Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ජූලි 23 – 30 වන දා දක්වා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය අසළ මහවැලි ගඟේ සීමාමාලකයේ දී

සමාරම්භක මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා විනය කර්මය ජූලි මස 23 වනදා සිට 30 වනදා දක්වා පේරාදෙණිය ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන ගැටඹේ මහවැලි ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී සාමණේරයන් වහන්සේලා 400 නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක සිරිසරණංකරෝපසේන වංශාවතංස ශාසනශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය අග්ගමහා සද්ධම්මජෝතිකාධජ රාජකීය පණ්ඩිත වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සව මහා සභාව පැවැත්වේ.

එම සමාරම්භක උත්සව මහා සභාව ජූලි 23 වනදා පස්වරු 2 ට පේරාදෙණිය ගැටඹේ නාගරික ක්‍රීඩා භූමියේදී පැවැත්වේ. අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන අමාත්‍ය දි.මු. ජයරත්න, කථානායක චමල් රාජපක්ෂ, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ,වැවිලිකර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, මහනුවර දිසා මන්ත්‍රී දිලුම් අමුණුගම, ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායාරක්‍ෂක සභාවේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහත්වරුන් සහ මැති ඇමැතිවරු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා තානාපතිවරු දේශීය විදේශීය බෞද්ධ සංගම් නියෝජිතවරුන් එම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.


සමාජයේ අපේක්‍ෂාව වනුයේ භික්‍ෂුව මනා ආකල්ප සම්පත්තියෙන් ක්‍රියාත්මක වීමයි

වර්ෂ එක් දහස් අටසිය හැටහතරේ දී අඹගහවත්තේ ඉන්ද්‍රාසහවරඤාණසාමින් වහන්සේගේ පාරිශුද්ධ උපසම්පදාවක් පිහිටුවීමේ අදහසට අනුව ආරම්භ කරන ලද භික්‍ෂුවංශය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය නමින් හඳුන්වනු ලැබේ. එහි පැවැත්මට හා සංවර්ධනයට උරදී ක්‍රියා කළ පුවක්දණ්ඩාවේ පඤ්ඤාරතන, වරාපියේ සුමිත්ත යන ස්වාමීන් වහන්සේලා තුළ පැවැති ශාසනික හැඟීම කෙතරම් උදාර ද? උන්වහන්සේලා ආරම්භ කළ භික්‍ෂූවංශය සතු භික්‍ෂු ආකල්පය මැනවින් ආරක්‍ෂා කර ගැනීම පැවිදි සැපය පිණිස වේ. නොපැහැදුණු අයගේ පැහැදීමටත් පැහැදුණු අයගේ පැහැදීම දියුණු කිරීමටත් හේතු වනු ඇත. ඒ ගැන පැවිද්ද ලබා ගන්නා සෑම දෙනා තුළම දැනුම් තේරුම් ඇති කිරීම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගේ වගකීම වේ.

සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමේ දී භික්‍ෂූන් වහන්සේට හිමි වන වගකීම ගැන සිතා බලන විට උපසම්පදා ශීලයෙන් යුක්ත වැඩිහිටි භික්‍ෂූන් ඊට ඉතාමත් සුදුසුය යනු සමාජය පිළිගැනීමය. අපේ සමාජය වැඩි පිළිගැනීමකට ලක්වන උන්වහන්සේ බාල, තරුණ, මහලු යන සෑම තරාතිරමකටම අයත් පිරිසට අනුශාසනා කිරීම සුදුසු වෙත්. එම නිසා තම ගෞරවය ආරක්‍ෂාකර ගැනීම පැවිදි මග ගමන් කරන වැඩිහිටි භික්‍ෂුවකට වැඩි පිළිගැනීමක් සමාජයේ ඇති බව සෑම තැනකම දක්නට ලැබෙන්නකි. එහි අනෙක් පැත්ත ගැන ද සිතා බැලීම අවශ්‍යයි. උපසම්පදා භික්‍ෂුවක් තම ගෞරවය පිරිහිලා ගතහොත් භික්‍ෂු සමාජය තබා ගිහි සමාජයවත් එබඳු භික්‍ෂුව ගෞරවණීය ලෙස නොපිළිගනී. එබඳු අය ගුණ ගරුක සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ඔදතෙද සම්පන්න නොවේ. අපේ රටේ විහාරස්ථාන හා පිරිවෙන්වල ශාසනික සේවාවේ නියුතු සාමණේරයන් වහන්සේලා පවා දායක දායිකා පින්වතුන්ගේ මහත් පිළිගැනීමකට ලක්වෙන බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අප දැක තිබේ. භික්‍ෂුව මනා ආකල්ප සම්පත්තියෙන් ක්‍රියාත්මක වීමයි සමාජය බලාපොරොත්තු වනුයේ.

