UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ සම්බෝධි විහාරයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාර අස්ගිරි මහ නා හිමියන් සුරතින් සසුනට පිදේ

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය හා බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරනු ලබන දුෂ්කර හා අවම පහසුකම් සහිත වෙහෙර විහාරස්ථානවල අවශ්‍යතා සොයා බලා සපුරාලන ‘ පුණ්‍යභූමි වන්දනා’ වැඩසටහන යටතේ සිව්මසක් තුළ සාදා නිම කළ බෝධිප්‍රාකාර පහක් සසුනට පූජා කිරීමේ මහඟු පින්කමක් ජූලි මස 17, 18 යන දෙදින පුරා නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික් 02 තුළ පැවැත්විණි.

ජයන්ති විහාරයේ ඉදි කළ බෝධි ප්‍රාකාරය

මුහුදු මහා විහාරයේ බෝධි ප්‍රාකාරය විවෘත කිරීමෙන් අනතුරුව

පදියතලාවේ නාගිරි ආරණ්‍ය සේනාසනයේ විවෘත කරීමට අස්ගිරි මහ නා හිමි වැඩම කළ අවස්ථාව

සම්බෝධි විහාරස්ථ දායක සභාවේ මෙන්ම බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රධාන පැවිදි අනුශාසක සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමිපාණන් වහන්සේගේ 84 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ ශිෂ්‍යවර සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් අභිනවයෙන් විවෘත කොට සසුනට පූජා කරන්නට යෙදුණු බෝධිප්‍රාකාර සඳහා පසුගිය මාර්තු මස 17 වන දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර සිව්මසක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 03 වන කාර්ය සේනාංකයේ හා 23 වන සේනාංකයේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මැතිතුමන්ගේ අනුමැතියෙන් 631 වන බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක මහතාගේ මෙහෙයවීම මත කර්නල් කීර්ති ගුණසෝම, ලුතිනන් කර්නල් උෂාන් ගුණවර්ධන, මේජර් නන්දික ද සිල්වා හා ලුතිනන් රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එම බෝධි ප්‍රාකාර ඉදිකරන්නට යෙදුණි.

ජූලි 17 වන දින සසුනට පූජා කෙරුණු අම්පාර – පදියතලාවෙහි නාගිරි ආරණ්‍ය සේනාසනයේ බෝධිප්‍රාකාරය එම විහාරාධිපති පානදුරේ ඥානවංශ නාහිමියන්ගේ ඉල්ලීම හා මග පෙන්වීම මත ඉදිකරන ලද අතර ඒ සඳහා කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී දියසෙන්පුර විමල හිමියන් මෙන්ම පන්නිපිටිය පදිංචි ඩී. වික්‍රමාරච්චි මහත්මිය, නාවල කේ. එම්. ඩයස් මහත්මිය දංකොටුව මිලිනෝනා මහත්මිය යන සැදැහැතියන් විසින් ධන පරිත්‍යාග කරන ලදී.

මෙයට වසර 25 කට පෙර කුරිරු කොටි ත්‍රස්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස කපා කොටා භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කළ ස්ථානයේ වැඩ හිඳින බෝධීන් වහන්සේ ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම සිදු වූ අතර මහනුවර අනිවත්තේ පදිංචි වසන්ත කොඩිතුවක්කු මහතා හා කුමාරි සකුන්තලා මහත්මිය ඇතුළු පවුලේ පිරිසක් එම ස්ථානයට පිවිස රුපියල්, දෙලක්ෂ පනස් දහසක මුදලක් මහ නාහිමිපාණන් වහන්සේ හරහා නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක කිරිඳිවැල සෝමරතන ස්වාමීන් වහන්සේ වෙත පූජා කැරිණි.

ජූලි 17 වන දින අම්පාර පුංචි සීගිරිය විහාරය වෙත වැඩම කළ මහනාහිමිපාණන් වහන්සේ එම විහාරස්ථානයේ විහාරාධිපති මඩකුඹුරේ ලංකානන්ද නාහිමියන් විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුනිල් තලේරත්න මහතා විනීත තලේරත්න මහත්මිය මෙන්ම රාජගිරියේ පදිංචි රෝහිණී නානායක්කාර මහත්මිය හා කිරිබත්ගොඩ පදිංචි තලතා බස්නායක මහත්මිය යන සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාරය සසුනට පූජා කළහ. ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළ මේජර් නන්දික සිල්වා මහතා ප්‍රමුඛ රණවිරුවන් ද එම අවස්ථාවට සහභාගිවූහ.

