Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෝය උදාවෙන් සනිටුහන් වන සඟ සසුනේ ආරම්භය

ඇසළ පොහෝදින බරණැස ඉසිපතනාරාම මිගදායේ දී බුදුරදුන් විසින් දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍රය අසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රමුඛ පස් නම සසුන් ගතවීමත් සමඟ සසුනේ ආරම්භය සනිටුහන් කරයි. පස්වග තවුසන් ප්‍රමුඛ යසකුල පුතු හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් ගෞතම සසුනේ මහණ උපසම්පදාව ලත් ප්‍රථම සැට නමවන අතර ධර්ම ප්‍රචාරයේ නියුක්ත කළ පළමු භික්‍ෂු සැට නම ලෙසින් ද ඉතිහාසගතය

ඇසළ පෝය වනාහි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් සමාදානය, භික්‍ෂු ශාසනයේ ආරම්භය මෙන්ම ප්‍රථම පැවිද්ද, ප්‍රථම සෝවාන් හා රහත් භික්‍ෂූන් ශාසනයේ ඇතිවීම, යසකුල පුතුගේ පැවිද්ද, පළමු උපාසක උපාසිකා පිරිස ශාසනයට එක්වීම, ප්‍රථම පළමු රහත් සැටනම ධර්මදේශනා කිරීම සඳහා වැඩම කිරීම යන කරුණු ශාසනික වශයෙන් වැදගත් සිද්ධීන් ලෙසින් සැලකේ.

මීට අමතරව බුද්ධ චරිතය හා සබැඳි සිද්ධාර්ථ කුමරුන් මායා දේවිය කුස පිළිසිඳ ගැනීම, වසර විසිනවයක් වැනි කාලයක් ගිහි සැප විඳ සියල්ලේ අනියත බව දැන සත්‍ය හා කුසලය කුමක් ද යන්න සොයා ගිහිගෙයින් නික්මයාම හා සයවසක් දුෂ්කරක්‍රියා කොට ඒ අතහැර මධ්‍යම ප්‍රතිපදාවෙන් වෙසක් දින චතුරතර චතුරාර්ය සත්‍ය පසක් කොට සර්වඥත්වයට පත්ව, තමා අවබෝධකොට ගත් ධර්මය දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයට වැඩ පස්වග තවුසනට දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම මෙදින සිදු වූ වැදගත් සිදුවීම් ලෙසින් සඳහන් කළ හැකි ය.

ඇසළ පොහෝදින බරණැස ඉසිපතනාරාම මිගදායේ දී බුදුරදුන් විසින් දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍රය අසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රමුඛ පස් නම සසුන් ගතවීමත් සමඟ සසුනේ ආරම්භය සනිටුහන් කරයි. පස්වග තවුසන් ප්‍රමුඛ යසකුල පුතු හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් ගෞතම සසුනේ මහණ උපසම්පදාව ලත් ප්‍රථම සැට නමවන අතර ධර්ම ප්‍රචාරයේ නියුක්ත කළ පළමු භික්‍ෂු සැට නම ලෙසින් ද ඉතිහාසගතය. මෙම ධර්මදූත කණ්ඩායමේ ආකල්ප හා විධිමත් බව එතෙක් ඉන්දීය ජන සමාජය තුළ ක්‍රියාත්මක වූ ආගමික පසුතලයට අභියෝගයක් වූ අතර බුදුදහම පිළිබඳ නිවැරදි දැක්මක් ජනතාව අතරට ගෙනයාමට යොදාගත් ඵලදායි ක්‍රියාදාමයක් ලෙසින් ද අගය කළ හැකි වේ. බුදුරදුන් දවස උතුරු ඉන්දියාවේ මධ්‍ය හා නැගෙනහිර කලාපයන්හි භික්‍ෂු ශාසනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.

බොහෝ දෙනාට හිත සුව පිණිස

භික්‍ෂුත්වයේ හා ශාසනයේ සුවිශේෂි වූ පරමාර්ථ හා යථාර්ථවත් බව කවරේද යන්න පිළිබඳව පළමු භික්‍ෂු හැට නම අමතා බුදුරදුන් විසින් වදාළ පළමු අවවාදාත්මක පාඨය තුළ අන්තර්ගතවන අතර එතෙක් පැවැති ශ්‍රමණ සම්ප්‍රදායට නව අරුතක් ලබාදීමට සමත් වී ඇත. එනම් ‘මහණෙනි බොහෝ දෙනාට හිත පිණිස ද සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුනට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙන්න. දෙනමක් එක් මඟක නොයන්න මහණෙනි මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත සියල්ල සම්පූර්ණ වූ ධර්ම දේශනා කරන්න’ යන්නයි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රමුඛ පස් නමත් යසකුල පුතු ඇතුළු ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් ගෞතම සසුනේ මහණ උපසම්පදාව ලත් ප්‍රථම සැට නමවන අතර ධර්ම ප්‍රචාරයේ නියුක්ත කළ පළමු භික්‍ෂූන් සැට නම ලෙසින් ද ඉතිහාසගතය. මෙම ධර්මදූත කණ්ඩායමේ ආකල්ප හා විධිමත් බව මෙතෙක් ඉන්දීය ජන සමාජය තුළ ක්‍රියාත්මක වූ ආගමික පසුතලයට අභියෝගයක් වූ අතර බුදුදහම පිළිබඳ නිවැරදි දැක්මක් ජනතාව අතරට ගෙනයාමට යොදාගත් ඵලදායි ක්‍රියාදාමයක් ලෙසින් ද අගය කළ හැකි වේ.

