UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ දී ඇරඹුණු ආශිර්වාද මහා පින්කමට බොදු රටවල් 30 ක මහ සඟ රුවන එක්වෙති

දෙදහස් හයසියවැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ලෝක සාමය, සහජීවනය හා සමෘද්ධිය ඇති කිරීමේ අරමුණින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරන ආශිර්වාද මහා පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී (08) ආරම්භ විය.

‘නෙළුම් පොකුණ’ මහින්ද රාජපක්ෂ කලාගාරයේ දී ආරම්භ වූ මේ සඳහා ලෝකයේ බෞද්ධ රටවල් 30 ක් නියෝජනය කරමින් 1500 කට අධික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා 1000 නමක් සහ විදේශීය භික්ෂූන් වහන්සේලා 500 නමක් ඒ අතර වූහ.

1987 වසරේදී ආරම්භ කළ ලෝක බෞද්ධ සංඝ සම්මේලනය නියෝජනය කරන ථෙරවාදී, මහායාන, වජ්‍රයාන හා කොරියන් ආදී සෑම නිකායකටම අයත් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩමකළ අතර ලෝක සාමය, සහජීවනය හා සමෘද්ධිය ඇති කිරීමේ අරමුණින් එහිදී ඒ ඒ සම්ප්‍රදායන්ට අනුව පිරිත් දේශනා කළහ.

ශ්‍රී ලංකාවට අමතරව ලෝකයේ බෞද්ධ ධර්මය ව්‍යාප්තව පවතින චීනය, කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, මැලේසියාව, තායිවානය, හොංකොං, පිලිපීනය, ස්වීඩනය ජර්මනිය, ඉන්දිඩාව, එංගලන්තය, ප්‍රංශය, ඇමෙරිකාව ඇතුළු රටවල් ඒ අතර වෙති.

මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ පැවසුවේ මෙවැන්නක් ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවත් ලෝක සාමය, සහජීවනය හා සමෘද්ධිය ඇති කිරීමේ අරමුණ ඇතිව ලෝකයේ විවිධ සම්ප්‍රදායන්ට අයත් මහ සඟරුවන විසින් පිරිත් දේශනා කරන බවත්ය.

අද වනවිට සමස්ත ලෝකයම එකම බෞද්ධ ධජයක් යටතට පැමිණීමට අවකාශ ලැබී තිබෙන බව සඳහන් කළ උන්වහන්සේ අද අපි 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර තුළ සිටින බවද ඒ වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වය ඇතිව විවිධ වැඩසටහන් පැවැත්වූ බවද ප්‍රකාශ කළහ.

සමස්ත ලෝකයටම සාමය, සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ලෝකයට හොඳ පණිවුඩයක් මෙහිදී ලබාදෙන බව පෙන්වාදුන් විමලරතන හිමියෝ අද වනවිට ශ්‍රී ලංකාවට සාමය උදාවී තිබෙන බවද එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ සෑම ප්‍රදේශයකම නිදහසේ ගමන් කළ හැකි බවද පැවසූහ.

මේ අතර ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති ආචාර්ය ලියවු චුන්ග් හිමියෝ ප්‍රකාශ කළේ බෞද්ධ ධර්මය අදහන අපි සියලු දෙනාම ලෝක සාමය හා සමෘද්ධිය වෙනුවෙන් කැප විය යුතු බවත් මෙවැනි පුන්‍යෝත්සවයක් පැවැත්වීම ඒ සඳහා අතිශය වැදගත් බවත්ය.

මෙහිදී බුදුරජාණන් වහන්සේ උදෙසා අටපිරිකර පූජා කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

චන්න උපුලී රංගායතනය හා ජාතික තරුණ සේවා සභාවේ නර්තන අංශය මෙම උත්සවය වර්ණවත් කරමින් අලංකාර නර්තන ඉදිරිපත් කිරීමද විශේෂත්වයක් විය.

පෞද්ගලික මගී ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]