Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

වර්තමාන සමාජයෙ සමහරු දෙවිවරු පිළිගන්නා අතර සමහරු පිළි නොගනිති. සමහර අය දෙවියන්ට යාතිකා කිරීමට කන්නලව් කිරීමට පෙළඹී සිටිති. එවැනි පිරිසට මෙම සක්ක නමස්සන සූත්‍රවලින් ලබා දෙන ආලෝකය ඉතා වැදගත්වේ.

කල්ප ගණනාවකින් ලොව පහළවන උත්තරීතරම මනුෂ්‍ය රත්නය දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම සැප පිණිසම උපකාරී වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ සමස්ත ලෝකවාසී සත්ත්වයන් මේ ඝෝරවූ සසර කතරින් නිදහස් කරවීමට ගන්නා වූ අපමණ වෙහෙස අනන්තයි.

අප්‍රමාණයි. උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී සාරා සංඛෙය්‍ය ‘ කල්ප ලක්‍ෂයක් පාරමිතා දම් පිරුවේ අප වෙනුවෙනි. උන්වහන්සේ වසර හතළිස් පහක් මුලුල්ලේ දෙව් මිනිසුන් වෙනුවෙන් තම උත්තරීතර කාලය කැප කළ සේක. සුළු මොහොතක් වත් අපතේ නොයවා වසර හතළිස් පහක්ම දෙව් මිනිසුන්ට හිත සුව පිණිසම කටයුතු කළ සේක. දිවා කාලයේදී මිනිස් ලොව පිළිබඳව සිත යොමු කළ භාග්‍යවතුන් වහන්සේ දින චරියාවෙන් රාත්‍රි දහයේ සිට රාත්‍රි දෙක දක්වා වෙන් කළේ දෙව් බඹුන් වෙනුවෙනි.

ඒ අනුව සක් දෙවිඳුන් ඇතුළු සතර වරම් දෙවිවරු මහා බ්‍රහ්මයින් උන්වහන්සේ මුණ ගැසීමට පැමිණ නොයෙක් දහම් ගැටලුවලට විසඳුම් ලබා ගන්නා ලදී. ඒ ඒ අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ සිදු කරන ලද දේශනා සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙයි. දෙවියන්ගේ අධිපති වූ සක් දෙවිඳුන් මුල් කරගෙන කරන ලද දේශනා සංයුක්ත නිකායේ සත්ත සංයුත්තයේ දක්නට ලැබේ. එහි දැක්වෙන කරුණු අප සියලු දෙනාටම ඉතා වැදගත් දෙලොව යහපතටම උපකාරීවන කරුණුය. ඒ අතර තිබෙන සක්ක නමසසත සූත්‍රය පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් වේ.

මේ දේශනාව පවත්වනවිට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ ය. එදින සක්දෙව් රජ “ මාතලී” නම් ස්වකීය රථාචාර්යා අමතා දහසක් රෝද ඇති අජානීය අශ්වයන් යෙදූ රථය සූදානම් කරන ලෙස දන්වා උයන් බිමට පිටත් විය. එසේ පිටත්වීමට පෙර එතුමා ස්වකීය මාලිගය වූ වෛජයන්ත ප්‍රාසාදයෙන් බසිද්දී සෑම දිශාවකටම නමස්කාර කළේය.

එවිට “ මාතලී” නම් රථාචාරියා මෙසේ විමසා සිටියේය. වේදය හදාරන පෘථිවි වාසී සියලු දෙනාත්, රජවරුත්, සතරවරම් දෙවිවරුත්, සැප සම්පත් තිබෙන තව්තිසා වැසි දෙවියොත් ඔබතුමාට නමස්කාර කරද්දී ඔබතුමා වන්දනා කරන දෙවියා කවුද ? මෙහිදී ඉතා පැහැදිලි ලෙස සක් දෙවිඳුන් පෙන්වා දෙන්නේ ඉහත සඳහන් පිරිස එතුමාට වන්දනා කළාසේ සක් දෙවිඳුන්ගේ නමස්කාරය ලැබෙන උතුම් පිරිසක් පෘථිවි තලය තුළ සිටින බවයි. එතුමාගේ වන්දනාව ක්‍රම දෙකකට සිදුවේ. එනම් ගිහි සහ පැවිදි වශයෙනි. පැවිදි පිරිසට වන්දනා කිරීමේදී සක් දෙවිඳුන් අපේක්‍ෂා කරන උතුම් ගුණාංග ඒ පැවිදි උතුමන් තුළ තිබිය යුතුය. මේ සූත්‍රයට අනුව ඒ උතුම් ගුණාංග නම් සිල්වත් භාවය, බොහෝ කාලයක් පවත්වන සමෘධිමත් සිත් ඇති බව හා උතුම් බ්‍රහ්මචාරී ජීවිතයයි. එමෙන්ම මනාකොට පැවිදි ජීවිතය ගත කිරීමයි. ගිහි ඇත්තන්ට ද එතුමාගේ වන්දනාව සිදු වේ. ඒ උතුම් ඇත්තන් තුළ පිහිටිය යුතු ගුණ ධර්මද සක්ක නමස්සන සූත්‍රය තුළින් ඉතා පැහැදිලිව දක්නට ලැබෙන අතර මේ කරුණ ශ්‍රී ලංකා බෞද්ධ ජන සමාජය තුළ ඉතා ප්‍රකට වූ කරුණකි.

