Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුකසේ විඳින කර්ම විපාක - 12

ධනපාල පේ‍්‍රත වස්තුව

අනේ පින්වත්නි, මම මේ දුකේ් වැටිලා ඉන්නේ. මම යමලෝකේ උපන් පෙරේතයෙක්. මගේ අතින් පවුකම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ

තුන් ලොවටම එකම ශාස්තෘන් වහන්සේ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි ධනපාල නම් පේ‍්‍රතයා අරභයා මේ දේශනාව වදාළ සේක.

උන්වහන්සේ ලොව පහළවන්නට පෙර දසන්ත නම් රටෙහි ඒරකච්ඡ නම් නුවර ධනපාල නම් සිටුවරයෙක් ජීවත් වුණා. ඔහු සැදැහැයෙන් තොරයි. තෙරුවන් කෙරෙහි පින් සිතක් ඇතිකර ගත්තේ නැහැ. ඉතා මසුරුයි. නැවත ඉපදීම හෝ කර්ම විපාක ඇතැයි විශ්වාසයක් ඔහුට තිබුණේ නැහැ. කුහක සිතින් වාසය කළ ඔහු කාලයාගේ ඇවෑමෙන් මරණයට පත්වුණා.

ඔහු මියගොස් වැලිකතරේ පේ‍්‍රතයෙකුව උපන්නා. ඔහුට තල් කඳක් පමණ වූ සිරුරක් තිබුණේ. ඉලිප්පී ගිය සම රළුයි. කෙස් විරූපියි. බියකරුයි. දුර්වර්ණයි. බෙහෙවින් විරූපියි. බියකරු පෙනුමක් තිබුණේ. මේ පේ‍්‍රතයා සා පිපාසයෙන් දිය බිඳක් නොමැතිව කුසට අහරක් නැතිව බඩගින්නේ එහේ මෙහේ ඇවිදමින් සිටියා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී මහා කරුණාවෙන් තුන් ලොවට දහම් දෙසමින් සැවත්නුවර වැඩ වාසය කරන කල්හි සැවැත් නුවරවාසී වෙළෙන්දෝ ගැල් සියයක් බඩු පටවාගෙන උත්තර ප්‍රදේශයේ වෙළෙඳාමේ යන අතරේ එක්තරා වියලී ගිය ගඟක් අසලදී ගැල් මුදා හැර විවේක සුවයෙන් පසුවුණා. සා පිපාසයෙන් ඇවිදිමින් සිටි ඒ පේ‍්‍රතයා මෙතැනට පැමිණ මේ වෙළෙදුන්ට පෙනෙන ලෙස ඔවුන් ඉදිරියේ සිටියා.

ඒ වෙළෙන්දෝ මේ පේ‍්‍රතයා දැක පුදුම වුණා. ඔවුන් අසනවා,

ඔබේ ඇෙඟ් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

අනේ පින්වත්නි, මම මේ දුකේ වැටිලා ඉන්නේ. මම යමලෝකේ උපන් පෙරේතයෙක්. මගේ අතින් පවුකම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.

ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.

දසන්න රට වැසියන්ගේ් ඒරකච්ඡ කියලා ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මම කලින් ජීවිතයේ මනුස්ස ලෝකයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා හිටියා. මාව කවුරුත් දැනගත්තේ ධනපාල සිටුවරයා කියලයි.

මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා. රන් රිදී තව සෑහෙන තරම් තිබුණා. වෛරෝඩි, මුතු, මැණික් ආදියත් හරියට තිබුණා. ඉතින් ඔය වගේ මහ ධනස්කන්ධයක් තිබුණ මට දන් දෙන්ට කැමැත්තක් ඇතිවුණේම නැහැ. මම ආහාර අනුභව කළේ දොරවල් වහගෙන අහල පහළ යාචකයන්ට මාව දකින්න ලැබෙන්න එපා කියලා. මට ශ්‍රද්ධාවක් තිබුණේම නැහැ. මම මසුරුයි. කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන්දෙන උදවියට පින් කරන උදවියට මම බොරු කරුණු කියලා බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා.

දන් දීමෙන් කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති වැඩේ මොකක් ද? කියලයි මම කිව්වේ. පැන් පොකුණු ළිං වගේම පොදු යහපතට කරවපු උයන් වතු තිබුණා. පාපී සිතින් යුතුව ම ඒවා වනසලා දැම්මා. දුර්වල මාර්ගවල තිබුණ ඒදඬුත් වැනසුවා. ඒ මම පින්දහම් නො කර ගෙනම පව්ම රැස් කරගෙන මනුස්ස ලෝකයෙන් චුත වුණා.

ඉතින් මම පෙරේත ලෝකයේ ඉපදුනා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳීන්නේ. දැනට මම මිය පරලොව ගිහිං අවුරුදු පනස් පහක් වෙනවා. මම මේ දක්වාම කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන දන්නෙවත් නැහැ. යමෙක් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය. යම් විනාසයක් ඇද්ද ඒකමයි දන් නොදී වැළකී සිටීම.

යමෙක් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය කියන ඔය කාරණය පෙරේතයෝ දන්නවා. මම ඉස්සර හොඳට දේපල වස්තුව තිබෙද්දී දීමෙන් වැළකිලා හිටියා. දුන්නෙම නැහැ.

දන් පැන් පූජා කර ගන්නට ඕන කරන දේවල් මම ළඟ තිබෙද්දී තමන්ට පිහිටක් සලසා ගත්තේ නැහැ. දැන් මම පසුතැවි තැවී ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා.

තව මාස හතරයි මට තියෙන්නේ. ඊට පස්සේ මං මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ඝෝර අවිචි මහ නිරයේ තමයි මාව වැටෙන්නේ.

ඒ නිරයේ කොන් හතරක් තියෙනවා. දොරවල් හතරක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට සේදිලයි තියෙන්නේ වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහල තියෙන්නෙත් යකඩ පියනකින්.

ඒ අවිචි මහා නරකයේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තියෙනවා. මම එහේ ඉපදිලා දීර්ඝ දුක් විඳින්නට වෙන්න කරපු පවෙහි විපාක තමයි. ඒ නිසා මම ගොඩක් ශෝකයෙන් ඉන්නේ.

පින්වත්නි, දැන් මෙතැන රැස් වූ ඔබ සියලු දෙනාම මට කියන්නේ ඔබට යහපතක් වේවා. හොර රහසේවත් එළිපිටවත් පව් කියන ජාතිය නම් කරන්න එපා.

යම් හෙයකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්නට නම් ලැබෙන්නේ නැහැ. අහසට නැගල පලා ගියත් විපාකවලින් ගැලවෙන්නට බැහැ.

අම්මාට හොඳට සලකන්න. පියාටත් හොඳට සලකන්න. කුල දෙටුවන්ට හොඳට සලකන්න. ශ්‍රමණ බ්‍රාහ්මවරුන්ටත් හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතියේ උපදින්න.

දුකසේ විඳින කර්ම විපාක - 11 නන්දා පේ‍්‍රත වස්තුව


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.