Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉර පායන තැනත්, ඉර බැසයන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණදැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණදැයි කිව නොහැකිය. මහපොළවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකි ය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. නමුත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය, තැබිය යුතු දුර කොතරම් දුරින් සිටිය යුතු ද යන වග පැහැදිලි කළ නොහැකි ය

බුදුරජාණන් වහන්සේ ලෝකයේ වෙසෙන මිනිසුන් කොටස් දෙකකට බෙදා දැක්වූහ. එනම්, නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා හෙවත් ප්‍රඥාවන්තයා යනුවෙනි. බණ පොතේ බොහෝ විට නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන යහපත නොදකින පුද්ගලයා හඳුන්වා ඇත්තේ ‘බාලයා’ යනුවෙන් ය.

එහි පණ්ඩිතයා පිළිබඳව දැක්වීමේදී තමන්ගේ යහපත පිණිස අන්‍යයාගේ යහපත පිණිස දෙපක්‍ෂයේම අර්ථය හිත සුව පිණිස කටයුතු කරන්නා ලෙස දක්වා තිබේ. ක්‍රියාවෙනුත්, හැසිරීමෙනුත්, කතා බහෙනුත්, සිතිවිලි වලින් මේ දෙදෙනා වෙනස් ය. ඒ වෙනස නිවැරැදිව වටහා ගැනීමට හැකියාව ඇත්තන්ද අඩුය. බාලයාගේ ස්වභාවය දක්වන බුදුරජාණන් වහන්සේ සිතිවිලි වලින් නිරන්තරයෙන්ම අයහපත් දේ සිතන බව දක්වයි. කතා කිරීමේ දී තමාට සහ සමාජයට අයහපත වඩවන වචනම කතා කරන බව දක්වයි. යම් යම් ක්‍රියා කලාපයන් කිරීමේ දී තමාගේ සහ සමාජයේ අයහපත පිණිසම හේතු වන නරක ක්‍රියාම කරනු ලබන බව දක්වයි. මෙහිදී බාලයා පිළිබඳව දක්වා තිබෙන කරුණු තුන මිනිසාගේ සිතට ද වචනයට ද, කයටද, සම්බන්ධ කොට දක්වා තිබේ. බාල ගති සිරිත් පිරි පුද්ගලයාගේ ස්වභාවය බණ දහමේ මෙබඳු ආකාරයෙන් දක්වන්නේ ඔහු ඇසුරෙන් ඈත් කොට දැමිය යුතු කෙනෙකු කියා ය. සමාජයේ ජීවත් වන විට ඒ ඒ පුද්ගලයන් ඇසුරෙන් ඉවත් කර දමන්නට ගියහොත් සමහර විට සිදුවන්නේ සමාජය තුළ තමාට පමණක් හුදකලා වූ ලෝකයක වෙසෙන්නටයි. එසේ වන්නේ බණ පොතෙහි සඳහන්වන මෙම දහම් කරුණු වැරැදි විදිහට අල්ලා ගෙන තිබෙන ඒවා ය. එහි නිවැරැදි ක්‍රමය මෙසේ ය. ඒ ඒ පුද්ගලයන් ගත යුත්තේ ඔවුන්ගේ ක්‍රියා කලාපය අනුවය. බාලයා ගේ ක්‍රියා කලාප දුර්ජන ඒවා ය. එබඳු ඒවා බැහැර කළ යුතුයි. නරක සිතිවිලිම සිතා හොඳ වචන කතා කරන නරක සිතිවිලිම සිතා සමාජ ප්‍රභාවිත ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් සමාජයට ඕනෑතරම් තිබිය හැකිය. කෙනකු හිතන හිතන සිතිවිල්ල අනෙකා තේරුම් බේරුම් කරගන්නේ කොහොමද කෙබඳු සිතිවිලි හිතුවත් ඒවා කෙනෙකුට තෝරා බේරා ගත හැකිවන්නේ වචනයෙන් කරන ප්‍රකාශ සහ කරන ක්‍රියා කලාප තුළින් කතා කරන වචන ඇසෙයි කරන ක්‍රියා පෙනෙයි. වචනයෙන්ද ක්‍රියාවෙන්ද යමක්කමක් දැනුම් තේරුම් තියෙන කෙනෙකුට සිතිවිලි හඳුනාගත හැකි වෙයි.

