Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්පුරුෂ ඇසුරට පැමිණීමට නම්....

සිත අකුසලයට බරවෙන විදිහට කටයුතු කරන්ට එපා. අප්‍රමාදීව හැකි තරම් ඉක්මනින් සත්පුරුෂ බව ඇති කර ගන්න. තම තමා සත්පුරුෂයන් බවට පත්වුණොත් එයා නිතැතින්ම සත්පුරුෂ ඇසුරේ ඉන්නවා

(2011.07.11 පත්‍රය හා සම්බන්ධයි)

එතකොට මේ ලෝකයේ යම් සැපක් තියෙනවා නම්, ඒ සියලු සැප ලබාගන්ට පුළුවන් සත්පුරුෂයන් සමඟ ඉන්න විටයි. දුකෙන් අවසන් වන සැප අපට ප්‍රයෝජනයක් නෑ නේද? කාමයන් නිසා යම් සැපක් තියෙනව නම්, ඒක දුකෙන් අවසන් වෙලා යනවා. ඒ සැප අපට අර්ථවත් වෙන්නෙ නෑ. නමුත් කවුරුත් ප්‍රශංසා කරන ආකාරයේ සැප සම්පත් තියෙනවා. ඒ හැම එකක්ම සත්පුරුෂ ඇසුරේ ලබාගන්ට පුළුවන්කම තියෙනවා. එනිසා යම් කෙනෙක් සතුටින් ඉන්ට කැමැති නම්, සැපසේ වාසය කරන්ට කැමැති නම්, ජීවිතේ දියුණු කරගන්ට කැමැති වෙනවා නම්, ප්‍රඥාව ලබන්ට කැමැතිවෙනවා නම්, ඒ හැම එකක්ම ලබා ගන්ට පුළුවන්කම තියෙන්නෙ සත්පුරුෂ ඇසුරේමයි. යමෙක් මේ ජීවිතේ සැපයක්, මතුජීවිතේ සුගති සම්පත්තියක් කැමැති වෙනවා නම්, ඒ සියලු සැප ලැබෙන්නෙ සත්පුරුෂ ඇසුර නිසයි. එවිට ඒ සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනාට සියලු දුකින් නිදහස් වෙන්ට පුළුවන් කමකුත් තියෙනවා. ඒ නිසා අප සත්පුරුෂ ඇසුරට කැමැති වෙන්ට ඕන.

සත්පුරුෂ ඇසුර ගැන මේසා වර්ණනා කරල තියෙන ධර්මයක් අපට අහන්ට ලැබෙත්දීත්, අපට සත්පුරුෂ ඇසුර ලබාගන්ට බැරිවුණොත් අප කොච්චර අවාසනාවන්තයන් බවට පත් වෙයිද? සත්පුරුෂ ඇසුර ගැන මේ තරම් වර්ණනා කරත්දීත් සත්පුරුෂ ඇසුරට මේ තරම් පොළඹවත්දීත්, සත්පුරුෂ ඇසුරේ ගුණ මේ තරම් කියත්දීත්, එබඳු ධර්මයක් අපට අහන්ට ලැබෙත්දීත්, අප සත්පුරුෂ ඇසුර ඈත්කර ගත්තොත් අහිමිකර ගත්තොත් අප කොච්චර නම් අවාසනාවන්තයන් බවට පත් වෙයිද?

දැන් බලන්න මේ සත්පුරුෂ ඇසුර ගැන කොච්චර වර්ණනා කරනවද? ඒක කොච්චර අගය කරනවද? ඒවාගේ ධර්මයක් අපට අහන්ට, දැනගන්ට ලැබිල තියෙද්දී, ඒ ගැන දැන දැනත් අප සත්පුරුෂ ඇසුර අත්හැරගත්තොත් ඒකට කිසි කෙනෙක් කැමැති වෙන්ට එපා. සතුරෙකුටවත් සත්පුරුෂ ඇසුර අහිමිවෙන්ට එපා කියල හිතන්න. සතුරෙකුට හරි කමක් නෑ සත්පුරුෂ ඇසුර ලැබේවා කියල පතන්න. එසේ නම් අපට ලැබුණ සත්පුරුෂ ඇසුර අප කෙසේ රැකගත යුතුද කියල කල්පනා කරන්න සියලු දෙනාටම සත්පුරුෂ ඇසුර ලබන්ට වාසනාව උදාවේවා!

භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ ඇසුරේ වටිනාකම මේ විදිහට කියා දුන්නා. සත්පුරුෂයෙක්මයි ඇසුරු කරන්ට ඕන. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්ටත් ඕන. ඒ ධර්මයමයි අප ඉගෙන ගන්ටත් ඕන. එතකොට එයා දියුණු වෙනව. පිරිහෙන්නේ නෑ. එයාට ප්‍රඥාව ලැබෙනවා. වෙන ක්‍රමයකින් ප්‍රඥාව ලබා ගන්ට බැහැ. සුගතියේ උපදින්න පුළුවන්කම ලැබෙනව. සියලු ආකාරයේ සැප ලැබෙනව, සියලු දුකින් නිදහස් වෙනව. නිවන අවබෝධ කරන්ට පුළුවන්කම තියෙනවා.