එනම් තිසරණය තුළ පිහිටා, උපාසක බවට පත්වුනු, ගිහිගෙයි වාසය කරන, සිල්වත්ව, පින් දහම් කරන, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරන ගිහි ශ්‍රාවකයින්ය. ඉන්පසුව “ මාතලී” නම් රථාචාර්යයා පෙන්වා දුන්නේ සක් දෙවිඳුන්ගේ නමස්කාරය ලබන පිරිස ලෝකයේ ශ්‍රේෂ්ඨ පිරිසක් බවයි. එසේ පැවසූ මාතලී ද ඒ උතුමන්ට වන්දනා කළේය.

වර්‍ත¡මාන සමාජයේ සමහරු දෙවිවරු පිළිගන්නා අතර සමහරු පිළි නොගනිති. සමහර අය දෙවියන්ට යාතිකා කිරීමට කන්නලව් කිරීමට පෙළඹී සිටිති. එවැනි පිරිසට මෙම සක්ක නමස්සන සූත්‍රවලින් ලබා දෙන ආලෝකය ඉතා වැදගත්වේ.

පැවිදි ස්වාමීන් වහන්සේලාට දේවානමින්ද වූ සකි දෙවිඳුන්ගේ පවා වන්දනාව ලැබෙන්නේ සීලවන්තභාවය දියුණු කර ගැනීමෙනි. පැවිදි වූ පමණින් සීලවන්තභාවය දියුණු නොවේ. ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ධර්‍ම විනය තුළ හික්මීම තුළින් සීලවන්ත භාවය දියුණු කරගත හැකිය. එමෙන්ම සමථ හා විදර්ශනා භාවනා වැඩීම තුළින් සිත සමාධිමත් භාවයට පත් කර ගත හැකිය. ඒ තුළින් බොහෝ කලකට නොපිරිහෙන ආකාරයේ සමාධියක් දියුණු කරගත හැකිය. එමෙන්ම උතුම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට ද උත්සාහ ගත යුතුවේ. දුක් දොම්නස් සහිතව කඳුළු පිරි දෙනෙතින් යුතුව අඬමින් හෝ පාරිශුද්ධ වූ පිරිපුන් බ්‍රහ්මචරියාවේ හැසිරිය යුතුවේ. එමෙන්ම පැවිදි ජීවිතයට සිත් අලවා මනා පැවිදි ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුය. එවිට අනිවාර්යයෙන්ම සක් දෙවිඳුන්ගේ වන්දනාවට පාත්‍ර වේ.

ගිහි ඇත්තන් කටයුතු කළයුතු ආකාරය ද විමසා බැලිය යුතුය. ප්‍රථමයෙන් ඔවුන් උතුම් තිසරණයට පත්විය යුතුය. තිසරණයට පත් නොවී තෙරුවන් විශ්වාස නොකොට නමට උපාසක ලීලාවක් පෙන්වන ඇතැම් පිරිසක් දක්නට ලැබේ. ඒ ඇත්තන්ට එබැවින් ආගමික වශයෙන් ශක්තියක් නොමැති හෙයින් නිතරම නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට සිදුවී තිබේ.