මෙවර ගැටඹේ රාජෝපවනාරාමය මූලික කොටගෙන සිදු කෙරෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ 68 වන උපසම්පදා මහා විනය කර්මය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ආශිංසනය කරමි.


ශාසනස්ථිතිකාමී පින්කමක්

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්මය කන්ද උඩරට පේරාදෙණිය ගැටඹේ රාජොපවනාරාම විහාරස්ථානය මුල් කරගෙන සිදු කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙමි.

ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට අත්‍යවශ්‍ය කටයුතු සලසා දෙමින් උත්සව සංවිධාන කටයුතු ක්‍රමවත්ව ක්‍රියාකරන මධ්‍යම පළාත් මහ ඇමතිතුමාට මාගේ කෘතවේදීත්වය පළකරමි. මහනුවර දකුණ ප්‍රාදේශීය සංඝ සභාවට මහනුවර උතුර සහ මාතලේ සංඝ සභාවලට ද මගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමි.

අප සැවොම එක්ව සිදු කරන්නා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හැට අටවන උපසම්පදා විනය කර්මය සැබැවින්ම ශාසනස්ථිතිකාමී පිංකමක් බව ද සිහිපත් කරමි. පෙර අපේ රජ දරුවන් බුරුමයට දූතයන් යවා නැවත උපසම්පදාව ගෙන ඒමට කටයුතු කළේ ද ඒ හැඟීම ඇතිවය.

දැන් අපගේ වගකීම වී තිබෙනුයේ එය රැක ගනිමින් ඉදිරියට පවත්වා ගැනීමයි. ආචාර්ය ලබුදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේගේ සිතේ වූ අභිප්‍රායක් ද මෙයින් සම්පූර්ණ වනු දැකීම අපගේ සතුටට හේතුවේ.


භික්ෂු ජීවිතයෙහි සාර්ථකත්වය සපුරාගත හැක්කේ උපසම්පදා ශීලයෙනි

භික්‍ෂු ජීවිතයෙහි සාර්ථකත්වය සපුරාගත හැක්කේ පාරිශුද්ධ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙනි. මේ බව මැනවින් වටහාගත් අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මා හිමි, අතිපූජ්‍ය වරාපිටියේ ශ්‍රී සුමිත්ත මාහිමි අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමි යන තුන් නමගේ මූලිකත්වයෙන් ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය 1863 දී පැවැත්වීමෙන් බලාපොරොත්තු වූයේ සුපරිශුද්ධ උපසම්පත්ති ප්‍රතිලාභය ශ්‍රී ලාංකේය භික්‍ෂු පරපුරට ලබාදීමටය. එය එදා කාලීන අවශ්‍යතාවයක් විය. සම්බුදු සසුනේ චිර පැවැත්මටත් රුකුලක් විය.

ආරම්භයේ සිට වසර 149 ක කාලයක් තුළ දෙවසරකට වතාවක් පවත්වනු ලැබූ මෙම මහා විනය කර්මය 68 වෙනි වරට මෙවර පවත්වනු ලබන්නේ මහනුවර පේරාදෙණියේ ගැටඹේ රාජෝපවනාරාමය පුදබිම මධ්‍යස්ථානය කොට ගෙන එම විහාරාසන්න මහවැලි ගඟේ අභිනවයෙන් ඉදිකෙරෙන සීමා මාලකයේදීය. මෙම විනය කර්මය පූර්ණ සංවිධායකත්වය හා අනුශාසකත්වය රාජෝපවනාරාමාධිපති පූජ්‍යතර කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දරනු ලැබීම අප කාගේත් සතුටට හේතු වේ.

