Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වාමින් වහන්ස, පොල්ගහවෙල වඩුවාව මහමෙවුනා භාවනා අසපු සංචිතයේ ආරම්භය කෙසේද?

මා පැවිදි වූයේ සේරුවාවිල රජමහා විහාරාධිපතිව වැඩ සිටි අපවත්වී වදාළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන්ගේ පිළිසරණ යටතේයි. සේරුවාවිල රජමහා විහාරයේ සිටිමින් මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටින අවධියේදී මට අහම්බෙන් වගේ ත්‍රිපිටකය කියවන්නට ලැබුණා. මීට වඩා මේ ජීවිතයේ සැබෑ අර්ථය සොයා යන්න ඕනෑ කියලා මම විශ්ව විද්‍යාලයෙන් සමුගත්තා.

මම බොහෝ ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින් හුදෙකලා කුටිවල වාසය කරමින් නිර්මල බුද්ධ ධර්මය සෙව්වා. කාලයක් කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මට වාසය කරන්න ඉඩ ලැබුණා. පසුව මේ සියල්ලම අතහැර මම සිරිපාද පාමුල වනාන්තරේ හුදකලා කුටියක තනියම වැඩ වාසය කළා. එහිදී මට වැටහුණා මේ මාර්ගය දියුණුකර ගන්න යම්කිසි පිනක් අවශ්‍යයි. ඒ පින තමයි මේ ධර්ම මාර්ගයට උදව් කරන්නේ කියලා. සූත්‍ර පිටකය සම්පූර්ණයෙන්ම මේ වනවිට මම දොළොස් වතාවක් පමණ කියවා තිබෙනවා. මට හිතුණා මෙහි සඳහන් වන නිර්මල බුද්ධ දේශනා මිනිසුන්ට කියා දෙන්න ඕන කියලා. ඒ ධර්මය ඉතාමත් සුන්දරයි. මේ සුන්දර ධර්මය මිනිසුන්ට කියා දීමට මම යම් උත්සාහයක් ගත්තා.

මම විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණිලා සුළුවෙන් පිරිසකට සූත්‍ර පන්ති ආරම්භ කළා. ටිකෙන් ටික පිරිස වැඩිවෙන විට ප්‍රශ්නත් වැඩි වුණා. අහම්බෙන් වගේ දවසක් කොටපල අමරකිත්ති හිමියන් මේ පොල්ගහවෙලට මාව එක්කරගන ඇවිත් මේ තැන බොහෝම හොඳයි නිදහසේ ධර්ම ප්‍රචාරය කරන්න කියලා මට මෙතැන බාර දුන්න. 1999 දී මුල්ගල තබද්දී මම අධිෂ්ඨාන කළේ “ගෞතම මුනිද්‍රයන් වහන්සේගේ ධර්මය බබලන තැනක් බවට මේ ස්ථානය පත්වේවා” කියලා.

මහමෙවුනා අසපුව වටා ශ්‍රාවක පිරිසක් එක්රොක් වීමේ විශේෂත්වය කුමක්ද?

මුල් කාලයේ දී හෝ දැන් හෝ මිනිසුන් මහමෙවුනා අසපුවට ආවේ චෛත්‍ය වන්දනාවට නොවේ. බෝධි වන්දනාවටත් නොවේ. බණ අහන්න පමණයි. අනුරාධපුරේ මිනිස්සු යනවා නම් යන්නේ අටමස්ථානය වඳින්න. පැරැණි වෙහෙර විහාර දැකබලා ගන්න. මහනුවරට යන්නේ දළදා වහන්සේ වන්දනා කරන්න. නමුත් මහමෙවුනා අසපුවට එන ඕනෑම කෙනෙක් එන්නේ බණ අහන්නයි. එය තමයි අපි මුල් කාලයේ ඉඳළ ඇති කළ පිළිවෙල. යම් යම් දහම් කරුණු සරලව කවියට නංවලා ඒ කවි ගායනා කරන්න මම පෙළඹුණේ මිනිසුන්ගේ වෙහෙස නිවන්නයි. දවසක් ගත කරන්න අමාරුයි ප්‍රබෝධයක් නැත්නම්. ඒ වගේම පාලියෙන් කරන ගාථාවල නැතිනම් සූත්‍ර දේශනාවල සිංහල තේරුමෙන් කවියක් ලෙස කිව්වා. මේ වගේ දේවල් නිසා ජනතාව අප වටා එක්රොක් වුණා. ඒ වගේම සූත්‍ර දේශනා පොදු ජනතාවට විශේෂ දෙයක් වුණා. ඒ සඳහා ඔවුන්ගේ උද්‍යෝගයක් ඇතිවුණා. සූත්‍ර දේශනා පොත අරගෙන මුල සිට අගටම සම්පූර්ණයෙන්ම සරලව මිනිසුන්ට ධාරණය කරගත හැකි ආකාරයට කියා දුන්නා. ඒ නිසා ගවේෂණශීලී තරුණ පිරිස් උගත් පිරිස් මේ වටා එක්රොක් වුණා.ඒ අය ධර්මය ඇසීමට ඇති කැමැත්ත මතමයි එක්රොක් වුණේ. මේ වැඩසටහන් ප්‍රසිද්ධ වීමත් සමඟ එක් එක් ශාඛා බිහිවුණා. එයින් පසු බොහෝ රටවල මහමෙවුනා ආයතනය ව්‍යාප්ත වුණා.

