Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෝය උදාවෙන් සනිටුවන් වන සඟ සසුනේ ආරම්භය

නව දහමක් ලෙසින් බුදුදහම ජනතාව අතරට ගෙනයන විට ජනතාවට වඩාත් දැනෙන හා සරල ආකාරයෙන් තේරුම් කරදීම අනිවාර්ය කාර්යයක් වේ. එබැවින් උන්වහන්සේ මුල මැද හා අග යන තුන් තැන්හි ම සරල බව රඳවා ගනිමින් ගැඹුරු දහම සරල දහමක් ලෙසින් ජනතාව අතරට ගෙනයාමට අවශ්‍ය උපදේශකත්වය ද භික්‍ෂූන් වෙත මුල දී ලබාදීම සිය ධර්මදූත සේවයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ඉක්මනින්ම ඉටුකර ගත හැකිවිය

2012 ජූලි 03 වන දින පත්‍රය හා සම්බන්ධයි
 

දෙව් මිනිසුනට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස යන්නෙන් අදහස් කරනුයේ ද සෑම සත්වයකුට කාරුණිකත්වයෙන් දහමින් සංග්‍රහ කළ යුතු වන අතර දහම තුළින්ම ප්‍රායෝගිකව ඇතිව පැවැති බෙදීම් සමනය කළ යුතු බවකි.

සැප කැමැතිවීමත් දුක පිළිකුල් කිරීමත් යන අංශද්වය මිනිස් ස්වභාවය තුළ රැඳී පවතින්නකි. මිනිසා නිරතුරුව උත්සාහ කරනුයේ ද සිය ඉඳුරනට පස්කම් සුවයෙන් සැප ලබාදීමට හා එළඹෙන දුක් නැති කරන අයුරින් ප්‍රතිචාර දැක්වීමට හා ඊට අදාළ මං සොයා ගැනීමටත් ය. මේ නිසා සැපය හෙවත් සුඛය මානව ජීවිතය හා තදින් බැඳී ඇත. ලබන හා අපේක්‍ෂිත සුඛය ගැන නිසි වැටහීමක් නොලද බැවින් ලබන සුඛය තුළින්ම දුකට පත්වන ජීවිත අපමණය. සිතන හා සදාතනික සුඛයක් ගැන වැටහීමක් ඔවුනට අවශ්‍ය වේ. මිනිසා වින්දනය කරන සුඛයන්හි වර්ගීකරණයක් ද බුදුහම විසින් නිර්වචනය කොට ඇති ගිහි සුඛ, පබ්බජිත සුඛ, කාම සුඛ, නෙක්ඛම්මසුඛ, කායික සුඛ, චෛතසික සුඛ, පරම සුඛ, ලෞකික සුඛ, ලෝකෝත්තර සුඛ, අත්ත සුඛ, පර සුඛ, සාමිස සුඛ හා නිරාමිස සුඛ ආදී වශයෙන් මිනිසා විසින් සැප යැයි හිතන සුඛයන්ගෙන් වෙනස්වීම් හා ඉන් අත් විඳින සුඛයන්ගේ ස්වභාවය හා එම සුඛයන්ගේ යථාර්ථවත් බව වටහා දීම මත සැපය නිසා අන්තයකට ඇදී යන දුකට පත්වන ජීවිත ඉන් මුදවාලීමට හා අත්විඳින සැපය වඩාත් හරවත් කර ගැනීමටත් සදා සැනසීමකට ජීවිතය යොමු කිරීමකටත් අදාළ වන මං බුදුදහමින් හෙළි දක්වා ඇත. සැප සොයා යන සැපෙන් අන්ධ වී සිටින සැපයෙන් දුකට පත්වන ජීවිත මුදාලමින් සැපයේ, යථාර්ථවත් බව බුදුදහමට අනුව පෙන්වාදෙමින් පස්කම් සැපයේ ගැලී අඳුරට පත්වන ජනතාවට ආලෝකයක් කරා යන මාවතක් විවර කරදීම අරභයා චාරිකාවේ හැසිරිය යුතු අයුරු පළමු සැට නම අමතා කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

නව දහමක්

නව දහමක් ලෙසින් බුදුදහම ජනතාව අතරට ගෙනයන විට ජනතාවට වඩාත් දැනෙන හා සරල ආකාරයෙන් තේරුම් කරදීම අනිවාර්ය කාර්යයක් වේ. එබැවින් උන්වහන්සේ මුල මැද හා අගය යන තුන් තැන්හි ම සරල බව රඳවා ගනිමින් ගැඹුරු දහම සරල දහමක් ලෙසින් ජනතාව අතරට ගෙනයාමට අවශ්‍ය උපදේශකත්වය ද භික්‍ෂූන් වෙත මුල දී ලබාදීම සිය ධර්මදූත සේවයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ඉක්මනින්ම ඉටුකර ගත හැකිවිය. එතෙක් පැවැති ආගමික මතවාද වලට අභියෝගාත්මකව ඉදිරියට පැමිණි බුදුදහම ජනතාවට දැනෙන පරිද්දෙන් හා සරල ආකාරයෙන් තෝරාදීමට අපොහොසත්වේ නම් එළඹෙන අභියෝගයන් ජය ගැනීම පහසු නොවේ. කාරුණිකත්වය සරලත්වය හා මානවහිතැති බව යන ගුණාංග පෙරදැරි කරගෙන එම කාර්යයන් සිය අනුගාමික පිරිස විසින් ඉටු කරන්නේ නම් සිය ආගමික මතය වඩාත් පහසුවෙන් ජනතාවට සමීප කරලීමට මෙන්ම ඒතුළින් ජනතාවට වඩාත් හරවත් සේවයක් සිදුකිරීමට හැකි බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගත් බැවින් මෙවැනි අවවාදයක් තුළින් භික්‍ෂූන්ගේ එම ධර්මදූත ක්‍රියාවලිය වඩාත් සංවිධිත බවට පත් කළ බව පෙනේ.