පණ්ඩිතයා පිළිබඳව බුදුදහම දක්වන්නේ බාලයාගේ ක්‍රියා කලාපවලට වඩා හාත්පසින්ම වෙනස් ඒවායෙහි නියුක්ත කෙනෙකු හැටියටය. ඒ අනුව,

1. ඔහු නිරන්තරයෙන් යහපත් සිතිවිලිම සිතන සහ එබඳු සිතිවිලි සිතන්ටම උත්සාහ කරන කෙනෙකි.

2. පිරිසුදු වචනම කතා කරන එබඳු වචනවලටම පමණක් කැමැති බව ඇති කෙනෙකි.

3. යහපත් ක්‍රියාවන් කිරීම සඳහාම උනන්දුවක් දක්වන කෙනෙකි.

මේ අනුව බාලයා ද පණ්ඩිතයාද, අතර ඇති වෙනස ඔවුන්ගේ සිත, කය, වචනයේ, දොරටු තුනෙහිම තැවරී ඇති බව සිතිවිල්ලෙන් ද, වචනයෙන්ද, ක්‍රියාවෙන් ද තෝරා බේරා ගත යුතු වෙයි. බුදුරජාණන් වහන්සේ මෙබඳු දේශනාවක් කරනු ලබයි. එනම් මහණෙනි, ඉර පායන තැනත්, ඉර බැසයන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණදැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණදැයි කිව නොහැකිය. මහපොළවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකි ය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. නමුත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය, තැබිය යුතු දුර කොතරම් දුරින් සිටිය යුතු ද යන වග පැහැදිලි කළ නොහැකි ය.

එකම සමාජයේ එකට ගැටෙමින් එකම අදහස් හුවමාරු කරගනිමින් ජීවත් වුවද මිනිසා තව කෙනෙකු හා සන්සන්දනය කොට බලන විට ඔවුන් කෙතරම් වෙනස් ද විපරීතද යන්න මේ තුළින් පැහැදිලි වේ.

දඹදිව පැවති නැකැත් උත්සවයක් මෙම දේශනාව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරදීම සඳහා හේතු වී තිබේ. එම උත්සවය එදා හඳුන්වනු ලැබුවේ බාල නක්කත්ත යනුවෙනි. එම වචන අර්ථයෙන්ම පැහැදිලි වන්නේ මෙම උත්සවය එක්තරා විදිහකට මිනිසුන්ගේ සැණකෙළියක් බව ය. සතියක් මුළුල්ලෙහි මෙම උත්සවය පවත්වන ඔවුහු අසෝභන ලෙස හැසිරෙති. කියන්නේ අසෝභන කතා ය. කරන්නේ අසෝභන ක්‍රියාවන් ය. මේ සිද්ධිය දකින නැණවත් කෙනෙකුට බාලයා සහ පණ්ඩිතයා අතර කිසියම් වූ සීමාවක් පවතින බව පෙනේ. නමුත් එම සීමා මායිම් නිවැරැදිව ලකුණු කරන්නේ කොහොමද? ජීවිතය මගින්ම ජීවිතය අවබෝධ කරගත යුතු බව මෙහි දක්වා තිබේ.

සාමාන්‍යයෙන් බහුල වශයෙන් සමාජය තුළ පවතින ක්‍රමය වන්නේ තමන් පණ්ඩිතයන් ය. අනෙකා බාලයෙක්ය. යනුවෙන් වර්ගීකරණය කිරීමයි. මෙම දහම් පදය එම වර්ගීකරණයද නිවැරැදි, එසේ නැත්නම් වෙනත් නිවැරැදි ක්‍රමයක් තිබේද කියා හිතා බැලීමට මිනිස් චින්තනය යොමු කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.