UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අවිස්සාවේල්ල මාදොළ ශ්‍රී මෙත්තාරාමය


බුද්ධ ප්‍රතිමා වහන්සේ


ධර්ම ශාලාව

මෙත්තාරාම විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආගමික, ජාතික, අධ්‍යාපනික අවශ්‍යතා සපුරාගනු පිණිස මෑත භාගයේ ඉදි වූවකි. 2002 වසරේ ඇසළ පෝ දින වස් එළඹීමත් සමඟ ඇරඹුණු මෙත්තාරාමයෙන් දුෂ්කර කටුක කාල පරිච්ඡේදයක් ගත කොට ස්ථිරසාර ශාසනික වැඩ පිළිවෙලක ආරම්භය වූයේ 2005 මැයි මස 20 වැනි දින සංඝාවාසයට මුල් ගල් තැබීමෙනි.

මෙම වසරේම වස්කාලය තුළම දඹදිවින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාවක් පූජා කළේ පූජ්‍ය අස්ගඟුලේ විමලරතන නාහිමිපාණන් වහන්සේ විසිනි. රෝපණය කරනු ලැබුවේ මහෝපාධ්‍යාය කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වේරහැර ආරියවංශ නා හිමිපාණන් වහන්සේගේ සුරතිනි. මේ සියල්ල මෙසේ සිදු වූයේ මෙම ප්‍රදේශයේ බෞද්ධ ආගමික අවශ්‍යතාවය දූරදර්ශීව දුටු කොටහාර රාජගිරි විහාරාධිපති පූජ්‍ය මාදොල නන්දරතන හිමියන් විසින් පූජ්‍ය පරණගම ධම්මානන්ද හිමියන් වෙත කරන ලද ඉල්ලීමක හා ආරාධනාවක ප්‍රතිඵල වශයෙනි.

මේ පුණ්‍ය භූමියෙහි රෝපිත බෝධින් වහන්සේ පුද පූජා ලබමින් වැඩෙද්දී ඒ වටා බුදු කුටි තනා විපස්සි , සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත් බුදුවරයන් වහන්සේලා වඩා හඳවූහ. බෝධි ප්‍රාකාරය ද බෝධි ඝරය ද තැනුණි. ගණ්ඨාර කුලුන ද නිමැවුනි.

අත්‍යවශ්‍ය පොදු අංගයක් වන විහාරස්ථානයේ ධර්ම මන්දිරය අලංකාර ලෙස තැනුණේ ප්‍රධාන දායක ඇඩ්සන් කුරුවිට මහතාගේ ධන පරිත්‍යාගයෙනි. ප්‍රදේශයේ ගිහි පැවිදි හැමෝම මෙත්තාරාමයේ දියුණුවට අත හිත දුන් අතර එම විහාරයට එන මාවත ස්ථිර ලෙස සැකසුනේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් කළ ධන පරිත්‍යාගයෙනි. සංඝාවාසය විවෘත කෙරුණේ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිපාණන් වහන්සේගේ සුරතිනි.


සත් බුදු මැදුර සහ බෝධින් වහන්සේ

2003 වසරේ ආරම්භ කළ මෙත්තාරාම දහම් පාසල අද වන විට ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු දක්ෂ ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර, ශිෂ්‍ය පිරිස 200 කට ආසන්න වේ. මේ සියලු දෙනාටම හැම ඉරිදාවකම දිවා ආහාරය ද සපයන්නේ පරිත්‍යාගශීලි සෙනෙහෙබර දෙමව්පියන් විසිනි. පිරිත් පැන් ඉසිමින්, පිරිත් පැන් බෙදමින් සැමට සෙත් පතා වාර්ෂික පොසොන් මිහිඳු පෙරහැර පවත්වන්නේ ද දහම් පාසල මගිනි.


විහාරාධිපති පරණගම
ධම්මානන්ද හිමි

විහාරස්ථානයෙන් පෝදා දාන, ශීල, භාවනාදී පිංකම් ද ඉහත කී සත් බුදුවරුන් වහන්සේලා හා එම බෝධින් වහන්සේලා ද එම උතුම් බෝධි ඥාණය ද අරමුණු කොට දිනපතාම සප්ත බුද්ධ බෝධි පූජාව පවත්වනු ලැබේ. පැවැත්වූ දහස් සංඛ්‍යාත බෝධි පූජාවන්ගේ අරමුණු නොවැරදි නොපමාව ඉටු වී තිබීම ද විශේෂ කරුණකි.

මේ විහාරස්ථානය ආරම්භයේ සිටම මූලික වූයේත්, අනුශාසක වූයේත්, විහාරාධිපති වූයේත්, ශාස්ත්‍රපති, විශ්‍රාමික පරිවේණාධිපති, විනය කීර්ති ශ්‍රී සද්ධාර්මාචාර්ය ශ්‍රී සුමංගලාභිධාන පරණගම ධම්මානන්ද හිමියන්ය. පරණගම රතනානන්ද, කැටයාපතනේ සංඝානන්ද යන හිමිවරු දෙනම
 උන්වහන්සේගේ ශිෂ්‍යයෝය.

 

 


විහාරස්ථානයට ශ්‍රී පාද කන්ද දර්ශනය වන අයුරු

 

 

 

 

 

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]