Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලංකාවේ පුද බිම් ආශි‍්‍රතව පවත්නා මුරගල අනුරාධපුර යුගයේ පටන් වර්තමානය දක්වා නේකවිධ විෂමතාවයන්ට පාත්‍රවෙමින් කලාත්මකව ප්‍රතිනිර්මාණය විය. මුල්ම යුගයේ නිමැවුණු මුරගල කිසිදු කැටයමකින් තොරය. “වෙස්සගිරිය රාජාංගණ වටදාගෙය” ආශි‍්‍රත මුරගල් ඊට කදිම නිදසුන්ය

බහුවිධ අරමුණු සාධනය කර ගැන්මෙහිලා කිසිදු ඉසිඹුවක් නොගෙන කටයුතු කරන ගෘහස්ථ ප්‍රජාව තුළින් විද්‍යාමාන වන්නේ බොහෝ විට අවිවේකි වූ, අසහනකාරි ස්වභාවයකි. මෙකී අසහනකාරීත්වයෙන් මොහොතකට හෝ අත්මිදී ස්වකීය චිත්ත සන්තානය පහන් සුපහන් භාවයට පත්කර ගැන්ම සඳහා සැදැහැති බෞද්ධයා නිතැතින්ම වාගේ පිවිසෙන්නේ ගමේ පන්සලටයි.

පුහුදුන් සිත් තුළ රාගාදී ක්ලේශාග්නි උපදවන සුළු විකාර විසූක දස්සනයන් වෙනුවට බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව සිත නිවා සනහාලන, බුද්ධාලම්භන පී‍්‍රතිය දනවන කලා නිර්මාණාංග රැසක් විහාරස්ථාන ආශි‍්‍රතව ඇත. එහිලා ස්ථූපය, බුද්ධ ප්‍රතිමාව, බෝධිය.....යනාදිය නිදසුන් ලෙස ගෙන හැර පෑමට හැකිය. මෙම පුද බිම් වන්දනා කරන්නට සපැමිණෙන බොදුණුවාට සඳකඩ පහණ සහ පියගැටපෙළ හමුවේ. පියගැටපෙළට දෙපසින් ඇත්තේ වන්දනාකරුවන්ගේ ආරක්‍ෂාව සලසාලන අත්වැලකි. එය නමින් කොරවක්ගල නමි. එම කොරවක් ගලේ කෙළවරට සම්බන්ධකර පිහිටා ඇති මුදුනින් වටකුරු ස්වභාවයක් සහිත ආයත චතුරාස්‍රාකාර ගල් පුවරුව “මුරගල” ලෙස හඳුන්වනු ලැබේ. බෞද්ධ කලා නිර්මාණාංගයක් වශයෙන් මුරගලෙහි සුවිශේෂත්වය මෙහිදී අපි විමසා බලමු. මෙය තනා ඇත්තේ ගොඩනැගිල්ලේ ආරක්‍ෂාව අලංකාරත්වය සහ ශක්තිමත් බව තීව්‍ර කරනු පිණිසය. එසේම කොරවක් ගලෙහි ස්ථාවර භාවය උදෙසා යොදනු ලැබූ ආධාරකයක් ලෙසද පියගැට පෙළ තරණය කරන සැදැහැතියන්ට අත්වැලක් ලෙසද මුරගල භාවිතාවේ.

ලංකාවට ආවේණික වූ කලා නිමැවුමක් ලෙසට මුරගල අරුත් ගැන්විය හැකි මුත්, එහි මුල අවස්ථාවන් ඉන්දියානු කලා කෘතින් සමඟ බද්ධ වී ඇති බැව් පෙනේ.ඇතැම් භාරතීය දේව කථාවන්හි අපට හමුවන “ ද්වාර ආරක්‍ෂක වරුන්” මෙයට එක් නිදර්ශනයකි. ඔවුන් වනාහි රාජ සිටු මැදුරුවල දොරටුවලට අරක් ගත් දෙවියන්ය. තවද නග්න ස්වරූපයෙන් සිටින ද්වාර පාලක රූප අජන්තා ලෙන් විහාරයෙන්ද සොයාගෙන ඇත. මෙම ද්වාරපාල සංකල්පයම ලාංකේය කලා නිර්මාණ විෂයයෙහි මුරගල තුළින් සංවර්ධනීයව විකාශව වූ බව අපට සිතිය හැක.