සත්පුරුෂයන් වන්නේ කොහොමද?

මෙතරම් ම සැප සම්පත් ලැබෙන, ඒ නිසා අපට යහපත ඇති කරන, සත්පුරුෂ ඇසුර ලබාගන්ට නම් අප මොකක්ද කරන්ට තියෙන්නෙ? ඒ සඳහා අපත් සත්පුරුෂයන් බවට පත් වෙන්ට ඕන. අප සත්පුරුෂයන් නොවුණොත් අපට සත්පුරුෂ ඇසුර ලැබෙයිද? අප සත්පුරුෂයන් නොවුණොත් සත්පුරුෂ ඇසුර අප අහිමි කරගන්නව. ඒ නිසා අප සත්පුරුෂයන් වුණොත්, ඒ සත්පුරුෂ ඇසුර, අපට අහිමිවෙන්නේ නෑ. එනිසා අප කවුරුත් සත්පුරුෂයන් වෙන්ට කැමැති වෙන්ට ඕන.

සත්පුරුෂයන් වෙන්නෙ කොහොමද? සත්පුරුෂයන් වෙන්ට නම්, ඒ සත්පුරුෂයන්ගේ ගුණ දැනගන්ට ඕන. සත්පුරුෂයන් මොනවගේ අයද කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.සත්පුරුෂයන් කියල කියන්නේ මෙන්න මේ වගේ අය කියලා ඒ සත්පුරුෂයන්ගේ ගතිගුණ ලක්ෂණ අපට පෙන්වා දෙනව. එතකොට අප අන්න ඒව ඉගෙනගෙන අපේ ජීවිතයට එකතුකරගන්ට ඕන. පුරුදු කරගන්ට ඕන. අන්න ඒ විදිහට සත්පුරුෂයන් බවට පත්වුණොත් අපට සත්පුරුෂ ඇසුර ලැබෙයි. සත්පුරුෂ ඇසුර අහිමි වෙන්නෙ නැතිවෙයි. එහෙම නැත්නම් අපට මේ දුර්ලභව ලැබිච්ච සත්පුරුෂ ඇසුර දන්නෙම නැතිව අහිමිවෙලා යනවා. සත්පුරුෂ ඇසුර අහිමි වෙන කෙනාට සැප ලැබෙන්නේ නෑ. එයාට නෑදැයන් ළඟ බැබළීමක් එන්නෙත් නෑ. ශෝක කරන ජනයා මැද එයාටත් ශෝක කරන්ට සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. නෑදෑයන් ළඟ ප්‍රශංසාවක් ලැබෙන්නේ නෑ. බැබළීමක් ලැබෙන්නෙත් නෑ. එයාට දියුණුවක් අත්වෙන්නෙත් නෑ. එයා පිරිහෙනවා. එයාට සුගතිය අත්වෙන්නෙ නෑ. දුගතිය තමයි අත්වෙන්නෙ. එයාට බොහෝ කලක් දුක් විඳින්ට, සෝක කරන්ට සිද්ධ වෙනව. එයාට දුකින් නිදහස් වීමක් ලැබෙන්නෙ නෑ.

සත්පුරුෂ භූමිය

එනිසා සත්පුරුෂ ඇසුර අහිමි කරගන්ට කවදාවත් සිතන්ට එපා. අපට ලැබුණ සත්පුරුෂ ඇසුර අහිමි නොවන විදිහට ජීවිතේට එකතු කරගන්න කවුරුත් කැමැතිවෙන්න. ඒ සඳහා ප්‍රමාද වෙන්ට එපා. ඒක පරක්කු කරන්ට එපා. ප්‍රමාද වෙන්ට සත්පුරුෂ ඇසුර අහිමිවීමේ අවස්ථාව වැඩියි. ප්‍රමාද වෙන්ට වෙන්ට සත්පුරුෂ ඇසුර අහිමිවෙන්ට ඉඩකඩ වැඩි වෙන්නෙ ඇයි? ප්‍රමාදය තුළ මේ සිත කෙලෙස්වලට ගොදුරුවෙලා යනවා. ප්‍රමාදය තුළ අකුසලයට සිත බරවෙනවා. කුසලයට බරවෙන්නේ නෑ.