එම මා හැඟි පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීමට මහනුවර උතුර දකුණ සංඝ සභාවත් රාජෝපවනාරාමස්ථ දායක සභාව හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මැතිතුමා, මහ දිසාපති තුමා, ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු මෙහෙයුම් කමිටුවත් පූජ්‍යතර සංඥා ලේඛකාධිකාරි අංකුඹුරේ පේමවංස ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික පරිපාලන මඩුල්ලත්, බලවත් උනන්දුවකින් ක්‍රියා කරනු පෙනේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා බුද්ධශාසන අමාත්‍යංශයත් මෙහිලා වඩාත් උනන්දු වන්නේ පරමාදර්ශි සිල්වත් සඟ පරපුරක් මේ තුළින් බිහිකරගත හැකි බැවිණි. 2012 ජූලි 23 දින අපර භාගයේ දී පැවැත්වෙන සමාරම්භක උත්සවයකින් පසු මෙම විනයානුකූල මහා පුණ්‍ය කර්මයේ සියලු කටයුතු සාර්ථක වේවායි සුභාශිංසන පූර්වකව ශාසනොන්නතිකාමීව ප්‍රාර්ථනා කරම්හ.


උපසම්පදා මහා විනය කර්මයේ සියලු කටයුතු සාර්ථක වේවා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට සුභාශිංසන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ඉතාමත් සතුටු වෙමි.

වර්ෂ 1864 ජුලි මස 13 වන දින අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසහවරඤාණසාමි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, අද වන විට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ විහිදිී ගොස් ඇති බව දැනගන්නට ඇත. ඒ ගැන මම අතිශයින්ම සතුටු වෙමි. රටක ජීවය එම රටේ පුරවැසි ජනතාවයි. ඔවුන් භෞතික වශයෙන් පමණක් සංවර්ධනය වුවහොත් එය ප්‍රමාණවත් තත්ත්වයක් නොවේ. ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් ද සංවර්ධනය වු විටය පුරවැසියන් මෙන්ම රට ද සුරක්‍ෂිත වනුයේ සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන තුන් නිකායේම මහා සංඝරත්නයෙන් ඒ වෙනුවෙන් සැළසෙන ආගමික මෙහෙවර වචන විෂයාතික්‍රාන්තයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමිද්‍රයන් වහන්සේ ඇතුළු අනුනායක, අධිකරණ නායක මහෝපාධ්‍යාය මහා ලේඛකාධිකාරී සංඥා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු ශාසන භාරධාරි මහා සංඝරත්නය වෙත අපගේ ගෞරවය හිමිවිය යුතුයි. ගණනින් දෙසාලිසක් පමණ වන ප්‍රාදේශික සංඝ සභාවලට ද, මගේ ගෞරවය පිරිනමමි. 2012 වර්ෂයේ දී ගැටඹේ රාජෝපවනාරාමය කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පැවැත්වීමට නියමිත 68 වෙනි උපසම්පදා මහා විනය කර්මයේ සියලු කටයුතු සාර්ථක වේවායි ද සුභාශිංසනය කරන්නෙමි.


අතිශයින් සතුටු වෙමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හැට අටවන උපසම්පදා මහා පුණ්‍ය කර්මය නිමිත්තෙන් සුභාශිංසනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන අතිශයින්ම සතුටු වෙමි.

රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන ගැටඹේ රාජෝපවනාරාමය කේන්ද්‍රස්ථානය කොටගෙන නිකායේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ද කාරක පාලක සංඝ සභාවල ද සහභාගීත්වයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ 68 වන උපසම්පදා මහා විනය කර්මය විධිමත්ව සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය සියලුම කටයුතු මනාව සූදානම්ව පවතින බව මම දනිමි. ඒ වෙනුවෙන් පත් කළ විශේෂ උපසම්පදා කමිටුව රාජ්‍ය ආයතනවල හා ගිහි පැවිදි සියලු සංවිධානවල අනුග්‍රහය ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

සංඝ ශාසනයේ විධිමත් පැවැත්ම රටේ පැවැත්මටද සාධකයක් වන බව කාගේත් පිළිගැනීමයි. කවදත් පෙර රජවරුන් පවා නිසි අනුග්‍රහය දක්වා තිබීමෙන් ඒ බව ප්‍රත්‍යක්‍ෂ වේ. දෙවන විමලධර්ම සූර්ය රජු ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද බුරුම රටට දූතයන්, යවමින් සරණංකර සංඝරාජ හිමියන්ගේ ඉල්ලීම පරිදි ක්‍රියාත්මක වීම නිසා උපසම්පදා ශීල සම්පන්න භික්‍ෂු පිරිසක් අප රටේ බිහිකරලීමට සමත් වී ඇති ඔවුන් එසේ ක්‍රියා කළේ මහා සංඝ රත්නයේ බෞද්ධ මහා ජනතාවගේත් අධ්‍යාත්මික පැවැත්ම ගැන ගැඹුරින් කල්පනා කිරීම නිසායි.

