Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදට්ඨ කථාවෙන් 04

අනුන්ගේ සම්පතට ඊර්ෂ්‍යා කළොත් වන දේ

දායකතුමා මේ රහතන් වහන්සේට වටිනා සළුවක් පුදා සිවුරු සකසා ගන්නා ලෙසත් සයනය සඳහා යහනක් ද පුදා උන්වහන්සේගේ දිග් වූ කෙස් කැපීම සඳහා කරණවෑමියෙක් ද ගෙන්වා දුන්නා. මේ දෙස බලා සිටි ආරාමික භික්ෂුවට ඊර්ෂ්‍යාවක් ඇති වී දායක මහතා කෙරෙහි ද කෝපයක් ඇති කර ගත්තා

ඈත අතීතයේ කාශ්‍යප බුදුරදුන් වැඩ විසූ සමයෙහි ගමක විසූ එක්තරා ගම් ප්‍රධානියෙක් ගමෙහි රමණීය විහාරයක් ඉදිකරවා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පූජා කළා. එපමණක් නොව සිවුපසයෙන් උන්වහන්සේට උපස්ථාන ද කළා. උන්වහන්සේ සෑම දිනෙකම මෙම දායක මහතාගේ නිවසෙහි දානය වැළඳීමට ද පුරුදු වුණා.මෙසේ වෙද්දී එක්තරා රහතන් වහන්සේ නමක් මේ ගමට වැඩම කළා. පිඬුසිඟා වැඩි උන්වහන්සේ මේ දායක මහතාගේ නිවසට වැඩම කළා .උන්වහන්සේගේ සංසුන් ඉරියව් පිළිබඳව පැහැදුණූ දායක මහතා උන්වහන්සේ ප්‍රණීත ආහාරයෙන් වළදවා පුද පරිස්කාර ද පිළිගැන්වූවා.

දායකතුමා මේ රහතන් වහන්සේට වටිනා සළුවක් පුදා සිවුරු සකසා ගන්නා ලෙසත් සයනය සඳහා යහනක් ද පුදා උන්වහන්සේගේ දිග් වූ කෙස් කැපීම සඳහා කරණවෑමියෙක් ද ගෙන්වා දුන්නා. මේ දෙස බලා සිටි ආරාමික භික්ෂුවට ඊර්ෂ්‍යාවක් ඇති වී දායක මහතා කෙරෙහි ද කෝපයක් ඇති කර ගත්තා. නිරන්තරයෙන් මේ නිවසෙහි වළඳන තමාට එවැනි පුද පූජා නොකොට දුටු දුටු කෙනා කෙරෙහි පැහැදෙන කෙනෙකු ලෙස තම දායක මහතා ගැන උන්වහන්සේ කල්පනා කළා.

රහතන් වහන්සේ දායක මහතා ද සමග ගොස් විහාරයේ නතර වූවා. උන්වහන්සේ දායකයා දුන් සාටකය පඬු පොවා සිවුරක් පිළියෙල කර ගත්තා. එමෙන්ම කරණවෑමියා ලවා කෙස් කප්පවා ගත්තා. අලුතින් ලද යහනෙහි රාත්‍රී නින්දට සූදානම් වූවා. දායක මහතා දෙදෙනා වහන්සේටම පසුදින උදෑසන තම නිවසෙහි දානයට ආරාධනා කොට ආපසු නිවසට පැමිණියා.

තම දායකයා රහතන් වහන්සේට කළ පුද සත්කාර ගැන ඉවසිය නොහැකි වූ විහාරවාසී භික්‍ෂුව රහතන් වහන්සේට කාරණා හතරකින් පරිභව කළා. එනම්

1. ඔබ වහන්සේ මාගේ දායකයාගේ නිවසෙහි දානය වැළඳුවාට වඩා අශූචි කෑවා නම් උතුම්ය.

2. මගේ දායකයා, රැගෙන ආ කරණවෑමියා ලවා කෙස් කපා ගත්තාට වඩා තල් ඇටවල පටලවා කෙස් උගුලා දැම්මා නම් උතුම්ය.

3. දායකයා පිදූ සිවුර පෙරවනවාට වඩා නිරුවතින් සිටීම උතුම්ය.

4. දායකයා පිදූ යහනෙහි සැතපෙනවාට වඩා බිම නිදීම උතුම්ය.

යන ඉතා දරුණු පරිභවයකින් රහතන් වහන්සේට පරිභව කළා. තම දායකයා, පහදවා ගැනීම හේතුවෙන් නේවාසික භික්‍ෂුවට ඇතිවූ ඊර්ෂ්‍යාවේ තරම ඒ පරිභවයෙන් පෙනෙනවා.