එබැවින් ගිහි පින්වත් පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැන ගෙනම ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණ දැනගෙනම, ඒ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ දැනගෙනම තෙරුවන තුළ ස්ථාපිත විය යුතුය. ඉන් අනතුරුව ආර්ය කාන්ත පිරිසුදු සීලයක් දියුණු කරගත යුතුය. විශේෂයෙන්ම නිත්‍ය ශීලය වන පංච ශීලය තුළ ස්ථාපිත විය යුතුවේ. එමෙන්ම පින් දහම්වල නිරත විය යුතුවේ. දානමය පින, ශීලමය පින හා භාවනාමය යන පුණ්‍ය කර්‍මයන් තුනම සිදුකර ගැනීම වෙසෙසින්ම අවශ්‍ය වේ. අද සමාජයේ සමහරු කියන්නේ පින් කිරීම අවශ්‍ය නොවන බවයි.

කාටවත් කරදරයක් නැතුව පැත්තකට වී සිටීම බුද්ධාගම බව සමහරු කල්පනා කරති. ඒ ඇත්තන්ට මේ දේශනාව ඉතා වැදගත් වේ. ඒ තුළින් ඒ අනවශ්‍ය මිථ්‍යාදෘෂ්ඨික අදහස් බැහැර කළ හැකිය. තවත් ඉතා වැදගත් කාරණයක් වන්නේ ධාර්මික ලෙස අඹුදරුවන් පෝෂණය කිරීමයි. දහඩිය මහන්සියෙන්, බාහු බලයෙන්, වීරියෙන් යුක්තව මුදල් ධාර්මිකව හරි හම්බ කරගෙන තම අඹුදරුවන් පෝෂණය කළ යුතුය. අසාධාරණ අයුරින්, අයුක්ති සහගත ලෙස මුදල් හරිහම්බ කිරීම තුළින් බොහෝ අකුසල් රැස්වේ. ඒ අනුව මෙවැනි උදාර ගුණ ධර්‍මවලින් යුත් ගිහි ඇත්තන්ට සක් දෙවිඳුන්ගේ නමස්කාරය හිමිවේ.

එමෙන්ම තතිය සක්ක නමස්සන සූත්‍රයට අනුව සක් දෙවිඳුන්ගේ නමස්කාරය සිදුවන්නේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේටයි. එමෙන්ම රාග, ද්වේෂ, දුරු කරගෙන අවිද්‍යාව ඉක්මවා ගොස් වත් පිළිවෙත් යෙදෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන් වහන්සේලාට සක් දෙවිඳුන් වන්දනා කරයි.

එමෙන්ම තනිය සක්ක නමස්සන සූත්‍රයට අනුව අනගාරික ඉසිවරුන්ට සක් දෙවිඳුන්ගේ විශේෂ කැමැත්තක් තිබේ. එයට හේතුව ඔවුන් අටුකොටුවල වස්තුව රැස් නොකිරීම, මුට්ටිවල, භාජනවල වස්තුව නොසැඟවීම, අනුන් දෙන බත් ටිකකින් යැපීම, සිල්වත්වීම, යහපත් දේ කතාබස් කිරීම, ප්‍රඥාවන්ත වීම, නිශ්ශබ්ද වීම, යහපත් ලෙස ජීවත්වීම, යන කරුණුය.

එහිදී සක් දෙවිඳුන් උදාහරණ සහිතව මෙසේ පෙන්වා දෙයි. දෙවියෝ අසුරයන් සමඟ විරුද්ධය. බොහෝ මිනිස්සු ද ඔවුනොවුන්ට විරුද්ධය. එහෙත් මේ ඉසිවරු විරුද්ධවාදීන් අතර විරුද්ධවාදී නොවී සිටිති. දඬු මුගුරු ගත් අය අතර නිවී සිටිති. ලෝකෙට බැඳී සිටි අතර නොබැඳී සිටිති. එබැවින් සක් දෙවිඳුන් ඒ ඉසිවරුන්ට වන්දනා කරයි.

මේ අනුව අප ගිහි පැවිදි වශයෙන් අපගේ ජීවිත සකස් කරගත යුතු ආකාරය මැනවින් වටහා ගත හැකිය. අපගේ ජීවිතය ඉහත ගුණාංග වලින් පෝෂණය කර ගැනීම තුළින් අපේ මෙලොව ජීවිතය යහපත් වන අතර පරලොව සුගතිය අත්පත් කරගත හැකිවේ. එමෙන්ම විශේෂයෙන්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ වූ සක් දෙවිඳුන්ගේ වන්දනාවද හිමිවේ. තෙරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබටත් ඒ ගුණාංග දියුණු කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව උදාවේවා !


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.