ජූලි මස 18 වන දින අලුයම් කාලයේ දී කිරිපිඬු බුද්ධ පූජාවක් පෙරහරින් වැඩමවා සත් බුදු රජාණන් වහන්සේලා වෙත පුදා ඉමහත් හරසරින් සසුනට පූජා කරන ලද ඓතිහාසික දීඝවාපී රජමහා වෙහෙරේ ඉදිකළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය එම විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ මෙහෙයවීම මත විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මහත්මිය හා රුක්ලන්ත මායාදුන්න මහතා ඇතුළු පවුලේ සැමගේ මුල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකරන්නට යෙදුණු අතර එහි රන්වැට සඳහා ලක්වැසි බොහෝ දෙනා ආධාර උපකාර කළහ.

වළාකුළු බැමි සහිත අලංකාර බෝ මළුවක්ද මෙහි ඉදිකර තිබිණි. අනතුරුව මඩකලපුව බලා පිටත් වූ මහානාහිමිපාණන් වහන්සේ ඇතුළු පිරිස ඩබ්. වන්නිආරච්චි මහතා සහ සෝමා වන්නිආරච්චි මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් 23 වන කාර්ය සේනාංකයේ රණවිරු ශ්‍රමදායකත්වයෙන් ඉදිවුණු වාලච්චේන ශ්‍රී බුද්ධ ජයන්ති විහාරයේ බෝධි ප්‍රාකාරය සසුනට පූජා කරන ලද්දේ එම විහාරාධිපති නාවානේ අභයවංශාලංකාර නාහිමියන්ගේ ද ආශිර්වාද ඇතිවයි.

මඩකලපුවේ සිට පොතුවිල් බලා යළි ගමන් ඇරඹූ පිරිස අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ඇති එකම බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කාව්‍ය ශ්‍රී දේවගම සෝරත නාහිමියන් බැහැදැක එම විහාරස්ථානයෙන් පිටත්ව පොතුවිල් හි මුහුදු මහා විහාරය වෙත ළඟා වූහ.

ඒ අනුව ජූලි මස 18 වන දින සවස් කාලයේ දී ජාතියේ වීර මාතාව වූ විහාරමහා දේවිය ගොඩබට ස්ථානයේ පිහිටි ඓතිහාසික මුහුදු මහා විහාරයේ බෝධි ප්‍රාකාරය අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සසුනට දායාද වූයේ ප්‍රදේශයේ ගරුතර මහා සඟරුවන මෙන්ම අන්‍යාගමික එනම් හින්දු මුස්ලිම් පූජක තුමන්ලාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සව සභාවක් අවසනදීය. කර්නල් කීර්ති ගුණසෝම මහතා ප්‍රමුඛ හමුදා විරුවනගේ ශ්‍රම දායකත්වයෙන් මෙන්ම එස්. ඒ. එල් කුමාරි මෙනවිය, එච්. එස්. එල්. විජේරත්න මහත්මිය, ඊ. ඩී. ජේ. ඈග්ලල මහතා, ලාල් විමලසිරි මහතා සහ නිලන්ති රේණුකා මහත්මිය, තලතා කිරින්ද මහත්මිය යන සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගුණු මෙම බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම් මුහුදු මහා විහාරාධිපති පොතුවිල් සිංහල විද්‍යාලයේ විදුහල්පති වරකාපොල ඉන්ද්‍රසිිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවිනි.

ජූලි මස 19 වන දා බෞද්ධයා රූපවාහිනිය හා ගුවන් විදුලිය වටා එක්ව සදහම් ශ්‍රවණය කරනු ලබන පින්වතුන්ගේ ආධාර මතින් ඉදිවුණු දාන ශාලාව සහිත අම්පාර බුද්ධංගල “යශෝධරා සිල්මාතා ආරාමය” වෙත වැඩම කළ කුසලධම්ම නාහිමියන් ඇතුළු පිරිස ගල් ලෙන්, භාවනා කුටි ඇතුළු අතිශය සිත් පහන් කරවන එම ආරණ්‍ය ආශ්‍රමය මෙහෙයවන බුද්ධංගල ආනන්ද හිමිපාණන් වහන්සේ ද බැහැදැක, එම ස්ථානයේ කම්මට්ඨානාචාරිණී ධම්මරුචි දසසිල් මාතාව හා සාකච්ඡාවක් ද සිදුකැරිණි.

අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික කහවත්තේ සරණංකර නාහිමියන්ද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන් ද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ යහම්පත් මහතා, බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ ශසික ජයතිලක මහතා සහ “පුණ්‍යභූමි වන්දනා” වැඩසටහනේ ප්‍රධාන සම්බන්ධීකාරත්වය දරන බෞද්ධයා මාධ්‍ය ජාලයේ පරිපාලන කළමනාකාරිනී ප්‍රසාදිනී ලියනාරච්චි මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ.

 

 

 

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]