Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතරමහා දේවාලයෙහි සුභ නැකතට කප් සිටුවීමෙන් මෙම මස 19 දින ආරම්භ වෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි 19 දින පෙරවරු 10.07 ට යෙදෙන සුභ නැකතට නැගෙනහිර දිසාභිමුඛව කප් සිටුවීමට නියමිතය.

කප් සිටුවීමෙන් අනතුරුව දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි. ප්‍රථම කුඹල් පෙරහර ජූලි මස 23 දින වීදි සංචාරය කරනු ඇත.

කුඹල් පෙරහර දින 05 ක් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ප්‍රථම රන්දෝලි පෙරහර ජූලි 28 වීදී සංචාරය අරඹයි. අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 01 දින වීදී සංචාරය කෙරෙන අතර පසුදින දවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.

මෙවර මහනුවර ඇසළ පෙරහරට සමගාමීව රුහුණු මහ කතරගම හා දෙවුන්දර පෙරහරද පැවැත්වෙන බැවින් අලි ඇතුන් වැඩි සංඛ්‍යාවක් පෙරහරට සම්බන්ධ කැර ගැනීම අසීරු බවත් එනමුත් අවම වශයෙන් අලි ඇතුන් 80 ක් පමණවත් මහනුවර පෙරහරට සහභාගි කැරවීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් මෙම මස 23 සිට අගෝස්තු 02 දක්වා මහනුවර නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 03 ක් දුරට ඇති සියලු මත්පැන් අලෙවි සැල් වසා තැබෙනු ඇත.

පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී.ලං.ග,ම දුම්රිය දෙපාර්තුමේන්තුව හා මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් සකස් කැර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.