග් චාතුර්ය ව්‍යක්ත බව පැහැදිලි විය. විවිධ ග්‍රන්ථ සම්පාදක, සංශෝධන කාරිද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා බරණැස ඉසිපතනාරාමයේදී සිරි දේවමිත්ත නමින් පැවිදි වීමේදී උන්වහන්සේ පරිභෝග කළ චීවරයක් ගෙන්වාගෙන පොරවා ගන්නා ලද්දේ උන්වහන්සේගේ තපෝ ගුණය පිළිබඳව පැහැදීම නිසාය. රන්දොඹේ මහ චේතිය පිරිවෙන ආරම්භ කළ උන්වහන්සේ විශාල පිරිසකට ධර්ම ශාස්ත්‍රාලෝකය ලබා දුන්හ. වලගෙදර සෝමා ලෝක තිස්ස, රන්දොඹේ සෝමසිරි තිස්ස, මාදම්පේ සෝමාරාම තිස්ස, රන්දොඹේ ධම්මවංශ තිස්ස බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්තිතිස්ස, පාරුතොට ධම්මරාම තිස්ස ආදි ශ්‍රේෂ්ඨ පැවිදි ශිෂ්‍යයින් රැසක් බිහි කළහ. වනගත අනුරපුර නඟාලීමට වෙහෙසුණු බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාද උන්වහන්සේගේ ගිහි ශිෂ්‍යයින් අතර වෙති.

1941 දී උන්වහන්සේ අපවත්වීමෙන් රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස නාහිමි ස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කළහ. 1957 දී පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමි අධිපතිත්වය දරමින් මහත් සේවාවක් කළහ. සාංචි තොරණ සිහිගන්වන තොරණ, පියගැටපෙළ, උන්වහන්සේගේ වැදගත් කටයුතුය.

පැරණි කොස්වඩුවේ දේවාල බිමෙන් පෘතුගීසි ලන්දේසි කාසි හමුවී ඇත. තඹ කාසි, තඹ කොළ වල ලියූ ලේඛන,මැටි බඳුන්, බුදු පිළිම ආදිය සොරුන් අතට පත්විය. මේ මහානුභාව සම්පන්න ස්ථානයක් ලෙස සලකති. නටබුන් දේවාලය අස්කොට ඒ වෙනුවට නව දේවාලයක් ක්‍රි.ව. 1965 දී විහාරාධිපති සෝමාරාම තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගොඩ නැංවිණි. 1965 දී දඹදිව ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් රෝපණය කළ අතර අද කාගේත් වැඳීමට පිදීමට ලක්වන මහා බෝධි වෘක්‍ෂයකි. තවද 1968 දී සෝමාරාම තිස්ස නාහිමියෝ සීමා සම්මත විනය කර්මයක් මහා විහාරවංශික අමරපුර නිකායේ ගරුතර කාරක සංඝ සභාව ලවා කරවූහ. එසේම සංඝාවාස, ළිං, පොකුණ, දාන ශාලා, ඝණ්ඨාර, පහන් කණු ආදිය නොයෙක් අංග සැකසුණේය.

1911 දී තොටගමුවේ පඤ්ඤා මොලි තිස්ස මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි කරවන ලද විහාර මන්දිරය අබලන් තත්වයේ පැවති අතර 1978 දී විහාරාධිපතිත්වයට පත් බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියෝ විහාර මන්දිරය අංග සම්පූර්ණ දර්ශණීය දැකුම්කලු විහාර මන්දිරයක් බවට පත්කළහ. සැදැහැ බැති වඩවන චෛත්‍ය රාජයාණන් වහන්සේ උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. චෛත්‍ය අභියස අනුරපුර සමාධි පිළිමය සිහිගන්වන සමාධි ප්‍රතිමාවද ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි වූයේය. උන්වහන්සේගේ මැදිහත්වීම මත චේතියගිරි පුරාණ මහා විහාරය රජයේ පිළිගත් පුණ්‍යායතනයකි.

සුනාමි ව්‍යසන අවස්ථාවේ අවට ජනතාවට ක්‍ෂේම භූමියක් වූයේ චේතියගිරි පුරාණ මහා විහාරයයි. දීර්ඝ කාලයක් ආහාර පාන නවාතැන්, සපයමින් ආනන්ද තිස්ස නාහිමියන් කරන ලද්දේ මහත් සුබසාධනයකි. දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාමවිනිසුරු ආනන්ද තිස්ස හිමියෝ සැබෑ සංඝශෝභන ගුණයෙන් අනූනය. උන්වහන්සේ අසරණ සරණ සමිතියේ නිරමාතෘ ද වෙති.

වසර සියයක් (1910- 2010) සපිරෙන මහා පුණෝත්සවයට ශ්‍රී සම්බුද්ධජයන්ති අනුස්මරණය ද සමඟ ඉටුකැරුම උන්වහන්සේ ඇතුළු දායකකාරකාදීන්ගේ අදහස් විය. මේ හිමියන්ගෙන් විහාර මන්දිර ප්‍රතිසංස්කරණ, අටවිසි බුද්ධ මන්දිර නිර්මාණය, රංවැට ආදී නොයෙක් කටයුතු රාශියක් ඉටු කරලමින් මහා පුණ්‍යෙීත්සවයක් සිදු කිරීමේලා චේතියගිරි පුරාණ මහා විහාරදායක සභාව විසින් සියලු කටයුතු සම්පාදනය කෙරෙති. ආනන්ද තිස්ස නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශාස්ත්‍රපති තලවතුගොඩ මුදිත හිමි ප්‍රධානාචාර්ය ධුරය දරන චේතියගිරි දහම් පාසල තුළින් සියලු භාවනා සංඛ්‍යාත ප්‍රතිපත්තිමය විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමේලා මුල් වූහ.

 

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]