මේ පරිභවය ඇසූ රහතන් වහන්සේ තමා නිසා පාපයන් සිදු කර ගන්නා අඥානයා වෙතින් ඉවත්ව හිරු නැගෙන්නටත් පෙරාතුව එම ආරාමයෙන් නික්ම ගියා. ඒ බව නොදත් විහාරවාසි භික්‍ෂුව පිබිද විහාර කටයුතු නිමවා පිඬු සිඟා යන්නට සූදානම්ව රහතන් වහන්සේ මෙතෙක් නිදනු ඇතැයි සිතා කෙණ්ඩියට නිය පිටින් ගසා කුඩා ශබ්දයක් පමණක් කොට තම දායකයාගේ ගෙදරට ගියා. දායකයා රහතන්වහන්සේ ගැන විමසූ විට ඔහු කීවේ ඔබේ යාළුවා ඔබ දුන් යහනෙහි තවමත් නිදි බවයි. තමා ශබ්ද කරමින් මෙතෙක් වැඩ කළත් ඒ කිසිවකුට නොනැගිට නිදන බව දායකයා හමුවේ ප්‍රකාශ කළා.

දායකයා නුවණැති බැවින් ඔහු කල්පනා කළේ උන්වහන්සේ කිසිවිටෙකත් මේ තරම් වේලා නොනිදන්නේය. උන්වහන්සේට පෙරදා කළ සත්කාර දැක විහාරවැසි භික්‍ෂුව ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ මග හැර පැමිණ ඇත්තේය. එබැවින් පිරිසුදු දාන පාත්‍රයක් විහාරයට යැවිය යුතු බවයි. ඒ අනුව භික්‍ෂුව වළඳවා මාගේ මිත්‍ර හිමියන්ට මෙය පුදනු මැනවැයි පාත්‍රය පුරවා පිණ්ඩපාතය පිටත් කළා. එහෙත් එහිමියන් කළේ එම ආහාරය වැළඳුවොත් තවත් දායකයා කෙරෙහි පැහැදෙති’ යි බියෙන් ආහාරය අතරමග කැලයකට විසි කර ආරාමයට පැමිණීමයි. සසර දුක් ගෙවන්නට පැවිදිව මහණදම් පුරන්නට සූදානම් වූ මෙම භික්‍ෂුව මෙම රහතන් වහන්සේ හේතුවෙන් කරගත් පාපයෙන් මරණින් මතු බුද්ධාන්තරයක් පුරා නිරයෙහි ඉපිද අපමණ දුක් අනුභව කළා.අවසානයෙහි ගෞතම බුදුසමයෙහි රජගහනුවර බොහෝ ආහාරපානයෙන් පොහොසත් නිවසෙක ඔහු ජන්මය ලැබුවා.

පොහොසත් කුල ගෙයක උපන්නද කර්ම විපාකයෙන් මිදෙනු නොහැකි වූවා. ඔහු කුඩා කල සිටම සයනයක නින්ද ප්‍රතික්‍ෂේප කළා. බිම වැතිර නිදන්නට වුණා. කෙනෙක් ආහාර පැවැතියත් එම ආහාර ප්‍රතික්‍ෂේප කොට අශූචි ආහාරයට ගන්නට පටන් ගත්තා. කුඩා කල සිටම ඇඳුම් ඇඳීම ප්‍රතික්‍ෂේප කොට නිරුවතින් වාසය කළා. ළමා කාලයේ නොදැනීම නිසා මෙසේ කරති’යි දෙමාපියන් සිතුවද තරුණ වියේදීත් එසේ වූ නිසා ඒ අය මොහු අත්හැර දැම්මා. පසුව ආජීවක අරමක් වෙත ගොස් පැවිදි වූවා. පැවිදි වීමේදී සියලුම කෙස් තල් ඇටවලින් ගලවා දැම්මා. රහතන් වහන්සේට කළ නින්දා පරිභවය ඒ ලෙසින්ම ඔහුට විඳින්න වුණා.

ආජීවක පැවිද්ද ලැබුවද දායකයන් එවන දානමාන සියල්ල ප්‍රතික්‍ෂේප කළ මේ භික්ෂුව අශූචි ආහාරයෙන් ම ජීවත් වූවා.ආරාමයෙන් නෙරපා හැරි විට ගල් තලාවකට පලා ගොස් අශූචි ගඳ වහනය වන්නා වූ සුළඟ පවා ආහාරයක් කොට වාසය කළා. මෙවැනි තවුසෙකු මීට පෙර නුදුටු මිනිසුන් මොහු කෙරෙහි බොහෝ සේ පැහැදී ගම්වල භික්‍ෂූන් ප්‍රතික්‍ෂේප කොට විවිධ රසමසවුළු සකසා ගෙනැවිත් පුදන්නට වූවා. ඒවා වැළඳි විට තම තපස බිඳෙන බව කී තාපසයා තමා රකින්නේ ඝෝර තපස් බව කියා පෑවා. ඔහුට පිදීමෙන් බොහෝ අනුසස් ලැබෙති’යි සිතු මේ අඥාන මිනිසුන් තාපසයා ප්‍රතික්‍ෂේප කළත් දිගින් දිගටම ආහාර පුද පූජා කරන්නට වූවා.