ලංකාවේ පුද බිම් ආශි‍්‍රතව පවත්නා මුරගල අනුරාධපුර යුගයේ පටන් වර්තමානය දක්වා නේකවිධ විෂමතාවයන්ට පාත්‍රවෙමින් කලාත්මකව ප්‍රතිනිර්මාණය විය. මුල්ම යුගයේ නිමැවුණු මුරගල කිසිදු කැටයමකින් තොරය. “වෙස්සගිරිය රාජාංගණ වටදාගෙය” ආශි‍්‍රත මුරගල් ඊට කදිම නිදසුන්ය.

මුරගලේ විකාශය හා සම්බන්ධ කතිකාවතෙදී මීළඟට හමුවන්නේ පුන්කලස් සහිත මුරගල්ය. ක්‍රි.ව. 2 –3 වන ශත වර්ෂයන්හි ඉදිවූ මෙම මුරගල වල පුන්කලස් දෙපස පාමුලට වන්නට හංස රූප දෙකකි. විජයාරාම මුරගලෙහි කැටයම් කර ඇති පුන්කලස පස් පියුමින් අලංකෘතය.

එසේම “වාමන රූප – බහිරව රූප” සහිත මුරගල්ද දක්නට ලැබේ.මෙම බහිරව රූපයන්හි විද්‍යාමාන වන පොදු ලක්‍ෂණ රැසකි. එනම්,

දුහුල් වු ද, කෙටි වූද, වස්ත්‍රයකින් යටිකය වසා සිටීම
උඩුකය පූන නූලක් සහිත වීම
එක් හස්තයක මල් අත්තක් හෝ උක් ගසක් දරා සිටීම
විසල් උදරයක් සහ ස්ථූල ශරීරයක් තිබීම
අත් පා කෙටි වීම
පි‍්‍රයමනාප මුහුණක් තිබීම

විසුළු ස්වභාවයක් උසුලන ඉරියව් සහිත වීමද සුවිශේෂි වේ. මෙම වාමන රූප අතරේ “සංඛ – පද්ම” රූපද වේ. ඔවුන්ගේ ශීර්ෂ පළඳනා වල සංඛයක් (හක් ගෙඩිය) හෝ පද්මයක් කැටයම් කර ඇත.අභයගිරි – තොලුවිල පුද බිම් ආශි‍්‍රතව පවත්නා මුරගල් “සංඛ – පද්ම” රූපයන්ගෙන් අලංකෘතව ඇත.

කලාත්මක බවින් පිරිපුන් සුන්දරතම මුරගල වන්නේ නාගරාජ රුව සහිත මුරගලයි. එම නාග රාජ රුව චිත්තාකර්ශනීය මානව රූපයක් බවට පරිවර්තනය කර ඇත. එය ත්‍රිභංග හැඩයෙන් යුතුය. රාජකීය ආභරණයන් ගෙන් සමලංකෘත වූ මේ නාල රාජ මානවයා පුන්කලසක් සහ කොළ අත්තෙන් සුරතේ දරා සිටියි. පංච හෝ සප්ත ශීර්ෂ නාගරාජයකු ඔහුගේ ශීර්ෂයෙහි දක්නට ලැබේ. මෙම නාගරාජ රූපය පාමුල කුඩා වාමන රුවක් ද ඇත. අනුරාධපුර රත්න ප්‍රාසාදය ,පොළොන්නරු වටදාගෙය, ලංකාතිලකයෙහිද මෙවැනි කලාත්මක බවින් අනූන වූ මුරගල් දක්නට ලැබේ. බහුතර විචාරක ආකල්පය වූයේ මෙම නාගරාජ මානව රූපයෙන් ද්වාර ආරක්ෂකයෙකු ගේ ස්වරූපය නොව විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණෙන පිරිස පිළිගැනීමට සූදානමින් සිටින්නෙකුට නිරූපිත බවයි.