ක්‍රි.පූ. සවැනි සියවස වන විට දඹදිව විවිධ ශ්‍රමණ කණ්ඩායම් ගණනාවක් වාසය කළ බව සාමඤ්ඤඵල වැනි සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි වේ. එබඳු සමාජයක නව දර්ශනයක් තුළින් නව පරමාර්ථ රැසක් මත බිහිවන භික්‍ෂු සම්ප්‍රදාය කෙසේ සකස්විය යුතු ද යන්න හා භික්‍ෂුත්වයට පත්වන පුද්ගලයාගේ දැක්ම හා ක්‍රියාකාරීත්වය බුදුසමයේ හර පද්ධතියට සාපේක්‍ෂව කෙසේ ගමන් කළ යුතු ද යන්න ඉස්මතු කිරීමට පළමු රහත් හැට නම අමතා කළ අවවාදය ද අනෙක් අතින් වැදගත් වේ.

පබ්බජ්ජාව (පැවිද්ද) යනු ගිහි ගෙන් වෙන්ව ප්‍රතිපදාවක් හා පරමාර්ථයක් මත සිය දිවිය ස්වාර්ථය හා පරාර්ථය පදනම් කොට ගත කිරීමක් වේ. බුදුරදුන් වැඩ සිටි සමයට පූර්ව අවධියේ සිට මෙලෙසින් ගිහි ගෙන් වෙන් ව ශ්‍රමණ දිවියට පත්වීමේ සම්ප්‍රදායයක් සමාජගතව පැවැතිණි. බකමූණු පියාපත්වලින් කළ සිවුරු, සත්ව ලොම්වලින් හෝ කෙස්වලින් කළ කම්බිලි, අඳුන් දිවිසම් මළමිණි එතු වස්ත්‍ර වැනි දැ හැඳ ආත්ම විමුක්තිය පතා උග්‍ර තවුස් දම් හා ව්‍රත රකිමින් කෙණ්ඩියක් අතින් ගෙන ජටා බැඳ ඇවිද ගිය මෙම පිරිස ඉසි පැවිද්ද හෝ තාපස පැවිද්ද ලැබූවන් ලෙසින් කන්දරක වැනි සූත්‍ර වලින් පැහැදිලි වේ. රට්ඨපාල සූත්‍රයට අනුව එවකට මෙසේ පැවිද්ද ලැබූ පිරිස් වයසට පත්වීම ලෙඩදුකට පත්වීම හම්බකළ වස්තුව විනාශ වීම ඥාතීන්ගෙන් හා මිතුරන් නිසා පිරිහුණ පිරිස යන හේතූන් මත ගිහිගෙය අතහැර ශ්‍රමණයන් බවට පත්ව හුදකලා දිවියක් ගත කොට ඇත. නමුත් බුදුරදුන් වදාළ ශාසනික පැවිද්ද පරමාර්ථික වශයෙන් අනෙකුත් ශ්‍රමණ සම්ප්‍රදායනට වඩා හාත් පසින් වෙනස් වූවකි. සඟ සසුනේ පැවිද්දේ පොදු අරමුණු රැසක් මත පදනම් විය. එනම් සියලු දුක් නැති කොට නිවන ලබා ගැනීම ඉන් එක් පරමාර්ථයක් විය. එමෙන්ම ලෝකය ජරා මරණය කරා යයි. ලෝකයා ත්‍රාණ රහිතය. සනසන්නට නිසියෙක් නැත. තමා අයත් දෑ හැරදමා යාමට සිදුවේ. ලොව හිස් බවින් යුක්තය. තණ්හාවට දාසයකු බඳු ය. යනුවෙන් මහණ තෙමේ කල්පනා කරන බව රට්ඨපාල සූත්‍රයේ දී පැහැදිලි කරන අතර ඒ තුළින් බුදුසසුනේ පැවිද්ද ලැබූ භික්‍ෂුවගේ පරමාර්ථ කවරේද යන්න මනාව ඉස්මතු කෙරේ. එමෙන්ම තමාගේ අබල දුබලතා හා අතපසුවීම් හා කලකිරීම් වලින් ගිහිදොර හැර දැමුවනට වඩා ශාසනික පැවිද්ද ලැබූවන් ලෝකය පිළිබඳව හා ලෝක යථාර්ථය මනා අවබෝධයෙන් බුදුසසුනට ඇතුළත්ව ඇති නිසා පටු ආකල්ප හා වෙන් වූ සුවිශේෂ පරමාර්ථ හා ප්‍රතිපත්ති සහිත පරමාදර්ශී වූ සංවිධානයක් සංඝ සමාජ තුළින් ඉස්මතු වූ බව පැහැදිලිය.

