Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෛරයේ ගිනිදැල් තමාට තමා ද අහිමි කරයි

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ සද්ධර්මය අනුව ජීවත්වීම නිසා ජීවිතය ලස්සන වේ. සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට බුදු දහමේ නිවැරදි පිළිවෙත මැනවින් වටහා ගැනීම අපහසුයි. ඒ නිසාම බොහෝ දෙනා කරනු ලබන්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙත බුදුදහමේ පිළිවෙත ලෙස හඳුන්වන්නට යාමයි. බොහෝ විට බොහෝ අයට ධර්මය නිවැරැදිව හඳුනාගැනීමට අපහසු වන්නේ මෙම මානසික තත්වය නිසාය.

සාමාවතී ශ්‍රී සද්ධර්මය මැනවින් හඳුනාගත්තාය. මාගන්දියා බුදුදහම හඳුනාගත්තේ නැත. සාමාවතී පිනක් දහමක් කරන විට මාගන්දියා ඒ දෙස නොරිස්සුම් ගතියෙන් බැලුවාය. මලක් පහනක් පූජාකොට බණ පදයක් අසා හිත නිවා ගැනීමෙන් සැනසීම ලැබේය යන සිතිවිල්ල මාගන්දියාට නොවීය. නමුත් දෙදෙනාම උදේන රජුගේ භාර්යාවෝ වූහ.

උදේන රජතුමා කොසඹෑනුවර අගරජ බවට පත් වු සිය බිසවවරු වශයෙන් වාසුල දත්තාද තබාගත්තාය. ඒ අනුව රජතුමාගේ අන්තඞපුරය තුළ සාමාවතී, මාගන්දි, වාසුලදත්තා යන තිදෙනද වූහ.

මාගන්දි හැම විටම කල්පනා කරනු ලැබුවේ බුදු දහමට පටහැණි විදිහටමය. බුදු දහමේ අගතිගාමී තැන් තිබේයැයි ඇය උදේන රජතුමාට ද කීවාය. බුදුරදුන් පිළිබඳ අමනාප සිතිවිල්ලක් ඇයගේ හිත යට මෝරමින් පැවතිණි,

බුදුරදුන් කෙරෙහි පවතින විරෝධය බුදු දහමට එරෙහිව නැගුණක් ලෙස ඇය කටයුතු කළාය. බුදුරදුන් පිළිබඳව වෛරී සිතිවිල්ලක් මාගන්දි තුළ ඇති වූයේ ඇයි?

රූ සිරි පිරි

මාගන්දි රූසිරි පිරි දෙවගනක් බදු වරඟනක් වූවාය. ඇයගේ ශරීර සෝභාව නිසා ඇය සරණපාවා දීමට හොඳ සැමියෙක් දෙමාපියන් විසින් සොයන්නට විණි. මාගන්දියගේ පියාණන් බමුණූ දහමට අනුව අධ්‍යාපනය ලැබු දේහ විද්‍යාව පිළිබඳව මනා දැණුමක් ඇති කෙනෙක් විය. ඔහු දවසක් මහ මග තනිව ඇවිද යන විට මිනිස් සිරුරක පිය සටහනක් දුටුවේය.

එම පිය සටහන අනුව විශිෂ්ඨ පුද්ගලයාකුගේ ස්වභාවයක් හෙළිවන බව ඔහු වටහා ගත්තේය. ඒ අනුව එම අඩිපාර අනුව අඩිපාරෙහි අයිතිකරු කවුදැයි සොයමින් ඉදිරියට ගියේය. ඔහුට දකින්නට ලැබුණේ ගසක් යට වැඩ සිටි බුදුරජාණන් වහන්සේය. අංග විද්‍යාව පිළිබඳව මනා වැටහීමක් තිබූ ඔහු බුදුරජාණන් වහන්සේගේ ශරීර ස්වභාවයන්ද දැක අතිශයින් සතුටට පත්වී තමන්ගේ දුව වන මාගන්දිට මෙතෙක් සොයමින් සිටි පුද්ගලයා හමුවූ බව සිතමින් ඔහු වඩාත් සතුටට පත් විය

. හේ නිවසට පැමිණ සිය දුවණියටද ඒ බව දැන්වීය. ඇයද කැටිව ගොස් බුදුහිමියන් පෙන්වා ඇයගේ කැමැත්තද ගෙන ආපසු ගෙදර ආවේය.

මාගන්දියගේ පියා විසින් සිය අදහස පසුදිනක බුදු හිමියන්ටද දැනුම් දෙන ලදී. මාගේ දුව “ ඉතාමත් සෝභමානය. පුණ්‍යවන්තය, හුරුබුහුටිය, ඇය ඔබ වහන්සේ සමග විවාහ ප්‍රාප්ත වීමට අභිරුචියක් දක්වයි ‘ මාගන්දිගේ පියා බුදුරජාණන් වහන්සේට සැළ කර සිටියේය. බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතයක ස්වභාවය පහදා දීමෙන් පසු අමනාප වු මාගන්දිගේ පියා නොරිස්සුම් සිතින් යුතුව බුදු හිමියන්ගෙන් සමුගෙන ආපසු ගෙදර ගියේය. තම රූ සිරියට බුදුරදුන් කළේ මහත් අපහාසයකි.

