Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යථාර්ථය අවබෝධයට ගනිමු

අචරිත්වා බ්‍රභ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොඤ්චාව ත්ධායන්ති ඛීණමච්ජේව පල්ලලෙ
අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපාතිඛිත්තාව පුරාණානි අනුත්ථුනන්තී

පින්වත්නි,

මේ පින්වත් හැම කෙනෙක්ම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි. ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ඖෂධයක්. අපි විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරන්නේ රෝගී වූ විට නේ. අපිට මෙතරම් සැප තිබුණත් වැඩක් නැහැ. නිරෝගී සුවය නැතිනම් ඖෂධ පාවිච්චි කරලා ඇඟේ් ලෙඩ සුව කරගත්තට හිතේ ලෙඩ සුව කර ගැනීම පහසු නැහැ.

කය ලෙඩ කරගන්නේ නැතිව අවුරුදු ගාණක් ඉන්න පුළුවන් වුණාට එක මොහොතක්වත් සිතේ ලෙඩ නැතිව ඉන්න බැහැ කියලා දහමෙහි දේශනා කළා. මහා ප්‍රඥාවෙන් ලෝකයේ පවතින යථාර්ථය අවබෝධ කරගත් බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පත් වූ උත්තරීතර තත්ත්වයට පත්වන්නට කැමති ලෝ සතුන් වෙත පතල වූ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක.

මහා ප්‍රඥාවෙන් අවබෝධ කොටගෙන මහා කරුණාවෙන් දේශනා කළ ධර්මයේ අමා සුවයෙන් සැනසුණු ජීවිත අපමණයි. මේ වටිනා ධර්මයේ වටිනාකම දන්නා පිනැති මිනිසුන් තවමත් දහම් අමා සුවයෙන් සැනසෙනවා. ධර්මයේ තියෙන වටිනාකම හොඳට තේරුම් අරගෙන මනා ලෙස සිත් යොමා බණ අහන්න ඕන.

මේ උතුම් දහම හොඳින් ශ්‍රවණය (සුණාථ) කරන්න ඕන. ඇසූ ධර්මය හොඳින් ධාරණය (ධාරෙථ) කරගන්න ඕන. ඇසූ, දැරූ ධර්මය අනුව ජීවිතය හැඩගස්වා (චරාථ) ගන්න උත්සාහ කරන්න ඕන. එවැනි පින්වන්ත ජීවිත සැමදාම බැබළෙනවා. භෞතිකව මොනතරම් දියුණු වුණත් වැඩක් නැහැ. ඔහු තුළ මිනිසත්කම නැත්නම් මිනිස්කම මේ හදවතේ පෝෂණය කරන්නේ මේ තථාගත ශ්‍රී‍්‍ර සද්ධර්මය යි. තථාගත ශ්‍රී සද්ධර්මයෙන් සැනසෙනවා හැර වෙනත් භාග්‍යයක් තවත් ඇත්තේ නැහැ. ධර්මයේ තියෙන වටිනාකම මෙපමණයි කියලා කියා නිම කරන්න බැහැ.

ඉතින් මේ තරම් වටිනාකමක් තිබෙන ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක ලොකු වාසනාවක්. හැමදාම බණ අසන්න ලැබෙන්නෙ නැහැ. බුද්ධෝප්පාද කාලයක ධර්මය තිබෙන දේශයක බණ අහන්න පුළුවන් හැකියාව ඇතුව ඉපදුනොත් තමයි බණ අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වාසනාව මේ පින්වත් හැම දෙනෙක්ම ලබලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගැනීම අමා සුවයෙන් සැනසෙන්න හේතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉහත මාතෘකා කළ ගාථාව දේශනා කරන්නට හේතුවුණු කථාව මුලින්ම දැන ගැනීම වටිනවා. එක දවසක් අඹුසැමි යුවළක් හිඟමනේ යන ගමන් ජේතවනාරාමයට ආවා. මේ දෙදෙනා දැකලා කුඩා සාමණේර හිමිනමක් වළදා ඉතිරිව තිබුණු ආහාර ටිකක් මේ දෙන්නට දුන්නා. මේ සිදුවීම දැකලා බුදුහාමුදුරුවෝ සිනා පහළ කළා. බුදුවරු හේතුවක් නැතුව හිනාවෙන්නෙ නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ‘ස්වාමිනි, ඇයි සිනා පහළ කළේ’ කියලා.

බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෝටි දෙකක් ධනය තිබුණු මේ දෙන්නා හිඟා කන හැටි දැකලා සිනා පහළ වුණා කියලා. එහෙම පැහැදිලි කරපු උන්වහන්සේ මේ දෙන්නා මෙවැනි අසරණ තත්ත්වයකට පත්වුණේ් ඇයි කියලා දේශනා කළහ.

තුන් ලෝකයක් දහම් අමා සුවයෙන් සැනසු බුදුහාමුදුරුවෝ මේ කථාව දේශනා කරන්නේ බුදු දහමෙහි උපන් මහා කරුණාවෙන්මයි. මේ කථාව අහලා තවත් දහස් සංඛ්‍යාත මිනිසුන් සැනසෙනවානම් ඒක මොනතරම් භාග්‍යයක්ද?

මේ දෙදෙනාම බරණැස් නුවර මහා ධනස්කන්ධයක් තිබෙන පවුල් දෙකක ඉපදුණු ඉතා වාසනාවන්ත දෙදෙනෙක්. ඒ වුණාට ඒ වාසනාව පාදාගෙන වාසනාවෙන් ප්‍රයෝජන ගන්න බැරිවුණු එක්තරා විදියක අවාසනාවන්ත දෙදෙනෙක්. ඒ අවාසනාවන්ත තත්ත්වයට ඔවුන් පත්වුණේ හැඟීම් වලට වහල්වෙලා. සිතට ඕනෑ හැටියට අපිව රූකඩයක් වගේ නටවන්න ඉඩදුන් නිසා. මිනිස්සු මුල්තැන දෙන්න ඕනේ හැඟීම්වලට නොවේ බුද්ධියටයි.

මහා ධනයකට හිමිකම් කිවූ මේ සිටුපුතු කිසිම ශාස්ත්‍රයක් ඉගෙන ගන්න වෙහෙසුණේ නැහැ. ඔහුගේ දෙමව්පියනුත් තම පුතාව ඒ සඳහා යොමු කෙරෙව්වේ නැහැ. මොහු කැමතිවුණේ් නැටුම් ගැයුම් ඉගෙන ගන්න. දෙමව්පියනුත් ඒ සඳහා අනුබල දුන්නා.

මේ ගමේම තවත් සිටුගෙයක සිටිය සිටුකුමරිකාවක් කළේ අර සිටු කුමරයා කරපු ටිකමයි. සමහර විට මේ දෙන්නා සංසාරයේ එකටම ආපු දෙදෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් පසුව මේ දෙන්නා සබඳතාවයක් ඇතිකර ගෙන විවාහ වුණා. විවාහ වෙලා ටික කලකින් මොවුන්ගේ දෙමව්පියන් කළුරිය කළා. දෙමව්පියන් සතු ධනයේ උරුමය මේ සිටු පුතුට ලැබුණා. මෙහෙම කාලය ගතවෙද්දී මේ සිටු කුමරා රාජ සේවයට බැඳුණා.