බුදුසසුනට ඇතුළත් වූ පළමු භික්‍ෂු පිරිස දෙස බලන විට ශාසනික පැවිද්දේ ස්වභාවය වටහාගත හැකිය. පස්වග තවුසන් වනාහි උගත් ගිහි දිවිය ගැන කළකිරී විමුක්තිය සොයාගිය පිරිසකි. එමෙන්ම යසකුල පුතු ඇතුළු පනස් හතර දෙන ද ධන සම්පත් කුල සම්පත් ඇති භද්‍ර යෞවනයේ පසු වූවෝ වෙති. ඔවුන් සැම බුදුරදුන්ගෙන් බණ අසා සසර ගැන කළ කිරි පැවිදි වූවෝ වෙති. උසස් චේතනාවෙන් හා සසර විමුක්තිය පතා පැවිදි වූවෝ වෙති. ඒ නිසාම පහසුවෙන් සසර දුක අවබෝධ කොට ගනිමින් සසර විමුක්තිය ලබා ගැනීමට ද ඔවුහු භාග්‍යවන්තයෝ වූහ. මෙබඳු අත්දැකීම් සහිතපිරිසක් පරමාදර්ශී පිරිසක් ලෙසින් සමාජගත කිරීම පළමුවැනි ධර්මදූත සේවාවෙන් සිදු වූ බව පැහැදිලිය.

තමා අවබෝධ කොටගත් දහම අනුනට කියාදෙමින් ඔවුනට හිත පිණිස (හිතාය) සාංසාරික සැප පිණිස (සුඛාය) දෙව් මිනිසුනට හිතානුකම්පිකව මුලමැද අග මනා ගැලපීමෙන් දහම් දෙසමින් හැසිරෙන්නට බුදුරදුන් අවවාද කිරීම ධර්මදූත සේවාවේ යථාර්ථවත් බව හෙළි දක්වන අතර සිය භික්ෂු සමනය සංඛ්‍යාත්මකව වැඩිකොට ගැනීමට හෝ ලාභ සත්කාර පදනම් කොට මෙවැනි ශාසනික ක්‍රියාදාමයක් දියත් නොවූ බව පැහැදිලි කර ගැනීමට ද මෙම අවවාදය වැදගත් ය. මෙම පරමාර්ථ කෙතෙක් දුරකට පැවැති ජන සමාජයට බලපෑවේ ද යන්න දහස් සංඛ්‍යාත පිරිස් කෙටි කලක් තුළ බුදුදහම වැළඳ ගැනීමෙන් පමණක් නොව සසුන් ගත වීමෙන් ද පැහැදිලි ය.

ජනතාව සුවපත් කිරීම

‘චාරිකං’ යන්නෙන් හැසිරීම අර්ථවත් කරන අතර එම හැසිරීම සැමට හිත පිණිස හා සැප පිණිස විය යුතු බව දැක්වීමෙන් ජන සමාජයේ හැසිරීම අර්ථවත් කොට ඇත. සිවුපසය සොයා හැසිරීමට වඩා ධර්මදූත සේවයක නියැලෙන්නකු සතු වියයුතු ප්‍රධාන ගුණාංග දෙකක් මෙහි අන්තර්ගතය. එනම් ජනතා හිතවාදී වීම හා සුබවාදීව ජනතාව සුවපත් කිරීමය. මිනිසා සැමදා සැමගේ ආදරය හා කරුණාව බලාපොරොත්තු වන්නකි. ජනතාවගේ දුක දැක කම්පිත වූ හදවතින් හිතවාදීව ඔවුන් වෙත එළැඹ දහමින් සැනසීමක් උදාකරදීම මෙහි පරමාර්ථය විය. එමෙන්ම දහමින් හා ශාන්ත වචනයෙන් පුද්ගලයන් වෙත එළඹුම ද හිතවාදී බවේ ගුණාංගයක් වන අතර මූලික ලාභාපේක්‍ෂාවෙන් තොරවීමද නව ගුණාංගයක් මෙමඟින් පෙන්වා දෙයි. කුල ජාති ආගම් වශයෙන් මෙන්ම ස්ත්‍රි පුරුෂ වශයෙන් ද බෙදී සිටි සමාජයකට පටු ආකල්ප වලින් බැහැරව මානව හිතවාදීව ප්‍රවේශයක් ලබාදීමක් ද මෙමඟින් අපේක්‍ෂා කරන අතර මානුෂිකත්වයට මුල්තැන දෙමින් කටයුතු කිරීමද, ධර්මදූත කාර්යය වඩාත් හරවත් හා ඵලදායිවීම කෙරෙහි වැදගත්වන බව මෙම අවවාදය තුළින් පෙන්වා දෙයි.

ඉතිරි කොටස ජූලි 11 පත්‍රයේ පලවේ


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.