UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව

“මහණෙනි, මානසික රෝගවලින් එක් මොහොතක් හෝ පීඩා නො විඳින අය රහතන් වහන්සේලා හැර ලෝකයේ දුර්ලභ වෙති.”

“තෙ භික්‍ඛවෙ සත්තා දුල්ලභා ලෝකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තම්පි ආරොග්‍යං පටිඡානන්ති, අඤ්ඤත්‍ර ඛීණාසමෙහි.”

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ රෝග සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ කායික රෝග සමග මානසික රෝග සංසන්දන කළ අවස්ථාවක එසේ වදාළ සේක.

බුදුරජාණන් වහන්සේගේ එවැනි උගැන්වීම් මෙම මානසික රෝග පිළිබඳ අවබෝධයක් ඇති කර ඒවා වැළැක්වීමට සහ සුවපත් කිරීමට යොමු වන හෙයින්, බුද්ධ ධර්මය මනෝ වෛද්‍ය විද්‍යාවකි.

බ්‍රිතාන්‍ය මනෝවෛද්‍ය කරන් සහ ගට්මන් දෙපොළ, නූතන මනෝවෛද්‍ය විද්‍යාව නිර්වචන කර ඇත්තේ, කුමන හේතුවක් නිසා හෝ මනසේ ඇතිවන සෑම වර්ගයකම සහ සෑම ප්‍රමාණයකම රෝග හැදෑරීම, වැළැක්වීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම විශේෂ ක්‍ෂේත්‍රය කොටගත්, වෛද්‍ය විද්‍යාවේ ශාඛාවක් වශයෙනි.

ශත වර්ෂයක පමණ කාලයක් තිස්සේ විශේෂයෙන් ම භෞතික, රසායනික, ජීව විද්‍යා දැනුම් වර්ධනයෙන් ඇති වී තිබෙන ශීඝ්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, එදිනෙදා පැන, නගින මානසික ගැටලු විසඳා ගැනීමට නූතන මනෝ වෛද්‍ය විද්‍යාවෙන් පිහිට ලැබෙන බව පිළිගත යුතු ය. ප්‍රධාන වශයෙන් භෞතික – රසායනික ප්‍රවේණි හේතූන් නිසා හටගන්නා භින්නෝන්මාදය, ක්‍ෂිප්ත විෂාද හෙවත් ආවේදනික රෝග, කෝරියාව සහ සානස්‍ය චිත්ත වික්‍ෂේපය වැනි බොහෝ මානසික රෝග සඳහා ඖෂධීය, විද්‍යුත්, දීප්ත්‍යාලෝක සහ ශල්‍ය ප්‍රතිකාර වැනි ක්‍රම යොදා ගනු ලැබේ.

ප්‍රධාන වශයෙන් භෞතික නොවන, චිත්තවේග, පෞරුෂ ගති, ජීවන අර්බුද වැනි විවිධ හේතූන් නිසා හටගන්නා සංවර්තන, භීතිකා වැනි නියුරෝසියා ඇතුළු විශාල සංඛ්‍යාවක් මානසික රෝග සඳහා, මනෝචිකිත්සක ක්‍රම යොදා ගනු ලැබේ. මනෝචිකිත්සක ප්‍රතිකාර, විවිධ භෞතික උපකරණ පාවිච්චි නො කර, පිළිගැනුණ විවිධ මනෝවිද්‍යාත්මක සංකල්ප මත පිහිටා දෙනු ලැබේ. භාවනා උපදේශන, අපසර්ජන මනෝරංග, විනිද්‍රා (මෝහන) අර්බුදවලට මැදිහත් වීම වැනි මනෝචිකිත්සක ප්‍රතිකාර විශාල සංඛ්‍යාවක්, මානසික රෝග නිවාරණය සඳහා භාවිතා වෙයි. ඒ සඳහා මනෝවෛද්‍ය විශේෂඥයින් හැරෙන්නට, උපාධි සහ විශේෂ පුහුණු ලත් උපදේශක, ශායනික මනෝවිද්‍යාඥ, විනිද්‍රා (මෝහන) විද්‍යාඥ මනෝරංග අධ්‍යක්‍ෂක පූර්ව භව පුනරාවර්ජක සහ වෙනත් චිකිත්සකවරු රාශියක්, වෙනත් දියුණු රටවල මෙන් ම අපේ රටේ ද සේවය කරති.

මා ඉහත සඳහන් කළ භෞතික අභෞතික හේතුන් දෙ කොටස මෙන් ම භෞතික, චිකිත්සක ප්‍රතිකාර දෙ කොටස ද පැහැදිලි රේඛාවකින් වෙන් කළ නො හැකි බව සඳහන් කළ යුතු ය. පුනර්භවය, කුසල, අකුසල කර්ම විපාක, ත්‍රිලක්‍ෂණ, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි අති ගාම්භීර සංකල්ප මත පදනම් ව ඇති බුද්ධාගම, නිර්වාණයෙන්, අවසන් වන හෝ අනන්ත සංසාරයේ සැරිසරන හෝ දීර්ඝ කාලය පුරා ම අවශ්‍ය වන ආධ්‍යාත්මික සුවය අරමුණු කර ගත් අනර්ඝ මනෝවෛද්‍ය විද්‍යාවකි. එක් භවයකට පමණක් සීමා වන අපේ කෙටි කාලීන ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථක ව කරගැනීමට අවශ්‍ය මානසික සුවය අරමුණු කරගත් නූතන මනෝවෛද්‍ය විද්‍යාව, බුද්ධාගමෙන් ගත යුතු උපදේශ රාශියක් වෙයි.

මානසික රෝගීනට ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරයකුට හෝ මනෝචිකිත්සකවරයකුට හෝ ශායනික මනෝවිද්‍යාඥයකුට හෝ අකාලික බුද්ධ ධර්මය උගැනීමෙන් එම රෝගීනට වඩා හොඳින් පිළිසරණ වීමට හැකි වනු ඇත. බුද්ධ චරිතය, ත්‍රිපිටක ධර්මය සහ බෞද්ධ සාහිත්‍යය තුළ අඩංගු එම කාරණා පිළිබඳ විස්තර ‘බුදුසරණ’ මඟින් මතු පළ වනු ඇත.

 

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]