Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ගව ඝාතනයට එරෙහි වෙමු

ඇය කිරි සපයන්නීය. අම්මා නොමැතිව කිරි ඉල්ලා හඬන බිළිඳු පුතුට කිරි දෙන්නේ ඇය නොවේ ද ? තිරිසනකු වූ හෙයින් බිළිඳු පුතු ළඟට ගෙන සිප සැනසීමට ඇයට නොහැකි වූවා මිස බිලිඳුන්ට උස් මහත්වන්නට ඇය සිත් සේ කිරි දෙන්නීය . අපි අම්මාට අතිශයින් ආදරය කරන්නෙමු. එසේම ඒ කිරි අම්මාට ද එසේ නොකිරීමට හේතු කාරණාවක් නොමැත.

සෑම සතෙකුගේම ජීවිතය එක සමාන බව සැබවි. බුදු රජාණන් වහන්සේ ධම්මපදයේ දක්වා වදාළ පරිදි සියල්ලෝම ජීවිතයට ප්‍රිය වන්නේ ය. මරණයට බිය වන්නේ ය. මම ද එසේමය. අහිංසක සිව්පාවන් ද එසේම ය. එසේ නම් අප ඔවුන්ට අනුකම්පා නොකළ යුත්තේ ද ?

ගවයා මිනිසාට මහත් සම්පතක් උදා කර දෙයි. අනිකුත් සතුන් කෙරෙහි දයාව, අනුකම්පාව දක්වනු කෙසේ වුවද මේ සා අපේ ජීවිතයට සමීපවන ගවයා මරාගෙන තලු මරමින් රස විඳීමට තරම් අපි අකෘතඤ වී ඇත්තෙමු.

මිහිතලය මත මිනිසාට යහතින් ජීවත් වන්නට නම් අවිහිංසාව පිළිබඳ උසස් මානුෂීය ගුණධර්මය මිනිසාගේ සිත් තුළ තැන්පත් විය යුතුය. මිනිසා රුදුරු උවහොත් මිහිතලය මතින් මානව සංහතිය වඳවී යන දිනය ඈතක නොවනු ඇත. අවිහිංසාව පිළිබඳව මෙම උත්තරීතර සංකල්පය සමාජගත කිරීමට ඇති එක් හොඳම මාර්ගයක් වන්නේ මරණයට කැප වූ ගවයන්ට අභය දානය දීමේ මහඟු පින්කමයි. ගවයා කෙරෙහි සංවේදී වන මනසක් තුළ තම සහෝදර මිනිසුන් කෙරෙහි මෙන්ම අනිත් සතුන් කෙරෙහි ද දයාව, අනුකම්පාව උපදිනු ඇත. එවිට මේ මිහිතලය සියලු සතුන්ට යහතින් ජීවත්වීමට යෝග්‍ය ස්ථානයක් වනු ඇත.

බොහෝ විට අප සිතන්නේ ගවයා ඝාතනය වන්නේ ගව ඝාතකාගාරයේ කියාය. මතු පිටින් එය නිවැරදි වීමට පුළුවන. එහෙත් යථාර්ථය වන්නේ, ගවයා මුලින්ම ඝාතනයට ලක්වන්නේ ගව මස් බුදීමට ගිජුකමක් දක්වන බඩජාරී මිනිසුන්ගේ සිත්වල වීමය. ඔබ මස් කෑමෙන් වැළකී සිටින්නේ නම් ගව ඝාතකයා ගවයන් ඝාතනය කරන්නේ නැත. ඔවුන් විනෝදාශ්වාදය උදෙසා ගවයන් ඝාතනය කරන බවක් අප අසා නැත.

ගව මස් බුදීමේ අභිලාශයේ විශාල අඩුවක් සමාජය තුළින් දෘෂ්‍යමාන වේ. එය සාධනීය ලක්ෂණයකි. මෙහිලා මාධ්‍ය විසින් ඉටු කළ සහ ඉටුකරන කාර්යභාරය අතිශයින් ප්‍රශංසනීය වේ. ඒ හැරෙන්නට ගව ඝාතනයට එරෙහිව සිවිල් සමාජයෙන් නැගෙන හඬ ද විශාල පිටුවහලක් වී ඇත. මරණයට කැපවූ ගවයනට අභයදානය දීම රටෙහි සෑම ප්‍රදේශයකම වාගේ දක්නට ලැබේ.

ගවයාට සැබවින්ම අභයදානය ලැබෙන්නේ ගව මස් බුදීම මිනිසාගේ සිතින් අස්කළ විටය. ගවයකුට අභය දානය දීමෙන් සිදුකරන්නේ එම පණිවිඩුය මිනිසුන්ගේ මනසට කා වැද්දීමය. එය දකින කියන අසන සංවේදී මිනිසුන් එම පණිවිඩය තම මනසෙහි තැන්පත් කර ගන්නේය. එවිට ඔවුන්ගේ මනසෙහි ගවයකු ඝාතනය වන්නේ නැත. එවිට ගෝ ඝාතකාගාරයේ ගවයකු ඝාතනය වන්නේ නැත. එවිට සෑම ගවයකුටම සැබවින්ම අභය දානය ලැබෙන්නේය. එම අවිහිංසාවාදී ගුණය සිත් තුළ තැන්පත් කරගන්නා මිනිසාගෙන් සහෝදර මිනිස් වර්ගයාට හෝ අනිකුත් අහිංසක සතුනට හිරිහැරයක් නොවන්නේය. එවිට මේ මිහිතලය සැමට සතුටින් ජීවත් වීමට හැකි කෙම්බිමක් වන්නේය. එබැවින් මරණයට කැප වූ ගවයන්ට අභයදානය දීම වෙසෙසින් පැසසිය යුතු විශාල පින්කමකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.