පළමු සැටනම අමතා දෙදෙනෙකු එකමඟක නොයන ලෙස කරන අවවාදය ද සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායෙන් බැහැරව යාමක් වන අතර සඟ සසුනේ පරමාර්ථ වඩාත් පහසුවෙන් ජනතාවට දැනෙන ලෙසින් යොදාගත් උපක්‍රමයක් ලෙසින් මෙන්ම වැඩි පිරිසකට කෙටි කලක් තුළ බුදුදහමේ පණිවිඩය ලබාදීමටත් විශාල ප්‍රදේශයක බුදුදහම ව්‍යාප්ත කරලීමටත් ගත් ක්‍රමවේදයක් ලෙසින් ද අර්ථ දැක්විය හැකි ය. මෙම අවධිය වන විට සංචාරක බ්‍රහ්මචාරීහු සාමූහික ජීවිත ගත කළ අතර ඔවුන් විසින්ම සකසන ලද නීතිමාලාවක් යටතේ ශික්‍ෂණය ලැබූහ. එබඳු සමාජයක භික්‍ෂුව හුදකලාව සිය ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම තුළ උන්වහන්සේ සිය ශික්ෂණය හා පරමාර්ථ ආත්මීය කොටගෙන ගමින් ගමට වැඩ ලබන සිවු පසයෙන් සිය දිවිය ගෙවා අන් අයගේ හිත සුව පිණිස කිසිවකුට බරක් නොදැනෙන ලෙසින් සැමට සරණක් පතා කටයුතු කිරීමට පෙළඹීම ජනතාව බුදුදහම කෙරෙහි නැඹුරුවක් දැක්වීමට හේතුවක් ද විය. එමෙන්ම භික්‍ෂුවගේ අල්පේච්ඡ චරියාව හා ශාන්ති ගති පැවැත්ම ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට ද සමත්විය. එබැවින් කෙටි කලක් තුළ විවිධ දිසාවන්ගෙන් සඟ සසුන වෙත පැමිණ මහණ උපසම්පදාව ලබාගත් අයුරින් ගම්‍ය කරනුයේ බුදුරජාණන් වහන්සේ පළමු රහත් සැටනමෙන් ආරම්භ කළ ධර්මදූත සේවාවේ තිබූ සංවිධානාත්මක බව හා පරමාර්ථික හා පාරිශුද්ධත්ව බවය. එමෙන්ම විවිධ ආගමික දෘෂ්ටින්ගෙන් ගහණව පැවැති සමාජයක සිය මතය හුදකලාව හෙළිදැක්වීම ද පහසු නැත. එනමුත් භික්‍ෂූන් වහන්සේලා තම නිවැරදි පරමාර්ථ මත හා ලබාගත් ශික්‍ෂණය මත සියලු මතවාද කණ්ඩනය කරමින් අවිහිංසකව සිය කාර්යයන් ඉටු කරමින් සැමට සැපත ලැබෙන අයුරින් ක්‍රියා කිරීම තුළින් බුදුරදුන්ගේ අවවාදය නියමාකාරයෙන් ඉටු කොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදාත්මක පණිවිඩය එම සැටනමට පමණක් නොව සසුන් තුළ පැවිදි සැමට පොදු විය මගධ දේශය මුල් කොට බිහිවන බුදුදහම වත්මන් සමය දක්වා ඒ රට තුළ මෙන්ම අන් රටවල ද පැතිරීගියේ මෙම අවවාදය පදනම් කොට ගෙන බව පැහැදිලි කරුණකි. ලක්දිවට වැඩම කළ මිහිඳු මාහිමියන් හා සංඝමිත්තාවන් මෙරටට වැඩම කොට බුදුදහමේ පහස මෙරට වැසියනට ලබාදෙමින් ඒ තුළින් ජනතාව තුළ ඇති කළ වෙනස හා සිය දිවිය බුදුදහමට අනුව දැක්මට කළ ව්‍යායාමය කෙතෙක් ද යන්න කිවයුතු නැත. අනගාරික ධර්මපාල වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් එම මඟ යමින් බුදුදහම ලෝක ආගමක් කරලීමට ගත් ප්‍රයත්නයෝ ඒ හා සම්බන්ධිතව කල්පනා කරන විට ප්‍රසංසනීය වේ. මෙම අවවාදය භික්‍ෂුවකට පමණක් නොව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන සිවුවනක් පිරිසටම පොදුවන අතර බුදුදහම අදහන ඒ අනුව කටයුතු කරන සැමගේ පරමාර්ථය ද බහුජන හිත පිණිස බහුජන සුඛය පිණිස සිය කටයුතු මෙහෙයවිය යුතු වන අතරම සිය පරමාර්ථයන් මුදුන් පත් කර ගැනීමට තමා විසින් සිය කටයුතු ආරම්භ කළ යුතු බවත්ය. එවිට සමාජය ගැන පුද්ගල ආකල්ප වෙනස්වන අතරම පුද්ගල සබඳතා ශක්තිමත් වෙමින් සංයත වූ සමාජයකට පියමැනීම ද අසීරු නොවනු ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.