ඒ නිසා සිත අකුසලයට බරවෙන විදිහට කටයුතු කරන්ට එපා. අප්‍රමාදීව හැකි තරම් ඉක්මනින් සත්පුරුෂ බව ඇති කර ගන්න. තම තමා සත්පුරුෂයන් බවට පත්වුණොත් එයා නිතැතින්ම සත්පුරුෂ ඇසුරේ ඉන්නවා. එනිසා සත්පුරුෂයන් බවට පත් වෙන්න. කොහොමද සත්පුරුෂයන් බවට පත්වෙන්නෙ. ඒ සඳහා තම තමන්ම සත්පුරුෂ භූමියට පැමිණෙන්න ඕන නේද? කොහොමද ඒක කරන්නෙ? සත්පුරුෂ භූ®මිය කියල කිව්වෙ මොකක්ද? කළ ගුණ දන්නා කමත්, කළ ගුණ සිහිකරන්ට දක්‍ෂකමක්, කියන මේ කාරණා දෙක තමයි සත්පුරුෂ භූ®මිය කියල කියන්නෙ. එහෙනම් අප කළගුණ දන්නා කමත්, කළගුණ සිහිකරන්ට දක්‍ෂකමත්, ඉක්මනින් ඇති කර ගන්ට ඕන. අන්න ඒ ධර්මතාවන් අපේ ජීවිතය තුළ දියුණු කරගත්තොත් අපට සත්පුරුෂ භූමියට පත්වෙන්ට පුළුවන්. සත්පුරුෂයන් බවට පත්වෙන්ට පුළුවන්.

කළ ගුණ දන්නා කමත්, කළගුණ සිහිකරන්ට දක්ෂකමත්, කියන ඒ ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතු කරන්ට බැරිවුණොත් එහෙම, එයාට උපකාර කළ අයගේ ගුණ සිහිවෙන්නෙ නෑ. එයාට සිහි වෙන්නෙ තමන්ගෙ හොඳ. වෙන කෙනෙකුගෙ හොඳ සිහිවෙන්නෙ නෑ. කොයිතරම් හොඳ තිබ්බත් අනිත් අයගෙ අඩු පාඩු තමයි එයාට සිහිවෙන්නෙ. තමන්ගෙ අඩුපාඩු කොච්චර තිබ්බත් එයාට පේන්නෙ නෑ. එයාට ඒව හොයන්න බෑ. තමන්ගෙ හොඳ ටික තමයි එයාට පේන්නෙ.

යම් කෙනෙක් වෙන කෙනෙකුගේ ගුණයක්, ඇහුවොත්, අසත්පුරුෂයා කැමැති නෑ කියන්ට. තව කෙනෙකුගෙ අඩුපාඩුවක් ඇහුවොත් එහෙම, අහන්ට ඕනැත් නෑ. අහන්නෙ නැතුවම කියනව. ඇහුවොත් එහෙම කවර කතාද? විස්තර කර කර කියනව. එයා අනිත් අයගේ හොඳ කියන්නේ නෑ. ඇහුවොත් සඟවලා කියන්නෙ. ඒ තමයි අසත්පුරුෂ කෙනාගෙ ස්වභාවය.

සත්පුරුෂ කෙනා එහෙම නෑ. තව කෙනෙකුගේ අඩුපාඩුවක් කියන්ට යන්නෙ නෑ.. ඇහුවොත් එහෙම, ඒක සඟවලා කියන්නෙ. විස්තර කරල කියන්ට යන්නේ නෑ..අනිත් අයගෙ හොඳ විස්තර කරල කියනව. ඇහුවෙ නැතත් කියනව. ඒ සත්පුරුෂ කෙනාගේ ස්වභාවය .තමන්ගෙ හොඳ තිබුණොත් එහෙම සත්පුරුෂයා ඒක කියන්ට යන්නෙ නෑ. ඇහුවොත් ටික ටික තමයි කියන්නේ. තමන්ගෙ අඩුපාඩුවක් තිබුණොත් එහෙම සත්පුරුෂයා ඒක ඇහුවෙ නැතත් කියවා. ඇහුවොත් එහෙම සම්පූර්ණයෙන්ම කියනවා. දැක්කද සත්පුරුෂ කෙනාගෙයි අසත්පුරුෂ කෙනාගෙයි ස්වභාවය.

අන්න ඒ විදිහට සත්පුරුෂ ගුණ ඇති කර ගත්තොත්, සත්පුරූෂ භූමියට පැමිණිනොත් එයාට නිතැතින්ම සත්පුරුෂ ඇසුර හිමිවෙනවා. එතකොට සත්පුරුෂයා එක්කමයි ඉන්නෙ. සත්පුරුෂයන් සමඟමයි යාළුවෙන්නෙ. ඒ සත්පුරුෂ ධර්මයම එයා පුරුදුකරනවා. අන්න එයාට දියුණුවක්මයි ඇති වෙන්නෙ. එයා පිරිහෙන්නේ නෑ. එයාට ප්‍රඥාව වැඩෙන්න පටන්ගන්නවා. එයා ශෝක කරන්නෙ නෑ. ශෝක කරන අය මැද ශෝක නොකරන කෙනා, අනිත් තැන දී කවර කතාද? එයා ශෝක කරන්නෙ නෑ.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.