විශාල ධනයක් තිබෙන මේ වාසනාවන්ත සිටුකුමරු විනාශ කරන්න පාප මිත්‍රයෝ බලාගෙන හිටියා. මේ මිත්‍රයෝ මොහුව සුරාවට ලොල් කරගත්තා. ටික කාලයකින්ම ඊට ඇබ්බැහි වුණා. මේක තේරුම් ගන්න තරම් බුද්ධියක් මොහු ලබාගෙන තිබුණෙත් නැහැ. මේකට දෙමව්පියොත් එක පැත්තකින් වගකියන්න ඕන. පුංචි කාලයේදී ළමයින්ට යා යුතු, නොයා යුතු මඟ තේරෙන්නෙ නැහැ. නිසිමඟ පෙන්වීම දෙමව්පියන් කරන්න ඕන. ඒකනේ දෙමව්පියන්ට ‘පුබ්බාචරිය’ කියලා කියන්නේ. සුරාවට ලොල් වුණු මේ සිටුකුමාරයා සූදුවට ස්ත්‍රී ලෝලත්වය වැනි රාගය වැඩිකරන ක්‍රියාවන්ට යොමුවුණා මේ ක්‍රියාවන්ට යොමුවුණු මේ සිටුකුමාරයා පාප මිත්‍රයෝ සමග එකතු වෙලා මේ අගතිගාමි ක්‍රියාවල නිරත වෙනකොට ඉතා ටික කාලයකින් සියලු ධනය විනාශ වෙලා අන්ත අසරණ භාවයට පත්වුණා. එවිට අර සියලු මිත්‍රයෝ ඔහුව අත්හැර ගියා. තම හිසට තම අතමය සෙවණැල්ල යන යථාර්ථය පසක් කරමින් මේ අඹුසැමි දෙන්නට ජීවත්වෙන්න කරන්න පුළුවන් එකම දේ වන සිඟාකන්නට පටන් ගත්තා.

මේ කථාව පාදක කරගෙන බුදුහාමුදුරුවෝ මාතෘකා කරගත් ගාථාව දේශනා කළා. ඒ ගාථාවේ අදහස තමයි

’බඹසර හැසිරෙන්නෙ නැතිව, තරුණ වියේදී ධනය උපයන්නේ නැතුව වෙසෙන කෙනා මහළුවියට පත් වුණාම මාළුන් නැති විලක මඩෙහි එරී සිටිනා කොස්වාලිහිණියෙකු සේ අසරණ වෙන බව. මේ අදහස මොනතරම් නම් සත්‍යයක්ද?

බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සිටු කුමාරයා තරුණ කාලයේදී හම්බකළා නම් මේ නුවර සිටු නායකයා වෙනවා. පැවිදි වුණානම් රහත් වෙනවා. මැදි වයසේ හම්බකළානම් මේ නුවර දෙවන සිටු නායකයා වෙනවා. පැවිදි වුණානම් අනාගාමී වෙනවා. මහළු වියේදී හම්බකළානම් මේ නුවර තෙවන සිටු නායකයා වෙනවා. පැවිදි වුණානම් සකෘදාගාමි වෙනවා. මොහුගේ බිරිඳද සෝවාන් වෙනවා කියලා. එහෙත් දැන් මේ දෙන්නම වාසනාවට පයින් ගසා නොදැනුවත්කම නිසාම අවාසනාව උදාකරගෙන තිබුණා. මෙවැනි අසරණ තත්ත්වයකට පත්වීම කොතරම් අවාසනාවක්ද?

මේ තත්ත්වය දැකලා බුදුහාමුදුරුවෝ සිනා පහළ කළා. ඒ සිනාව තුළ තිබුණේ අනුකම්පාවක්මයි.අපිට කරන්න පුළුවන් දේ තමයි නිසිකලට නිසි මග යෑම. භෞතිකව මොනතරම් ධනය තිබුණත් වැඩක් නැහැ ධර්මයෙන් සැනසුණු හිතක් නැත්නම්.

දහමෙන් අපගේ ජීවිත හැඩගස්වා ගන්නට කරන මඟපෙන්වීම කෙතරම් ආශ්චර්යයක් ද? ඒ මග නිසි ලෙස තේරුම්ගෙන ලැබූ දුර්ලභ මිනිස් බව උත්තරීතර මිනිසත් බවක් දක්වා උසස් කරගන්නට ධර්මය මහෝපකාරී වේවායි අධිෂ්ඨාන කරගෙන මෙලොවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගෙන අමා නිවනින් සැනසීමට මේ ධර්මය උපකාරී වේවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.