මෙසේ පනස් පස් වසක් නිරුවතින් අශුචි කමින්, කෙස් උගුලමින් ගල් තලා මත නිදමින් විසූ මේ ආජීවකයා වෙත බුදුරදුන්ගේ කරුණා ඇස යොමු වූවා.අනඳ හිමියන්ට ද ඒ බව දන්වා මොහු වසන ගල්තලාව වෙතට වැඩම කළා. වැඩම කොට ඔහුට ආමන්ත්‍රණය කොට තමාට එදින රාත්‍රිය ගත කිරීමට ඉඩක් දෙන ලෙස ඉල්ලා සිටියා. එය ප්‍රතික්‍ෂේප කළ ආජීවකයා බුදුරදුන් කවරෙක්දැයි ප්‍රශ්න කළා. තමන් මහා ශ්‍රමණයෙකු බව බුදුරදුන් වදාළා. එය පිළිනොගත් ආජීවකයා බුදුරදුන්ට තම ගල්තලාවෙහි වසන්නට ඉඩක් දීම ප්‍රතික්‍ෂේප කළා.

අනතුරුව බුදුරදුන් ආසන්න කඳුවැටියේ වාසයට අවසර පැතුවා. ආජීවකයා එයට අවසර දුන්නා. එදින රාත්‍රියෙහි බුදුරදුන් පුදන්න මහා ආලෝක ධාරාවන් විහිදුවා සතරවරම් දෙවිවරු පැමිණියා. තවත් විටෙක තවත් ආලෝක ධාරාවන් පතුරුවා මහා බ්‍රහ්මයා ද බුදුරදුන් පුදන්නට පැමිණියා.

රාත්‍රිය පුරා වනය පුරා විහිදුනු මේ ආලෝක දහරාවන් දුටු ආජීවකයා උදෑසනම බුදුන් හමුවට ආවා.මේ විස්මය කුමක්දැයි විමසුවා. බුදුරදුන් රාත්‍රියෙහි තමා හමුවට පැමිණ අය ගැන කියා තමා කවරෙක්ද යන්න ආජීවකට පැහැදුවා. පනස් පස් වසක් ගල්තලාවේ උග්‍ර තපස් රැකි ඔහු බලන්නට මේ කිසිවකු නොපැමිණි බව කී ආජීවකයා “ මහා ශ්‍රමණය ඔබ ආශ්චර්යවත් ශ්‍රමණයෙක්” බව කියා පැහැදුණා.

එවිට බුදුහිමියන් ඔහුට දහම් අවබෝධ කළා. රහතන් වහන්සේ නමකට අක්‍රොස පරිභව කොට විඳි දුක් පෙන්වා දී ආජීවකයෙකු වී මෝඩ ජනයා පහදවා මුළාවට පත් කරවා තවත් පනස් පස් වසක් අප්‍රමාණ දුක් විඳි අයුරු පෙන්වා වදාළා. පූර්ව කථාව ඇසූ ඔහු ලැජ්ජාවෙන් මුසපත්ව සංවේගයට පත්වූවා. එයින් පසුව බුදුරදුන් දෙසු දහම අසා රහත් බව ලද මෙම ආජීවකයා අනතුරුව පැවිදි උපසම්පදාව ද ලැබුවා.

එදින උදෑසන ආජීවකයා පුදන්නට අංග මගධ ජනපදවලින් පැමිණි බොහෝ ජනයා බුදු රජාණන් වහන්සේත් ආජීවක රහතන් වහන්සේත් දැක කවරෙකු උතුම්දැයි නොදැන සැක ඇති කර ගත් කල්හි ආජීවක රහතන් වහන්සේ අහසට පිවිස බුදුරදුන් තමන්ගේ ශාස්තෘවරයා බව ජනයා හමුවේ කියා පෑවා. අවසන ඒ මහා පිරිස හමුවේ දහම් දෙසු මේ අඥාන ජනයා ද ධර්මාවබෝධයට පත් කළා.

අනුන්ගේ සැපත ඉවසිය නොහැකිව ගුණවත් උතුමන්ට පරිභව කළ ආජීවකයා විඳි අප්‍රමාණ නිරා දුක් සමූහයත්, යථාර්ථය නොදැක දුටු දුටු දේ සරණ යන අඥාන මිනිසුන්ගේ ස්වභාවයක් මේ දහම් කථාව ඔබට කියා දෙන්නේ අපූර්ව පාඩමකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.