බුදුරදුන් උදෙසා ඉදිකළ මේ මාලිගය කුමක්ද?

මේ මාලිගය යම් සංකල්පයක ප්‍රතිඵලයක්. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ‘සිරි ගෞතම සම්බුදු මහ සෑය’ නම් කුණ්ඩසාල මහමෙවුනා භාවනා අසපුවේ මාස 10ක් වැනි කෙටි කලකදී අඩි 107 උස අලංකාර වෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් අප ඉදිකළා.

ඒ අතරේ මම කල්පනා කළා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට මාලිගාවක් හදලා පූජා කරන්න ඕන කියලා. එය ‘සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව‘ නමින් නම් කළා. එය අඩි 107 ක් උසයි.

මේ මාලිගාව තුළ තථාගතයන් වහන්සේ ධර්මචක්‍රය පවත්වන විලාසය, උන්වහන්සේගේ පරිනිර්වාණය, උන්වහන්සේගේ බුදු සිරිත සම්පූර්ණයෙන්ම නිර්මාණය විය යුතුයි සිතා ඉතාමත් අත්‍යාලංකාරයෙන් මේ සියල්ල නිර්මාණය කරන්න අප පෙළඹුණා. ඉන්දියානු කැටයම් කලාවට මුල්තැන දෙමින් ඉතා ස්වාධීනව මේ මාලිගය නිර්මාණය කළා.

මේ මාලිගය තුළ තිබෙන නිර්මාණයන් මොනවාද?

මෙහි නිර්මාණය ඉතාමත් අපූරුයි. මෙය මාලිගාවක අංග ලෙසයි නිර්මාණය වී තිබෙන්නේ. උඩු මහලෙ කොටස් දෙකකි. එහි මුල් කොටස වැඩහිඳීන මාළිගාවයි. මුදුන කොටසේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් වෙන් කළා. ඒ වගේම තථාගතයන් වහන්සේ වජ්‍රාසනය මත තුන් ලෝකය ජය ගන්නා ආකාරය නිරූපණය කරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වුණා. උන්වහන්සේගේ “අනුත්තරෝ පුරුසදම්ම සාරථි” ගුණය ඉස්මතු වන ඉතාමත් අලංකාර චිත්‍ර නිර්මාණය වුණා. ලෝකයේ වෙනත් රජවරුන්ගේ් මාලිගාවන් වෙබ් අඩවිවලින් බලමින් යම් අදහස් ලබා ගත්තා. මාලිගාව ඇතුලේ මල්කම් ලියකම් චිත්‍ර ආදිය දකින්ට නැහැ. ඒ හැම තැනම තිබෙන්නේ කැන්වස් රෙද්දෙන් ඇඳපු රූප රාමුගත කළ චිත්‍ර. ඒ වගේම සච්චක දමනය, අංගුලිමාල දමනය, නාලාගිරි දමනය, බක බ්‍රහ්ම දමනය, ආදී උන්වහන්සේ ගේ දමනය කළ සිද්ධීන් විහාරය ඇතුලේ නිරූපණය කර තිබෙනවා. ඒ වගේම සාරිපුත්ත, මුගලන් මහ රහතන් වහන්සේලා ඛේමා, උප්පලවන්නා රහත් භික්ෂුණීන් වහන්සේලා, යසෝදරාව, අභිනිෂ්ක්‍රමණය, , බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස ජීවිතය ආරම්භ වූ අවස්ථාව වන මෑණියන් කර තබා පිහිනා යාම, මහමහා දේවියගේ සිහිනය, සුමේධ විවරණය ඒ වගේම මෙහි වම් පස සන්තුසිත දිව්‍යරාජයාද එතැනම ඝටීකාර බ්‍රහ්මයාද අඹා තිබෙනවා. මේ ආදීය ඉතාම අලංකාරවූත් නවීනවූත් චිත්‍ර සම්ප්‍රදායක් අප මෙහි පාවිච්චි කර තිබෙනවා.

මෙහි තිබෙන විශේෂය තමයි මේ විහාරයේ සෑම තැනම ඉදි කර තිබෙන්නේ රහතන් වහන්සේලගේ ප්‍රතිමා වහන්සේලා පිවිසෙන ප්‍රධාන දොරටුව උඩ තිබෙන්නේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා. එතැනින් තමා මේ මාලිගයට ඇතුල්වන්නට තිබෙන්නේ. ඇතුලු වූ පසු වම් පැත්තේ සක් දෙවිදුන්ගේ ප්‍රතිමාවත් දකුණු පස බ්‍රහ්ම රාජයාගේ් ප්‍රතිමාවත් දැක ගන්නට පුළුවන්. ඒ වගේම සංතුසිත මහ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ වැඩ ඉන්න ප්‍රතිමාව තිබෙනවා. ඒ වගේම මහ කස්සප මහ රහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රතිමා ඉදිකර තිබෙනවා. එනිසා මේ මාලිගාව ඉතාම සුන්දර මාලිගාවක් ලෙස සලකන්නට පුළුවන්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.