කලා නිර්මාණාංගයක් වශයෙන් මුරගලෙහි සංවර්ධනීයම අවධිය උක්ත මුරගලෙන් අපට වටහා ගත හැක. බෞද්ධ කලා කෘතීන්හි විශේෂතාවන් වන්නේ, නිර්මාපකයාගේ කලා නෛපූණත්වය, නිර්මාණයෙහි පවත්නා පූජාර්හ පූජනීය බව, සියුම් වූ කරුණූ පවා මනා සංයමයකින් හා සූක්ෂම ලෙස එම කලා කෘතීන් ප්‍රති නිර්මාණය කරනට ශිල්පියා උත්සාහ දැරීමත්ය. සෑම කලා කෘතියකින්ම මූර්තිමත් කිරීමටද බෞද්ධ කලාකරුවා උත්සාහ දරා ඇත. එහිදී මුරගල හා බැඳුණු නිර්මාණාංගයන් තුළද විවිධ ආගමික සංකේත අන්තර්ගතව ඇත. නිදසුන් ලෙස පුන්කලසෙන් :– සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ඇඟවේ.

මෙහිදි ඇතැම් වියතුන්ගේ අදහස වූයේ භෞතිකමය සශ්‍රීකත්වයක් නොව ධර්ම ඤාණ යෙන් පරිණත බවම ඉන් සංකේතවත් වන බවයි.

පද්මය :- පාරිශුද්ධ බව

නාග රූප :- පංච ශීර්ෂ සප්ත ශීර්ෂාදී නාග රූ තුළින් විවිධ ධර්මය සංකල්පයන් මූර්තිමත් වේ. නිදසුන් ලෙස ශිර්ෂත්‍රයක් නිරූපණය වීමේදී ඉන් “කාම භව, විභව“ යන ත්‍රිවිධ තෘෂ්ණාවද , පංච ශීර්ෂ නාගයන් වෙතින් රූප ශබ්දාදී පංච කාම සම්පත්තීන් අරභයා පුද්ගල මානසිකත්වය තුළ ගොඩ නැගෙන තෘෂ්ණාභරිත ස්වභාවය ද පිළිබිඹූ වේ. පොදුවේ නාග රුවෙන් ප්‍රකාශ වන්නේ ආරක්‍ෂාවයි. නොඑසේ නම් තෘෂ්ණාවයි.

වාමන රූප :- වාමනයන්ගේ උරහිස මත විවිධ දෑ තබා සිටී. ඉන් ගම්‍ය වන්නේ පෘථග්ජනයා ස්වකීය මෝහය නිසාම නිස්සාර වූ දුක්ඛ දෝමනස්සයන් සමුදායක් අත් විඳිමින් සසර මඟ තව තවත් සැරිසරන බවයි’ බහිරව රූප වලින් ඕලාරික වූ ආශා සම්ප්‍රයුක්ත මනෝ භාවයන්ම පළට වේ.

උක්ත විවරණයන් මගින් අපට ගම්‍ය වන්නේ සැදැහැති බෞද්ධයන්ට වන්දනාමාන කිරීම සඳහා ඉදිකර ඇති ස්ථූපාදි කලා නිර්මාණයන් පමණක් නොව, එම ස්ථානයන් ට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඇති ද්වාරය අභිමුඛව ප්‍රතිෂ්ඨාපිත අවශේෂ කලා නිර්මාණයන් තුළින්ද බෞද්ධ කලා ශිල්පියා සතු නිර්මාණශීලි භාවයත්, ආත්ම සංයමයත් මනාව පළ වන බවයි. කලාව කලාව සඳහාම නොව, කලාවෙන් ලබන ආනන්දය ප්‍රඥාව කරා මිනිසාව යොමු කිරීමටද මහෝපකාරි වේ. ඒ අනුව, නිරාමිස සැනසීමක් සෞන්දර්යාත්මක රස වින්දනයක් පමණක් නොව බෞද්ධ කලා කෘතින් හරහා ධර්මය සන්නිවේදනය කිරීම සම්බන්ධවද කලා නිර්මාපකයා දැරූ ප්‍රයත්නය ප්‍රශංසනීය බව කිව යුතුමය. මුරගල ඒ සඳහා කදිම නිදසුනක් බව කීම අතිශයෝක්තියක් නම් නොවන්නේමය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.