මෙය නොකළ යුත්තකි. එම නිසාම එය නොකළ යුක්ත කළ තථාගතයන් වහන්සේගෙන් පළිගන්නෙමියි සිය පියාගේ වදන් ඇසූ මාගන්දි දැඩිසේ සිතෙහි තබාගත්තා ය.

පසුව ඇය උදේන රජු විසින් විවාහ කරගනු ලැබිණ. ඇයත් සමග සාමාවතී. වාසුල දත්තා යන අය සපත්තීවරුන් බවට පත් වූවාය. නමුත් මාගන්දි බුදුරජාණන් වහන්සේ කෙරෙහි දිගින් දිගටම සිය විරෝධය, දක්වන්නට විය.

බුදුරදුන්ට පි‍්‍රය කරන යමෙක් වේද ඒ අයත් සමගද ඇය විරුද්ධ වූවාය. මාගන්දි සාමාවතීගේ විරුද්ධ කාරියන් බවට පත්වූයේ ඇයගේ වරදක් නිසා නොව ඇය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයකින් යුක්ත වූ නිසාය. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩි අවස්ථාවක දී නිගණ්ඨයන්ට අල්ලස් දී මාගන්දි විසින් බුදුරදුන්ට අගෞරව වන විදිහට කටයුතු කළාය. නමුත් ඉන් වැඩක් වූයේ නැත. බුදුරජාණන් වහන්සේ ඇය පිළිබඳව උපේක්‍ෂාවක් දැක්වූවා විනා කිසිවක් කළේ නැත.

අවුල් සිතෙන් තැවුල්

සියල්ල දැනගෙන නොදන්නා සේ සිටියාය. තමන් කළ හැම ක්‍රියාවකින්ම තමන්ටම සිදුවු අලාභය ගැන මාගන්දි සිතන්නට වූවාය. ඇයගේ සිත වඩාත් අවුලෙන් අවුලට පත්වූයේ එම නිසාය. සිතෙහි පවතින වෛරී සිතිවිල්ලද දැවි දැවී මතු වී එයි. උදේන රජුගේ තෙවනි බිසව වුණිද බුදුරදුන්ට එරෙහිව කිසිවක් කරන්න නොහැකි වූවා වේ දැයි සිතන විට ඇයගේ සිත කිසියම් පරාජිත බවකින් වෙළී යයි.

සාමාවති බිසව ඇතුළු ඇයගේ සේවිකාවන් සියල්ල බුදුරදුන්ගෙන් බණ අසා සිත් පහදා සෝවාන් වූවාය. ඔවුන් බණ දහමට නැඹුරුව මාගන්දි පිළිබඳව උපේක්‍ෂාවෙන් කටයුතු කළත් ඉන් පලක් නොවීය. මාගන්දිගේ සිතෙහි වෛරය එක දවසක් පුපුරා ගියේය. එය සිදුවූයේ සාමාවති ඇතුළු සියලු දෙනා වෙසෙන මාලිගයට ගිනි තබා විනාශ කිරීමෙන්ය

වෛරයේ හැටි මෙහෙමයි. අනුන්ට තද බල හිංසාවක් කරන තුරුම තමන්ගේ සිත යට කැකෑරී කැකෑරී පවතී. තමන්ද දැඩිසේ වේදනාවට පත් කරවයි. නින්ද නොයයි. කෑම බීම එපා වෙයි. ශරීරය අප්‍රාණික වෙයි. ශරීර ප්‍රභාව පහවී යයි. පළිගන්නාතුරුම සිතින් දුක් විඳී. පළිගත් පසුද සිදුවන්නේ යහපතක් නොවේ. මාගන්දිට වූයේද එයමය.

සාමාවතී ඇතුළු පන්සියක් පිරිස විනාශ කිරීමේ ක්‍රියාවලියෙහි නායකත්වය දැරුවේ මාගන්දි බව උදේන රජතුමා විසින් සිද්ධිය පිළිබඳව කළ අධ්‍යයන මගින් වැටහී තිබිණ.

රජතුමා මහත් සේ කම්පාවීම මාගන්දි කළ ක්‍රියාව පිළිබඳව ඇය කෙරෙහි නොමනාපයක් ඇතිකර ගත්තේය.

මාගන්දියද ඇයට සම්බන්ධ සියලුම නෑ හිතමිතුරන්ද උපායශීලිව රජ ගෙදරට කැඳවා දරුණු වද දී මරණයට පත් කරනු ලැබීය. ඒ සිද්ධිය වෙනුවෙන් රාජ නීතියෙහි ක්‍රියාත්මක වීමයි. බණ දහමෙහි මෙබඳු සිද්ධීන් පිළිබඳව උන්වහන්සේ අප්‍රමාදිව පින් දහම් කිරීම පුද්ගල ජයග්‍රහණයට හේතුවන බවත් එසේ පින්දහම් නොකිරීම විනාශයට හේතුවන බවත් දේශනා කළහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.