මල්වතු අස්ගිරි විහාරස්ථානවලද අමරපුර නිකායික සංඝ සභාවල ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ද ගුණගරුක භික්‍ෂු පිරිසක් අදත් දක්නට ලැබෙන්නේ ඒ නිසා බව සඳහන් කළ යුතුය.

2012 වර්ෂයෙහි මහවැලි ගඟ තොටෙහි විශේෂයෙන් ඉදිකරනු ලබන සීමා මාලකය කේන්ද්‍ර කොටගෙන සිදුකරනු ලබන උපසම්පදා විනය කර්මයෙහි සියලු කටයුතු අප කවුරුත් බලාපොරොත්තු වන අන්දමින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ද සුභාශිංසනය කරමි.


අතිශය සතුටට කරුණක්

බුද්ධ දේශනාවේ අන්තර්ගතය අනුව භික්‍ෂුවක විසින් විනය පටිපදාව අනුව උගතමනා බණ දහම් සම්පූර්ණ කිරීමෙන් පසුව උතුම් උපසම්පදා ශික්‍ෂාපදය පිළිගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එය සියලුම නිකායන්හි පිළිපදින චර්යා ධර්මයකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරම්භ කළ වදාළ අතිපූජණීය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමිපාණන් වහන්සේගේ සිට වර්තමානයේ නායකත්වය උසුලන අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ කාලය දක්වාම මේ උතුම් උදාර වූ ශාසන කාර්ය ඉතාමත් ඉහළින් චිරාගත සම්ප්‍රදායානුකූ®ලව ශාසන පිළිවෙත් අකුරටම පිළිපදිමින් සිදුකර තිබේ.

විශේෂයෙන්ම වර්තමාන මහානායක ධූරය උසුලන අතිපූජණීය වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමියන්ගේ යුගය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුස්මරණීය යුගයක් වශයෙන් හැඳින්විය හැකිය. එමෙන්ම නිකායේ සාමග්‍රිය සඳහා, උගත්, බහුශ්‍රත, විනය ගරුක, ශික්‍ෂාකාමී භික්‍ෂු පරපුරක් ඇති කිරීම සඳහා ගනු ලැබූ මහන්සිය අති විශාලය.

තවද, උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සඳහා දර්ශනීය මූලස්ථාන ගොඩනැගිල්ලක් හා නේවාසිකාගාරයක් කොළඹ නගරය තුළ මිලියන 60 ක පමණ වියදමින් නිමකර ඇත.

සිල්වත් උගත් සඟ පරපුරක් අවශ්‍ය මෙවැනි යුගයක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහෝත්සවය මහත් අභිමානයෙන් යුතුව පැවැත්වීමට එක්වූ ආධාර උපකාර කළ සහාය දුන් ගිහි පැවිදි සියලු දෙනාටම ස්තුතිය පුදකර සිටිමි.


අතිශයින් ගෞරව වූවකි

මෙවර ගැටඹේ රාජොපවනාරාමය කේන්ද්‍රකොට ගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ද්වි වාර්ෂික උපසම්පදා මහා විනය කර්මය සිදුකිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සිදු කෙරෙන මේ අවස්ථාවේ සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම ගැන අතිශයින්ම සතුටු වෙමි.

දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ වැඩසිටින කන්ද උඩරටට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය පැමිණීම අතිශයින්ම අගය කළ යුත්තකි. අපගේ බෞද්ධ ප්‍රබෝධයේ නියමුවාණන් වන්නේ භික්‍ෂූන් වහන්සේය. උන්වහන්සේ නොමැතිව මේ කිසිවකට ජීවයක් නොලැබේ. ඒ අනුව භික්‍ෂූන් වහන්සේගේ අභිවර්ධනයක් සිදුවෙන සෑම කාර්යකටම අපගේ මැදිහත්වීම ඉතා ඕනෑකමින්, උනන්දුවෙන් සිදුවිය යුතුමය. ලංකාවේ සිවු දිගින් ගැටඹේ රාජෝපවනාරාමයට වැඩමවා උපසම්පදාවට පත්වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික භික්‍ෂූන් වහන්සේලා සමස්ත ශ්‍රී ලංකාවටම විහිද යන බැවින් උන්වහන්සේලාගෙන් සැලසෙන සේවය කෙතරම් පුළුල්ද? රටක් වශයෙන් අප ලෝකය හඳුනාගෙන සිටින්නේ පිරිසුදු බුදු දහම පවතින දිවයිනක් ලෙසටය. බුදු දහමත් ඉන් අර්ථවත් වන විනය මාර්ගයත් දෙකක් නොව එකකි. අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වන ස්වාමීන් වහන්සේ තමන් සිල්වත් වෙනු පමණක් නොව සමාජය ද සිල්වත් බවට පත්කිරීමේ කාර්ය භාරයට නියැලෙති. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා වූ මුළුමහත් සමාජයටම උන්වහන්සේගෙන් සිදුවන ධාර්මික සේවය අතිශයින් ගෞරව වූවකි. ඒ නිසා සිල්වත්, ගුණවත් භික්‍ෂු පිරිසක් බිහි කරලීමට මහත් උපකාර වන්නා වූ උපසම්පදා විනය කර්මය රටක් වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන් ද අපි ඈත ඉතිහාසය පටන්ම අගය කිරීමට පුරුදු වී සිටිමු. එය රටේ ජීවනාලියට ප්‍රණාමය දීමක් වෙයි.

එසේ හෙයින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හැට අට වන උපසම්පදා විනය කර්මයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආශිංසනය කරන්නේ ඉතසිතින්මය.


සිදුවන මෙහෙය අපරිමිතය

බුදු සසුනේ පැවැත්ම රඳාපවත්නේ බුදුන් දහම් සඟුන් යන තෙරුවන නිසයි. ලොවුතුරා හෙවත් සම්‍යක් සම්බුදුන් වහන්සේ නමින් ලොව පහළව උන්වහන්සේ දේශනා කරනු ලබන බණ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මිනිස් සමාජයෙහි පිරිස් හතරක් ඇති වෙයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙනි. එයින් ප්‍රධාන පිරිස වන්නේ භික්‍ෂූන් වහන්සේය. සංඝ නාමයෙන් ද භික්‍ෂූන් වහන්සේ හැඳින්වෙයි.

සංඝ හෙවත් භික්‍ෂු භාවය ලැබෙන්නේ අධි ශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීමෙනි. පැවිදිව සාමණේර භාවයට පත්වුවන්ට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වූ විට වැඩිහිටි උපසපන් භික්‍ෂූන් විසින් වාක්‍ය දේශනා කිරීමෙන් මෙම උපසම්පදාව ලබාදෙනු ඇත. ලොව පවත්නා වැඩිම ශීලය ඇත්තේ උපසපන් භික්‍ෂුන් ළඟය. නව කෙලදහස් එකසිය අසූකෝටි පනස් ලක්‍ෂ තිස්හයක් වශයෙනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහා විනය කර්මයේ 2012 ජුලි මාසයේ දී පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම මහා විහාරස්ථානය මුල් කොට ගනිමින් මහවැලි නදියේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකෙරෙනු ඇත. මෙවර මෙසේ එහිදී 400 ක් පමණ උපසම්පදාපේක්‍ෂක සාමණේර පිරිසක් උපසම්පදාව ලබා සම්පූර්ණ භික්‍ෂූත්වයට පත්වනු ඇත. මේ සඳහා වැඩම කරනු ලබන භික්‍ෂූන් වහන්සේට මේ කාලය තුළ සිව්පසයෙන් ප්‍රධාන පහසුකම් ලබාදීම දායක පිරිසේ ලොකුම වගකීමයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්‍ෂක සභාව එහි ලා ඉදිරිපත් වී කටයුතු කෙරේ. ඒ තුළින් සිල්වත් උතුම් සඟ පිරිසක් සම්බුදු සසුනෙහි ඇතිවීමෙන් සම්මා සම්බුද්ධ ශාසනය බැබළෙනු ඇත. එමඟින් ජනතාවට සිදුවන මෙහෙය අපරිමිතය. ඔවුන්ගේ ගිහි සාමීචි පටිපදාව ද නොවඩුවම සපිරෙනු ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.