UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර

පෞරාණික චාරිත්‍රානු විධින් නොඉක්මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහර ඒ නිසාම සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් ලෙස සැළකිය නොහැකිය. බුද්ධ වන්දනාවන් හා දේව වන්දනාවන් ලෙසින් මෙම ඇසළ උළෙල නව සංස්කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීමට විහාරාධිපති හා විහාරාධිකාරි නා හිමිපාණන් වහන්සේලාට මේ නිසා හැකිවී ඇත

බස්නාහිර පළාතේ විහාරස්ථානයන් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකෙන බෙල්ලන්විල රාජමහා විහාරය පුදබිමක් හැටියට දෙවනපෑතිස් රජ දවස දක්වා අතීතයකට හිමිකම් කියයි. තේන්ගොඩගෙදර හිමියන් විසින් නැවත සොයාගන්නා ලද බෙල්ලන්විල රාජමහා විහාරයේ වර්තමාන පුනරුදයට පුරෝගාමීව ක්‍රියා කරන ලද්දේ අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසිනි. එබැවින් අද එය දෙස් විදෙස් හි බෞද්ධ අබෞද්ධ කා අතරත් හද බැඳගත් ස්ථානයක් බවට පත් වී ඇත.

අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දෙතිස් ඵලරුක් බෝධි අංකුරයකින් හටගත් බෝධිරජයාණන් වහන්සේගේත්, පොළොන්නරුව විහාර සම්ප්‍රදායයට අනුකූලව නිර්මාණය කරන ලද විහාර මන්දිරයත්, එහි බිතුසිතුවම් වලින් පිළිබිඹු වන බුද්ධ චරිතයත් බෙල්ලන්විල විහාරයේ වංශකථාවත් අද කාගේත් සිත් ඇද ගැනීමට සමත් වී ඇත.

බෙල්ලන්විල රාජමහා විහාරය හුදු ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව අධ්‍යාපනය, කලාවට හා සංස්කෘතියට ද විවර වූ ආගමික කේන්ද්‍රස්ථානයක් බවටපත් කිරීමට අපවත්වී වදාළ නාහිමිපාණන්ගේ තවත් අභිප්‍රායක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණ කුසලතා වලින් හා දක්‍ෂතාවලින් හෙබි පිරිසක් සමාජයීය, ආගමික අවශ්‍යතාවලට සරිලන අන්දමින් දායාද කිරීමට අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක මාහිමිපාණන් වහන්සේට හැකි වූහ.

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවයක් බවට පත්වී ඇති බෙල්ලන්විල ඇසළ මහා පෙරහර එහි මල් ඵල ගැන්වීම විය. 1950 දී රටටත් ප්‍රදේශයටත් සෙත් ශාන්තිය ලබාදීමේ අරමුණෙන් ආගමානුකලව චාරිත්‍ර විධිවලට අනුකූලව ආරම්භ කරන ලද ඇසළ පෙරහර මෙවර පවත්වනු ලබන්නේ 59 වන වතාවටය.

මහනුවර දළදා පෙරහර මෙන්ම සියලු ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහරේ විශේෂත්වය වන්නේ නින්දගම් රාජකාරි ක්‍රම පිළිවෙතකට අනුව හා බස්නායක නිලමේවරයෙකුගේ ප්‍රධානත්වයකින් තොරව සිදුකිරීමයි. වර්තමාන සමාජ රටාව හා ආර්ථික රටාව මත එක් රැස් ව සාමූහික ක්‍රියාදාමයක් වශයෙන් මෙය පවත්වා ගෙන යාම ආදි කර්තෘ නායක මාහිමිපාණන්ගේ අභිප්‍රාය විය.

පෞරාණික චාරිත්‍රානු විධින් නොඉක්මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහර ඒ නිසාම සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් ලෙස සැළකිය නොහැකිය. බුද්ධ වන්දනාවන් හා දේව වන්දනාවන් ලෙසින් මෙම ඇසළ උළෙල නව සංස්කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීමට විහාරාධිපති හා විහාරාධිකාරි නාහිමිපාණන් වහන්සේලාට මේ නිසා හැකිවී ඇත.

වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන් වහන්සේ හා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ යන අප ගුරුදේවෝත්තමායණන් වහන්සේලාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන මෙවර ඇසළ පෙරහර උත්සවයට පොදු ජනතාවගේත්, දානපතියන් ගේත්,විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සමිතිය ප්‍රජා සංවර්ධන පදනම ආදි විහාරස්ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම්වලත් පූර්ණ සහයෝගය ලැබීම ඉතා අගේ කළ යුත්තකි.

බෙල්ලන්විල
ශ්‍රී සෝමරතන නා හිමි

බෙල්ලන්විල
ධම්මරතන නා හිමි

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

උඩරට, පහතරට හා සබරගමු නැටුම් වලින් ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින්ද සමන්විතව සිව් මහා දේවාළ පෙරහර පෙරටු කොටගෙන මෙවර ඇසළ පෙරහර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර හමාරය.වෙනත් වසරවල මෙන්ම අපවත්වී වදාළ නාහිමිපාණන්ගේ ගුණසමරු උත්සවය සමගින් අරඹන ලදුව සති පිරිත් දේශනාවකින් රටටත් ජනතාවටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාදීමෙන් පසුව අගෝස්තු 19 වන දින මල් පෙරහර වලින් පෙරහර මංගල්‍යය ආරම්භ විණි.

අගෝස්තු 23 වන දින පාවාඩ පෙරහරද, අගෝස්තු 24 වන දින රන්සිවිලි පෙරහරද, අගෝස්තු 25 වන දින රන්දෝලි මහා පෙරහරද පවත්වා අගෝස්තු 26 වන දින දියකැපීමේ මංගල්‍යය හා දේව දානය පිදීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත් කෙරේ.

 

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]